leader s

හයිකු කවිවල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කවිවල  ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන දේශයත් ඇසුරු කොට ඉගිළ යන ඒවාය.

සැබවින්ම මේවා ලාංකීය සංක්ෂිප්ත කාව්‍යය මාර්ගයට නැඹුරුවනු මිස වෙනත් නමකින් හැඳින්වීමට මා උත්සුක නොවන බව පවසනු කැමැත්තෙම්. (පෙරටු කියුම නටු කාව්‍යය සංග්‍රහය )

මාලන් බණ්ඩාර කපුවත්ත ''නටු'' කියවීම සඳහා හොඳ ආරම්භයක් සහෘදයාට ලබාදෙයි. ලාංකීය කෙටි කවිය තුළ මෑත කාලීනව විවිධ අත්හදා බැලිම් බොහෝමයක් කර තිබෙන බව සත්‍යකි . විලාසිතාවක් ලෙස කවීන් බෝහෝමයක් කෙටි කවියට වඩාත් නැඹුරුවන මොහොතක මාලන් බණ්ඩාරගේ නටුකාව්‍යය සංග්‍රහය ඔවුනට අත්වැලක් ලෙස හැදින්වුවාට වරදක් නැත.

මාලන් බණ්ඩාර

 

ලියන්නේ මොනවාදැයි කියා ඇතැමුන්ට විස්වාසයක් නොමැතිවීමත් සමහර නිර්මාණ බොහෝමයක් දුර්වල මට්ටමේ ඒවා විමත් ඒ තුළ ගැඹුරු පරිචයක් නොමැති වීමත් සහෘදයාගේ කියවීම තුළ කවිය උපන්ගෙයි මියයන අවස්ථාවන් කොතෙකුත් දැක ඇත්තෙමු.

කෙටි කවිය සීමිත වචන සංඛ්‍යාවක් යොදාගනිමින් කරන නිර්මාණයක් බැවින් ඉතා පරිස්සමෙන් භාෂාව තුළ තමන්ගේ ආධ්පත්‍යය පැතිරව්මට වග බලා ගතයුතුව ඇත. එසේම එය කවියාගේ පරිකල්පනයට වඩා සහෘදයාගේ පරිකල්පනය තුළ පෝෂණය වනු ලබන්නක්වේ. එය වෙනස් අදහසකින් කියන්නේ නම් භාෂාවක් නොමැතිව කවියක් ලියන හැටි කෙටි කවි අපට කියාදෙයි.

මෙම කෙටිකවි සහෘදයාගේ පරිකල්පනය තුළ මෝරා එන්නට නම් එය නොලියවුනු කොටසේ අධිපත්‍යය සහෘදයා පැතිරවිය යුතුවේ. එසේ නම් බැලු බැල්මට මෙය සාම්ප්‍රදායික කවි වලට වඩා දෙයක්වේ. වඩාත් හොද කෙටි කවියක් යනු කවියාගේ අධිපත්‍යයට එහා ගිය සහෘදයාගේ පරිකල්පනය තුළ ආධිපත්‍යය පැතිරවීම තුළ පොලාපනිනු ලබන්නකි.

 

මාලන් බණ්ඩාර 'නටු' තුළින් සහෘදයාට කරන ආමන්ත්‍රණය සියුම්ව නිරික්ෂණය කරන්නෙකුට ඔහුගේ නිර්මාණ කාර්‍යයේ බර කියවා ගතහැකිවේයැයි සිතමි. පෙරටු කියවිම තුළ සංකේතියව යමක් ඔහු පවසයි. දැනට විප්‍රවාසිව දිවිගෙවන කපුවත්ත 'නටු' ලිවිම සඳහා තමන් උපන් භූමියත් දැනට තමා ජීවත්වන විප්‍රවාසි දිවිය අතර ඇති පැල්ම තුළ හිඳ කරන නිර්මාණ කාර්‍යය කියවාගත හොත් එය වඩාත් පලදායික වනු ඇතිබව මගේ හැඟීම යි.

ඇත්ත, 'නටු' තුළම මාලන් බණ්ඩාර නැමති කවියාගේ විප්‍රවාසී සෙවනැල්ල කවිපොත පුරා දිවයයි. එය නිර්මාණය කරන්නේ කවියාගේ මෙලන්කොලික ආත්මයයි. එබැවින් කපුවත්තගේ කවිවල බොහෝමයක් ඇත්තේ මෙම මෙලන්කෝලික ආත්මයයි. සහ ඔහුගේ ආත්මීය වේදනාවයි. අප කවි ලිවීමේදී මෙම වේදනාව සහෘදයා සමග බෙදා හදා ගැනිමේදී එය කොතරමි දුරකට සහෘදයාව සෙලව්මට සමත්වේද ඒ තුළ කවියා තමා තමන්ගෙන් නිදහස්වේ.

