leader s

සමකාලීන කිතුනු දිවැසිවර මහින්ද නාමල් ස්වකීය කාව්‍යාත්මය ලෙලවා පෙන්වන "ලුහු යැදුම්"  නම් වූ 'කිතුනු ලකුණු ඇති හයිකු' කෘතිය විසින් මතුකෙරෙන දෘෂ්ටිවාදී ඥානනය හකුලා දක්වන්නේ නම්, එය, සංස්ථාපිත කිතුණු භාවිතය හෙවත් 'මැල්කමියානු ක්‍රිස්තියානිය" වෙනුවට දාර්ශනික ක්‍රිස්තියානියේ පදනම හෙවත් "ජීසසියානු ක්‍රිස්තියානිය" යළි මහ පොළොවට යෝජනා කිරීමකි.

 

relative of a victim of easter bombings in sri lanka meets cardinal malcolm ranjith


මැල්කමියානු ක්‍රිස්තියානිය හැම නිතරම රාජ්‍යත්වය සමග අශුද්ධ සන්ධානයන්ට එළඹේ. මැල්කමියානු ක්‍රිස්තියානියේ කැඳවුම්කරු මැල්කම් කාදිනල් රංජිත් නම් වතිකානු නියෝජිතයා දිවැසිවරයෙකු සේ සලකන සමකාලීන කිතුනු ප්‍රජාව හැම නිතරම පීඩකයාගේ ගොදුරු නොහොත් වින්දිතයන් බවට පත්වේ. මෙකී භාවිතයේ අවසාන උදාහරණය වන්නේ පාස්කු දා බෝම්බ කුමන්ත්‍රණයට නැවත නැවතත් ගොදුරු වන්නට වූ ශ්‍රද්ධාවන්ත කිතුනුවන් මාලිමා ආණ්ඩුවට බලය ලබා ගැනීමට දායක වීමයි.

නමුත් ජීසසියානු ක්‍රිස්තියානිය හැම නිතරම පෙනී සිටින්නේ පීඩිතයා වෙනුවෙනි. මූල අර්ථයෙන්ම ගතහොත්  පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීමේ දාර්ශනික ක්‍රිස්තියානි භාවිතය පවතින්නේ සංස්ථාපිත ක්‍රිස්තියානි ආකෘතියට පිටතිනි. මහින්ද නාමල් නම් ක්‍රියාදරයාගේ සමස්ථ ජීවන භාවිතයම පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීමේ ක්‍රිස්තියානිකාරකමේ කැටපතකි. ඔහු කිසිදාක මැල්කමියානු ක්‍රිස්තියානි අශුද්ධ සන්ධානයන්ට පක්ෂව පෙනී සිටියේ නැති සැබෑම ජේසු පුත්‍රයෙකි. ඔහුගේ ආත්මීයත්වයේ ප්‍රකාශනයක් වන 'ලුහු යැදුම්' ඉතා වැදගත් සාහිත්‍යයික මැදිහත්වීමක් වන්නේ මෙකී ගැඹුරු අර්ථයෙනි.

WhatsApp Image 2025 06 27 at 8.07.48 AM 1

සිංහල බෞද්ධ සභ්‍යත්වය මෙන්ම එහිම ඓන්ද්‍රීය දිගුවක්වන් සිංහල කිතුනු සභ්‍යත්වය, නොහොත් අශුද්ධ සන්ධානගත සමස්ත සිංහල සමාජය අතිශය සාවධානීව ලුහු යැදුම් නම් මෙම හයිකු නිමේෂ හරහා ඇවිද යා යුතු බව යෝජනා කරන්නට අපට ශුද්ධ වූ අයිතියක් තිබේ.

 
හයිකු ආරේ සිංහල කවිය සම්බන්ධව මා දිගින් දිගටම මතුකළ ප්‍රවාදය වන්නේ එවන් කවියක් ලියන්නට නම් ලියන්නාට දාර්ශනික තලයකට මෝරා මුහුකුරා ගිය හද මනසක් තිබිය යුතු බවයි. ලුහු යැදුම්කරුවා ඉන්තේරුවෙන්ම එවැන්නෙකි. ස්වාභාවධර්මයේ හෝ පරිසරයේ අත්දකින අත්විඳින චලනයන්ට නිසග ප්‍රතිචාරයන් දක්වන්නට නම් මෙකී හික්මීම සහ පරිණතකම නොහොත් පරිචය අවශ්‍යයෙන් ම තිබ්බ යුතුය. තමන්ගේ ඇස් දෙක අබියස සිද්ධවන ස්වභාව සෞන්දර්ය චලනයන් කාව්‍යමය ස්වරූපයෙන් ග්‍රහණය කරගන්නට හැකිවන්නේ එවැන්නකුට ය.

