ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ගීත ක්ෂේත්‍රයට අදාළව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවේ බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (අගෝ. 11) පැවැත්විණි.
ඒ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී ය.
ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීමට සහ ඊට අදාළ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මූලිකව සාකච්ඡාවට ගනු ලැබීය.
ඒ අනුව, මීට අදාළව විශේෂඥ කමිටුව පත්කොට මාස තුනක් ඇතුළත අදාළ නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය විය.
මේ සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, ගීත රචක සුනිල් ආර් ගමගේ, ගීත රචක රවී සිරිවර්ධන, සංගීතවේදී නවරත්න ගමගේ, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක, සංගීතවේදී රංග දසනායක, සංගීතවේදී නදීක ජයවර්ධන සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (අගෝ. 05) පස්වරුවේ පැවති අතර ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
(මුලාශ්‍රය | Mawbima )
සබැඳි ලිපියක් :
ගීතයේ අයිතිය ගැන නීති සංශෝධනය කරන්නැයි ගායක සංගමය ඉල්ලයි