කපුවත්ත කවියා සොබාව සෞන්දර්ය සමග අවියෝජනීය බැදීම් සහ ගැටීම් අතර ඇති දයලෙක්තික ස්වරූපයන් දනවන කවි රැසක් කෘතිය තුල මුදාහරි.

ගිම්හාන සුළග

ඉපල් අතු මත

එල්ලා බලමි

මල් කිනිති


ඉපල් අතු කවියාගේ මෙලන්කොලික ආත්ම කථනය සඳහා යොදා ගැනෙන රෑපකයක් බවට පත්වී ඇති ආකාරය අපුරු ය.

මොන තනියක්ද

මා වටෙටම දැන්

මීදුම.

තමා ජීවත්වු පරිසරයෙන් ඈත්ව ස්වකීය නෑදෑ හිත මිතුරන් ගෙන් සමුගෙන විප්‍රවාසි දිවියකට අවතීර්ණවු කවියා තම නොස්ටැල්ජික මතකයන් තුළ ජීවත් වන ගමන් ස්වකීය ආත්මීය වේදනාවන් තුළ ඉඳින ගමන්ම, එහි වේදනාත්මක සතුට විදගනිමින් තමන් තමන් ජීවත්වන නව ජීවන පැවැත්ම තුළ ඉදිම (being) සඳහා යතෙන් ගැලවීම සඳහා ප්‍රබන්දයක් නිර්මාණය කරයි.

මා වටේටම දැන්

මීදුම.

mist

 

තමන් යථෙන් ගැලවෙන්න මීදුම ප්‍රබන්ධ ගත කරයි. වහා අතිතකාමයෙන් මිදී නව පැවැත්ම තුළ ස්ථාපිතවීම සඳහා කවියා උත්සාහ ගනී. මෙය කියන ආකාරය සහෘදයා ඇද බැද තබාගැනීමට සමත්වේ. සහෘදයා කවිය තුළ වහලෙකු කර කපුවත්ත ඉවත්ව යයි.

කපුවත්ත ජීවීතය අන් තැනක නිර්මාණය කිරීමට දක්ෂය. ඒ සඳහා සොබාදහමේ ප්‍රස්තුතයන් නොයෙක් ලෙස උපයෝගීකර ගනී.

දැවෙන සූරීය කාන්ත මල

ඉර දෙසටම

මුහූණ ලා ගෙන .

සූරීය කාන්ත මල සහ ඉර අතර ඇති බැදීම කවියා දකින ආකාරය අපූරු ය.⁣ නොයෙකුත් සමාජ ආර්ථික ගැටලු හමුවේ ජීවත්වන මිනිසුන්ගේ ජීවීතයේ මග හැරිය නොහැකි සත්‍යයක් ඔහු සහෘදයා හමුවේ තබයි. මිනිස් ජිවිත වල ගැටුම්කාරී ස්වභාවයන්, කුටුම්බ ජීවිත පැවැත්ම තුළ පොරබදන ඇත්ත සමාජ ප්‍රෂ්ණ මග නොහැරිය හැකි අවස්ථාවන් කොතෙකුත් ඇත්ද ? එයට ඇතුළත් වු සෑම කෙනෙකුටම එයින් නැවත ගැලවීයා නොහැක. මිනිස් පැවැත්ම තුළ ඇති ගැඹුරු සමාජ කොන්දේසි තුළ මිනිස් ජීවන පැවැත්ම අතිශය කටුක සහ ඒකාකාරීවේ. අප එයින් ගැලවීම සඳහා නොයෙකුත් ප්‍රබන්ධයන් නිර්මාණය කරගනී. කෙටි කවිය තුළ ඇති බහු අරුත් හබායාමේ ඉඩ කඩ තුළ කවියා අපට ගැඹුරු දේශපාලන දැක්මක් විදගැනීමට ආරාධනා කරයි.

