එරන්ද ගිනිගේ ලියූ ‘අවතරණය’ නමැති ඓතිහාසික ප්‍රබන්ධය එළි දැක්වීම 2025 අගෝස්තු මස 5 වැනිදා එනම් අඟහරුවාදා
සවස 4.00 සිට 6.00 දක්වා සිරි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
මෙම උළෙලෙහි ප්‍රධාන අමුත්තන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වීමට නියමිත ය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න දෙපළ විචාරාත්මක දේශන දෙකක් ද පැවැත්වීමට නියමිත ය.
ඉපැරණි මගධ රාජධානියත්, කෝසල රාජධානියත්, ශාක්‍ය ජනරජයත් පාලනය කළ රාජ කුල පවුල් අතර සිද්ධ වෙන බල අරගල මැදින් කඩා හැලෙන මිනිසෙකුගේ අනුවේදනීය ජීවිත කථාව සහ ප්‍රතිග්‍රහණය මෙම කෘතියෙන් කියවේ. එම පොදු මානව දෛවය පිළිබඳ දාර්ශනික විමසීමක් ද යටි පෙළින් දිව යයි.
මහාවංශයේ එන සිංහල රාජධානියේ ආරම්භයට වහා ම පෙර යුගයේ දේශපාලනික පරිවර්තන මෙම නවකතාව තුළ සම්පිණ්ඩනය කිරීමට කතුවරයා යත්න දරා තිබෙන අතර එමගින් සිංහල ජාතියේ සම්භවය පිළිබඳ වෙනස් මානයක් හඟවයි. බෞද්ධ සාහිත්‍යය තුළ හමු වෙන ඓතිහාසික චරිත වඩාත් මානුෂීය ස්වරූපයෙන් නිරූපණය කිරීමට ද කතුවරයා උත්සාහ දරා ඇත.
සිංහල නවකථාවේ මුල් ආකෘතියේ භාෂා ශෛලියෙන් ලියා ඇති මෙම නිර්මාණය නූතන සිංහල පාඨකයා හට සාරාණීය හැඟීමක් ජනිත කරවනු ඇත. ‘අවතරණය’ තුන් ඈඳුතු කථා පෙළක පළමු පොත ය.
‘ඇත් පවුර’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරමින් ලාංකේය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි එරන්ද ගිනිගේ ප්‍රකට සමාජ සහ දේශපාලන විචාර රචකයෙකි. ‘රයන් ටු ද මූන්’ (ඉංග්‍රීසි), ‘සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග’ සහ ‘ජනරජය’ ඔහුගේ කෘති ය. ‘අවතරණය’ ඔහුගේ කුලුඳුල් නවකථාව ය.
වැඩි විස්තර සඳහා ‘අවතරණය’ නිල වෙබ් අඩවියට පිවිසෙන්න: http://www.avatharanaya.com
අවතරණය ප්‍රචාරක පාඨය
බිහිසුණු අනාවැකියක් අත දරා උපන් දරුවෙක්. අශුද්ධ සරණ මංගල්‍යයකින් හට ගන්නා නොසිඳෙන වෛරයක්. සාරධාර්මික රාජ්‍යයක් වෙනුවෙන් කැප වූ මිනිසෙක්. නව ලෝක දර්ශනයක් දේශනා කරමින් වීථි සරන විමුක්තිය ලද්දෙක්. ජීවිතයේ කටුක යථාර්ථයටත් ආදරයේ අහිමි වීමටත් රාජ්‍ය බලයේ සාහසික කුමන්ත්‍රණයටත් මුහුණ දෙන සිංහාසනයේ සැබෑ හිමිකරු හිමාලයේ සීතල සෙවණැල්ල යට සටන් වදින බොහෝ සංග්‍රාම අවසානයේ ගත යුතු අභියෝගාත්මක තීරණය ගනීවි ද? සියවස් ගණනාවක් පුරා වරදවා වටහා ගත් ඛේදනීය පුරාවෘත්තයක මානුෂීය පරිකල්පනය… අවතරණය.
අවතරණය
කර්තෘ: එරන්ද ගිනිගේ
ප්‍රකාශනය, මුද්‍රණය සහ බෙදා හැරීම: සරසවි ප්‍රකාශකයෝ