ඔහු ග්‍රහණය කරගන්නේ ද නිසගව ප්‍රමේයගත කරන්නේද සංසිද්ධිය විතර ය. සහෘදයා විසින් ව්ග්‍රහ කර ගත යුතු බහු විධ දෑ, එකී ලිවීම අභ්‍යන්තරය හෙවත් එහි අන්තර්දෘෂ්ටිය දරා සිටියි. මෙසේ ප්‍රමේයගත නිමේෂයක් තුළට බහු විධ දෑ මුහුකරවන්නේ ලියන්නා එතෙක් ගත කරමින් සිටි භෞතික ජීවිතයයි.  

WhatsApp Image 2025 06 27 at 8.07.49 AM

ලුහු යැදුම් කෘතියට මා ප්‍රවේශ වන්නේ ඉහත පෙන්වා දුන් මෙන්න මේ සන්දර්භයන් තුළ ය. යැදීම හෙවත් යාච්ඤාව යන්න දාර්ශනිව අර්ථකථනය කරන්නේ නම් එය තමන්ගේ අභ්‍යන්තරය අණවාගැනීමකි. තමන් අනුදත් විමුක්ති මාර්ගය කරා යන ගමනේ දුෂ්කර ක්‍රියා පිණිස ධෛර්ය උපද්දවා ගැනීමට මෙම යැදුම අත්‍යවශ්‍ය වන්නේ වෙයි. සැබැවින්ම එය තමන්වම සොයා පහදාගනු පිණිස කෙරෙන නිරන්තර ලුහුබැඳීමක් වන්නේ වෙයි. මෙකී අර්ථයෙන් "ලුහු යැදුම්" යනු "ලුහුබැඳුම්" ය. ජීසසියානු ක්‍රිස්තියානියේ කතෘවරයා වන ජේසුස් තම සටන් සගයන් සමග කෙරුණු අඛන්ඩ සාකච්ඡාවේදී යාච්ඤාව යනු කවරාකාර දෙයක් ද යන්න විග්‍රහ කිරීමට නිදර්ශනයට ගත් ගැඹුරු අදහස "පරමණ්ඩලයේ යාච්ඤාව"ලෙස දෛනිකව පුනරුචාරණයණය කරන මැල්කමියානු කිතුණුවන්ට මෙකී අභ්‍යන්තර ලුහුබැඳීම අත් හැරේ.

jesus aid
යාච්ඤාව හෙවත් යැදුමක ගැඹුර පවතින්නේ පුනරුච්චාරණය තුළ නොව ඥානනය තුළය. ඥානනය විසින් යෝජනා කෙරෙන භාවිතය තුළ ය. මෙකී භාවිතය යනු සමාජය වෙනස් කිරීමට මැදිහත්වීමය. ඒ අර්ථයෙන් එය නිසැකවම දේශපාලනික මැදිහත් වීමකි. "ඔබගේ රාජ්‍යය පැමිණේවා" යනු යුක්තියේ සහ සාධාරණත්වයේ රාජ්‍යය මහ පොළොවට කැඳවීමකි. එනයින් අයුක්තිය සහ අසාධාරණත්වයට එරෙහිව මැදිහත්වීම ක්‍රිස්තියානිකාරකමේ පදනමයි. එය පීඩිතයා වෙනුවෙන් කෙරෙන කැඳවීමකි. පීඩකයා සමග කිසියම්ම හෝ සම්මුතියකට පිවිසීම ක්‍රිස්තියානිකාරකමේ පදනමට එරෙහිව යාමකි.

සැබෑ ක්‍රිස්තියානිකාරකම සොයා ගැනීම සඳහා සංස්ථාපිත සභා විය ගසෙන් මිදීමට ධෛර්යය තිබිබ යුතුය. ආගම්කාරයින්ට නැත්තේ මෙකී දාර්ශනික ප්‍රවේශයයි. අධිපති දෘෂ්ටිවාදයට එරෙහිවන නැගී සිටීම වෙනුවෙන් ලුහු යැදුම් කරන සමස්ත යෝජනාව මෙසේ නිදසුනකින් දෙකකින් පෙන්වා දෙන්නට පිළිවන.