'නටු' කියවාගෙන යෑමේදී මට දැනුණු දෙයක් නම්, ඔහු උපන් දේශයත්, විප්‍රවාසි ජීවීතයත් අතර ඇති බෙදුම් රේඛාව අතික්‍රමණය කරන්නට තවමත් ඔහුට නොහැකිවී ඇත්තේ ඇයිද යන්නයි. ඔහුගේ කවි බොහොමයක් අතිත, නොස්ටැල්ජික මෙලන්කොලික ආත්මීය වේදනාවන් අතර දීර්ඝ සංවාදයක නිරතවී සිටි. කවියා තවම තමන් උපන් දේශය හැරයාම, සහ එම සමාජ සම්බන්ධතාවයන් ගෙන් දුරස්වීම තුළ දරාගත නොහැකි වේදනාවල් කවිය තුළ ගල්ගස්සවා ඇත. එසේම තම ජීවන පැවැත්ම තුල ආදරණීය මිනිස් සම්බන්දතාවලින් ගැලවීයාම කවියාට කිසිසේත්ම දරාගත නොහැක. තමා උපන් භෞතික පවුලෙන් කැඩී සංකේතීය ලෝකයේ නියාමයන්ට යටත්ව ගෙවන විප්‍රවාසි ජීවිතයට වඩා තම අතීත ස්මරණයන් තුළ හුදකලාවීමට කවියා වඩාත් ප්‍රිය කරයී. සහෘදයෙකුට වුව බොහෝවිට මෙම ඉදිම තුළ විවිධ කියවා ගැනීම් සඳහා නිරායාසයෙන් පෙලඹවීමක් ඇති කරනු ලබයි.

අම්මාගේ දුරකථන ඇමතුම

අතරින් ඇසෙයි

දුරැ ර⁣ට මගේ ගමේ

ලේනෙකුගේ ටිං ටිං නද.

vnj8i7878
තමන් උපන් පරිසරය තුළ ඇති ලාලාසාව ට කවියාට වඩාත් ප්‍රියකරනු පෙනේ. එසේම තම හෞතික පවුල තුළ තිබු මිනිස් සම්බන්දතාවල විතැන්වීම් අඩුලුහුඬුකම් , අගතීන් නව පරම්පරාව තුළින් වෙනස්වන ආකාරය කවිය තුළට ගෙනෙන ආකාරය බලන්න.

තාත්තා වසා ගිය

අඹ මළු

ලේන්නුන්ට ලිහයි පුතු .

කපුවත්ත කවියා ගම සමග තදින් බද්දව ජීවත්වු කවියෙක්ද කියා මම නොදනිමි. 'නටු 'ඔහුගේ කවිය තුළ ගම උත්කර්ෂයට නැඟීමත් ගැම් ජීවන පැවැත්ම තුළ ඇති චර්යාවන් ආත්මමූලික කරගැනිම සඳහා කරන උත්සාහය අපුරු ය. මවකගේ ගර්භාෂය තුළ ඉඳින ළමයෙකු සේ කපුවත්ත 'නටු' තුළ බොහෝමයක් කවි සර්වාත්‍රීක නොවන තැනක හිරවේ. තමා දැනට ජීවත්වන ජීවිතය ගැන කවියාගේ දැක්ම පරයා තමා උපන් දේශයේ නොස්ටැල්ජික මතක තුළ ගිලී ඉඳීම තමාගේ නිර්මාණ කාර්යයේ ඉදිරිගාමි පියවරකට බාධාවක් සේ සිතිය හැක තවද මෙය සහෘදයාගේ කියවීමට කරන හෑල්ලුවක් සේ දකිමි.

අප උවමනාවට වඩා ගැමි ජිවිතයේ චර්යාවන් , සොබාදහමේ අලංකාරත්වයන්, මිනිස් ජීවන පැවැත්මවල් ඇති පදම් කාව්‍යය තුළ කියා ඇත්තෙමු. සමකාළින සමාජයේ මිනිස් ජිවිතවල ඇති සංකීර්ණත්වය, ආත්මීය වේදනාවල්, කවියට නැගිමේදී කරන ආකෘතිමය වෙනස්වීම් තුළ බොහොමයක් සාම්ප්‍රදායික කාව්‍යය රටාවෙන් බැහැරව ඇත්තේ ඉතාමත් ස්වල්ප වශයෙනි.

