leader s

වසරේ වැඩිම විචාරක විග්‍රහ සහ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් බහුචිතවාදියා ජයග්‍රාහී දින 75 පසු කරයි.


බහුචිතවාදියා ලබන 25වෙනි දින සිට මහනුවර JP cinecomplex හිදී දිනපතා සවස 4.15 ට.

ජීවිත විද්‍යාව, රසවිද්‍යාව, බහුචිත විද්‍යාව - Bahuchithawadiya TheUndecided.

 

jpuyi

 

ගොදුරු පසු පස ප්‍රියාසර කරන බහුචිතවාදීයා - චන්ද්‍රිකා මුණසිංහ

 

බහුචිතවාදියා සම්බන්ධයෙන් චන්ද්‍රිකා මුණසිංහ විසින් කරනු ලබන විග්‍රහයක් මතු පළවේ. චන්ද්‍රිකා මුණසිංහ 1980 සිට ලාංකීය වේදිකාවේ අත්දැකීම් සහිත රංග වේදිනියකි. නිදහස් ලේඛිකාවකි.


බහුචිතවාදියා : සංකීර්ණ සමාජ සන්දර්භයක මිනිස් පැවැත්මේ අනුවේදනීයත්වය | Anil  Nishantha Lokugamarala

සමාජය කළඑළි බැසිය යුත්තේ විවිධ හැඩතලවලින් ආමන්ත්‍රණය කරන කලා සංඥාවන් තුළිනි. එමෙන්ම සාහිත්‍යවාදී විවිධ කියවීම් තුළිනි. මෙලෙසින් හැඩවුණු ලෝක සමාජ දේහයන් ගැන අපි අසා සිටින්නමු. එසේ වුවද මෙවන් අංගවිකල, මන්දබුද්ධික, පෙනෙන ඇස්වලින් නොපෙනෙන, සැහැසිකම් කරන අංසවේදි සමාජයක් තවත් කොයි ඉසව්වක ඇත්දැයි අනුමාන කළ නොහැක.

මෙවන් බාලංශ සමාජයක ආත්මාර්ථකාමීත්වයෙන් හිත් පිත් නැති වී ඇත. ඒ නිසාම අනෙකාට නොසළකන අසත්පුරුෂ සමාජයේ මුදලම රජ වූ ක්‍රීඩාව තුළ පිස්සු බලු‍ රෝග ලක්ෂණ දැකිය හැක. මේ තරමටම අද සමාජය අවුල්ය. මේ අවුලට යෙදිය යුත්තේ කුමන නමක් ද යන්න ප්‍රශ්ණයක් වී ඇත.

එසේ නමුදු මෙවන් රෝගී වූ සමාජයක් අවධි කරවන්නට ඔවුන්ගේ පිපාසයන් නැගී සිටුවන්නට කලාවේ පුළුවන් කාරකම අද්විතීයය. මෙම කලා ධාරාවන් තුළ මුලික ස්ථානයක් හිමිවන සිනමාව ගලා යන්නේ කොයි ඉසව්වකට ද යන්න  අද සොයා ගන්නට තරම් ඒ තුළ කතිකාවක් නොමැත. එසේ වුවද නිවී නිවී තිබෙන පහන් දැල්ලක් මෙන් අතරින් පතර  සිනමාව තිබෙනවා යැයි පෙන්නන සිනමා කෘති නිසා ඒ ගැන පොඩි මතකයක් අප තුළ ඉතිරිව ඇත.

මෙසේ  සිනමා ඉතිහාසයේ සිට අද වන විට ඔහේ තිබෙන සිනමාවේ වේගය සතුටු වෙන්නට තරම් උසස් තැනක තිබෙනවා යැයි කිසිවෙකුට කිව නොහැක. මෙවන් මොහොතක දෙරණ සිනමා උත්සවයේ හෙට දවසේ සිනමාව සඳහා ඉදිරිපත් කළ තරුණ නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණ කීපයක හැඩරුව බැලීමේ  අවස්ථාව පසුගිය දිනෙක උදාවිය. ඒ අතරින් මාලක දේවප්‍රියගේ කුළුදුල් සිනමා සිත්තම වන බහුචිතවාදියා  තුළ එකින් එකට දෝලනය වෙමින් පද බැඳෙමින් අපට කියා පාන මේ නාටකය කුමක් ද...?