People attend Mass at St. Theresa's Church in Colombo, Sri Lanka, May 12, 2019. Catholics attended Mass there for the first time since the Easter Sunday suicide bombings that killed more than 250 people and injured some 500. (CNS photo/Dinuka Liyanawatte, Reuters)

" දෙව්  මැදුරු පියස්සෙන්
පලවා හැරි සියොත් කැල
ඈත තුර මත කන්තාරුවක"

මෙකව ගෙනෙන ප්‍රශ්නාවලියකි. පිළිතුරු තිබෙන්නේද ඒ තුළමය.

මේ සියොත්තු පලවා හැර තියෙන්නේ කවුරු ද?. අනික කන්තාරුවක් නැගෙන්න දේවස්ථානයක් තිබ්බ යුතුමද? විමුක්තිය පිණිස කෙරෙන සාමූහික දිව්රුම් දීමක් වන කන්තාරුව, ආගම්කරුවා විසින්  සදා නිම කළ ගෘහයක් ඇතුළත පවතීද? නො එ සේ නම් එය නින්නාද නැගෙන්නේ ස්වභාවධර්මය නොහොත් ප්‍රකෘතිය ඇතුළතද?  මෙකී නිශ්චිත කවියේ  කන්තාරුව නගන්නෙ තුරුපත් ද? සියොත් ද?

 Black and white photograph of a pigeon flying past the roof and cross of St. George Orthodox Cathedral in Beirut, Lebanon
හයිකුමය පුවේශයක් යනු  එහෙම නිදහස් දෙයකි: විවෘත අවකාශයකි.

කවිය ව්‍යංගයෙන් පවසන කවුරුන් හෝ විසින් සියතුන් පලවා හැරෙන්නේ දේවස්ථානයේ වහලෙනි. එසේ පලවා හැරිය ද තවමත් උන් භෞතිකව වහලය උඩ සිටීදැයි නිශ්චිතව කිව්ව නොහැකිය. තුරු මතින් පැනෙන කන්තාරුව හා අනන්‍ය වන්නේ එසේ වහලය මත ලගිමින්ම දැයි මේකව නිශ්චිතව කියන්නේ නැත.  මෙකව හයිකුවක් ලෙස වඩාත් ගැඹුරුතර වන්නේ එබැවිනි. ඒ අර්ථයම පවත්වා ගතහොත් සියොතුන් තවමත් වහලය මත ලැග්ග ද  ඔවුන් අනන්‍යව සිටින්නේ දෙව් මැදුරේ අභ්‍යන්තරයෙන් පැනෙන සංස්ථාපිත කන්තාරුව තුල නොව තුරුපත් මත පැනෙන කන්තාරුව මතය. මේ වනාහි සංස්ථාපිත විය ගසින් මිදීමේ දිවැසිවර යෝජනාවලියයි.

 

WhatsApp Image 2025 06 27 at 8.07.49 AM 1
මහින්ද නාමල් ගෙනෙන මෙම සාමූහික හඬ හෙවත් කන්තාරු ප්‍රවේශය තව එක් නිදසුනකින් පමණක් තහවුරු කරන්නේ නම් එකී "ලුහුබැඳුම" මෙබඳුය.  

"අහා! ගඟ නගන සංධ්වනියට
පරදියි ආසන දෙව්මැදුරේ කන්තාරුව"

මහින්ද නාමල් පවසන මේ ගඟ කුමක්ද? එය කවරක් වන්නට පුළුවන්ද? එය ඔබම ඔබේ හෘදය සාක්ෂිය විමසා දැනගන්න. එතෙක් ගඟ පිළිබඳ මා ලියූ කවියක් මෙසේ උපුටමි.


b67uk6yui676

"ඔබ ගඟක්
දිය රැලි නැගෙන්නේ නැති ගඟක්
පෙනපිඬු පිපෙන්නේ නැති ගඟක්
කිසි දින ගලන්නේ නැති ගඟක්."


(සටහන | මංජුල වෙඩිවර්ධන)
MANJULA WEDIWARDENA
Journalist/Writer

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
http://monsoonmn.wordpress.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්