WhatsApp Image 2025 03 29 at 11.45.20 AM 2
මාලන් බණ්ඩාර කපුවත්තගේ කවිය තුළින් එළියට පැනිය යුත්තේ මෙන්න මේ සංකීර්ණ සමාජයේ මිනිස් ජීවිතවල නග්නත්වය සහ තමා දැනට ගෙවන විප්‍රවාසි ජිවිතයේ දරාගත නොහැකි සමාජ සංකීර්ණතාවයන්ය. එවැනි කාව්‍යය අනුභුතීන් ඉහළට ඔසවා තැබීමට හැකිනම් කපුවත්ත කවියා තමන් වෙනස්වන තැන ගැන තමන්ට යම් අවබෝදයක් ලැබිය හැකි මෙන්ම සම්ප්‍රදාය සහ නුතනත්වය අතර ඇති පැල්ම තුළින් එළියට එමේ මාර්ගයක් ඔහුට හමුවනු ඇත. 'නටු' එයට ආරම්භයක් ද වනු ඇත. එසේම තම නිර්මාණ කාර්යතුල ලත් පරිචය තුළ ඉදිමින් ස්වකීය පීතෘ කවියන් තුළ ඇති අගතින්ගෙන් මිඩියා හැකිනම් කපුවත්තගේ කාව්‍යය ආකෘතිමය වශයෙන් මීටවඩා ප්‍රසස්ත මට්ටමකට ගෙන ආ හැකි බව නම් සත්‍යයකි.

සමකාළින සමාජය තුළ කවියෙකුට ඕනෑ තරම් වස්තු විෂයන්, පවතින සමාජ බල රටා තුළට ගෙන ඒමේ හැකියාවන් කොතෙකුත් ඇත. අවශ්‍යය වන්නේ පවතින සාම්ප්‍රදායික රාමුවෙන් මිදී තමන්ව⁣ සොයාගැනිමට උනන්දුවීමයි. දියුණු සමාජ දේශපාලනමය කියවීමක් කවියෙකුට අවශ්‍යය කරන්නේ මෙන්න මේ ගමන් මග අතික්‍රමණය කිරිමටයි. කපුවත්තට එය කල හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ගොඩනැගී ඇතැයි සිතමි.  එසේම පීතෘ කවීන්ගේ අදුරු සෙවනැළිද විටින් විට ඔහුව සොලවන්නට එන අවස්ථාවන්ද නැත්තේ නොවේ. එවැනි සමහර අගතීන්ගෙන් තොරව අලුත් කව් මං පෙත් විවර කල හැක්කේත් ඔහුටම පමණි.

කපුවත්ත කවියා වෙනස් වෙන්න හදන තැනක් මම ඔබට කියවා ගැණිමට භාර කරමි.

අලුත ඉදිවන නිවසේ

පදුරු අස්සෙන් එබෙන

කැන්ගරුවන්ගේ

කළුවර මුහුණු.


alow54645

 

තම විප්‍රවාසි ජීවීතය තුළ ලත් පරිවර්ථනය කියවා ගැනීමේ අවස්ථාව කපුවත්ත සහෘදයන්ට භාර කරයි. නොදන්නා දේශයක තනිවුණු කවියාගේ ජීවීතයට හමුවෙන මුණගැසෙන මිනිස් සබඳතාවල ඇති චලනයන් සිවුම්ව නිරික්ෂණය කිරිමට ඔහු ගත් උත්සාහය ඉතා ප්‍රසස්ත මට්ටමක පවතී. තම අසල්වැසියන් කෙරේ දක්වන නුහුරු නුපුරුදු සම්බන්ධතා තුළ ඇති එම ආගන්තුක බව තුළ කවියා අතරමන් වේ. එය ඔහුට සංකේත කල නොහැක. එනම් තමන් නොදන්නා රටක ගත කරන ජිවිතයේ  දුරස්ථ භාවය ගැන කව්යා ඉඟි කරයි.

එසේම කපුවත්තගේ මෙම කව්යත් තම නව ජීවන පැවැත්ම තුළ ඇති පැල්ම ගැන කියවා ගැනීමට සහෘදයා පොළබවාලයි.

ඇල්ව ගිය

ඕට්ස් කැඳ බදුන

යාබද නිවසින් එන

කේතලය උතුරන හඬ


කවියාගේ සැබැ ආත්මීය බැදිම පිළිබඳව ගැඹුරු සිතීමක් සඳහා මෙම කවිය හොඳටම ප්‍රමානවත්ය. කවියාගේ අවිඥානික ආශාව ව්‍යුහගතවී ඇති ආකාරය කොතරම් ද තම ජිවිතයේ roots ඇත්තෙන්ම තිබෙන තැන කවියා සංකේත කරයි.

කපුවත්ත කවිය තුළ ඔහු කරන සහෘද ආමන්ත්‍රණය අතිශය ගැඹුරු තලයකට ගෙන ඒමට ඔහු අපමණ වෙහෙසක් ගනී. කපුවත්ත වැනි කවියකුට යාහැකි ඉමපෙදෙස් බොහෝය. එය කවිය තුළ නොයෙක් තැන් වලින් කියවා ගැනිමට සලස්වයි.

මේ කව්ය දෙස බලන්න,

බඳ බැදි

ඉන්න ගලවම්

කරපීංචා පැළය

රිසිසේ සැලෙයි දැන්

සුළගෙහි

 

මිනිසුන් බැදි ඇති නොයෙකුත් දෘෂ්ඨිවාදයන්හී සීමා මායීම් තුළ, ස්වකීය සිතීමේ දිළිඳු කම මිනිසා අහුරා දමයි. කොදෙව් මානසිකත්වය, ග්‍රාමීය දේශපාලන දෘෂ්ට්වාදයේ දිළිඳුකම සහ ගැඹුරු දේශපාලන චින්තනයකින් තොරව නොදියුණු දෘෂ්ට්වාදයන්හි සිරගතවී ඇති පොදුජන සීමා මායිම් ගැන කවියා සහෘදයාට මතක් කරයි. ලාංකිය ජහමනයාගේ ජීවන පැවැත්ම ආචීර්ණ කල්පිත අදහස් වලින් ගැලවී ගැඹුරු සමාජ සිතීමක් සදහාත්, ස්වාධීන දැක්මකටත් කරන ආරාධනාව ප්‍රබලය.

කරපීංචා පැළය

රිසිසේ සැලෙයි දැන්

සුළඟේ.


v5u6767
නිදහස් දේශපාලන සිතීමක් සඳහා කරන ආරාධනාව තුළ අපි සැමදා ගෙවන දෛනික ජීවීතයෙන් වෙනස්වීමකට කාලය එලඹ ඇති බව කව්යා කියයි.

තවද ⁣ප්‍රේමය ගැන කපුවත්ත ගෙනෙන කාව්‍යය නිර්මාණය බලන්න.

වෙරළ ම වලදිනුව එන

යළි යළිත් පසු බා යන

මුහුදු රළ.


ප්‍රේමය තුළ ඇති බාදාව ඔහු ස්ථාන ගත කරයි. ප්‍රේමයේ සාර්ථකත්වය ඇත්තේ එය සාර්ථක කර ගැනීමට යෑමේදී ඇතිවන භාදාව තුළය. එනම් ප්‍රේමයේ සැබෑ පැවැත්ම යනු එහි නොපැවතීමයි.

යුහුව පෙරළා බලමි

වසා ගිය දිනපොත

හැම පිටුවක්ම

හිස්.


දිනපොතේ හිස් පිටුව තුළ ගැඹුරු  ජිවිත පරිචයක් කවියා  ගෙන එයි. එම හිස් පිටුව තුළම තමයි ජීවීතයේ නොකියවු කොටස කියවගන්න සහෘදයා පොළොඹවා තිබෙන්නේ. හිස්කම තුළ තමයි පැවැත්ම ගොඩනගන්න උත්සාහ ගන්නෙ.

 

WhatsApp Image 2025 03 29 at 11.45.20 AM

ඇත්ත මාලන් බණ්ඩාර කපුවත්ත කවියා 'නටු' තුළින් කරන ආත්මීය වැලපුම තුළ සහෘදයා ගැඹුරු ජීවන පැවැත්මක සිවුම් තැන් ස්පර්ශ කරන ගමන් සමකාළින සමාජයේ සීමා මායිම් තුළ ඇති දේශපාළන චලනයන් ගැන ගැඹුරු සිතීමකට ආරාධනා කරයි. ඉදිරියේ කෙටි කවිය ගැඹුරු  සර්වාත්‍රී ක තැනකට ඔසවා තැබීමට කපුවත්තට මීටවඩා හැකිවේ යැයි සිතමි. එසේම 'නටු' තුළ ඇති සිමා සහිතකම් වලින් එලිය⁣ට ඒමේ හැකියාව ඇත්තේ තමා තුළම බව ඔහු අමතක නොකළ යුතුවේ. කවිය වඩාත් විකසිත වන්නේ නාගරීක සමාජ අවකාශය තුළ බව සමකාළින සමාජය අපට වඩ වඩා පැහැදිලි කරන්නේ එබැවිනි.


bhushan(සටහන | භූෂන් ප්‍රදීප් -Bushan Prdeep)

(උපුටා ගැනීම - LDM


WhatsApp Image 2021 09 13 at 13.49.58

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්