සමස්ත සමාජය මුව වසාගත් එකම රසය මුදලය. මෙම මුදල සොයා යන්නට ඉමක් කොනක් නොමැති අවසානයක් නොමැතිව තෘෂ්ණාවේ බැමි බඳින්නට ලු‍හු බැඳිය යුතුව ඇත. මෙම ලු‍හු බැඳිම මෙම සිනමා කෘතියේ ආගමයි. මෙම මුදල තුළ අනන්ත සැපක් ඇත. මෙම අනන්ත සිහිනය තම ලේවලට එකතු කරගත් හිත පපුව තම ආත්මයෙන් අයින් කරගත් ගිජු ලිහිණියක සේ එකම ගොදුරක් පසු පස ප්‍රියාසර කරන යෞවනයකු තම ආත්මීය උන්මාද පිපාසය නිවා සනසා ගන්නට ගන්නා අසීමිත වු ප්‍රයත්නය, සිනමා ගර්භය තුළින් ඉදිරිපත් වෙයි. මෙම සිනමා වියමනේ වේගය වන්නේ තරුණ සසිතයි. ඒ නිසාම ඔහුගේ වේගය බිඳින්නේ ඔහුම නියෝජනය කරන ජඩ, කුරිරු සමාජ පසුබිමයි. ඒ නිසාම ඔහුගේ ඉදිරි පියවරවල් මත ලේ සළකුණු තබන්නටත්, ඔහුගේ පැතුම බියකරු කරන්නටත්, තවත් විටෙක ඒ සියල්ල උඩු යටි කුරු කරන්නටත්  ඒ නිසාම ඔහුගේ ක්‍රියාවන් හුරතල් කරන්නටත් මෙම සිනමාකරු තම නිසඟ නිර්මාණ හැකියාවන් උපයෝගී කරගෙන ඇත.

පතිරාජයන්ගේ සෙවණැල්ලට යටින් එබෙන 'බහුචිතවාදියා' | ගාමිණී වියන්ගොඩ

 

බටහිර රටකට ගොස් අසීමිත ලෙස මුදල් සොයා ගැනීමේ අරමුණ ඉටු කර ගන්නට අන්තර්ජාලය අවියක් කරගන්නා සසිතට එම අවස්ථාවන්  ඇති කර ගන්නට තම රැකියාවද ඉවහල් වෙයි. විවිධ වේශයන් තුළින් ඔහු හා සම්බන්ධ වන යුවතියන් ඉතා ඉක්මණට ඔහු හා මිතුරු වෙමින් ඔහුට තෑගි බෝග පවා ලබා දෙයි. ඔවුන් මහා බලාපොරොත්තු ඔහු ගැන තබා ගනියි. නමුදු ඔහුගේ ඉලක්කය හරහා එකම ක්‍රමය වංචාව වන විට, කෙහෙල් ගහේ හොට පැටැලෙන විටක, එම දැලෙන් රිංගන්නට ඔහුට අපහසු වෙයි. ඒ නිසාම ඔහු විටෙක කඩා වැටෙයි. නමුදු නැවතත්, ඒ  තාඩන පීඩන මැදම  නොනවතින ජීවන අරගලයට නව තේමාවක් දෙමින් ඔහු නැගී සිටියි.

අවසානයට නැවතත් හමුවෙන ස්කයිප් තරුණියගේ සම්බන්ධයත් සමඟ එය පෙන්නුම් කරන්නේ නොනැවැතී ඉදිරියට දුවන ආත්ම ශක්තිය පෙන්නුම් කරමිනි. මෙම අවසන් සිනමා දර්ශනය සමගින් ප්‍රේකෂකයාගේද නැවත නැගිටීමක් සමඟ අමුතු උණුසුමක් දක්නට ලැබෙන තරමටම  නිර්මාණකූට ප්‍රාප්තිය රසාලිප්ත විය. හැඟුම්බර විය. එය සිනමාකරුගේ තවත් විශිෂ්ට නිර්මාණ හැඩයක් යැයි සිතිය හැක.

 

WhatsApp Image 2025 06 14 at 3.53.46 PM 2
මේ කලාත්මක සිනමා වියමනට තරුණ ජවයන් ආකර්ශනය වන බවක් පෙනෙන්නේ මේ අන්තර්ජාලය  ඔවුන්ගේ ජිවිතයේ කොටසක් බවට පත් වී ඇති හෙයින් විය හැක. යම්කිසි නිර්මාණකරුවෙකු තම කලා භාවිතය කෙලෙසක හැසිරුවද මිනිස් සිත එයින් සැනැසෙන්නේ නැවත නැවත එය ආවර්ජනය කරන්නේ ඒ තුළ මනුෂත්වය මුහු වී තිබුනොත් පමණි. එහි සටහන් වන්නේ නිර්මාණකරුගේ අධ්‍යාත්මික සටහනයි. එය කිසිවෙකුට බලෙන් කළ නොහැක. එවන්නන් කවුරුන්දැයි සමාජය හදුනා ගනියි.

ඒ නිසාම මෙම සිනමාකරුවාගේ හද ගැස්ම ප්‍රධාන රංගන ශිල්පියාගෙන් ආරම්භ වෙමින් මුළු නිර්මානය පුරාම පිරී පවතී. ඒ නිසාම එතරම් වැරැදිකරන සසිතට අපි ආදරය කරන්නෙමු. එම ආදරය අප තුළ නිර්මාණය වෙන්නට  ඔහුගේ සිනමා ආඛා්‍යානයත් හේතු වී ඇත. එමෙන්ම සසිතගේ ලෝකය මේ සමාජය තුළ සිටින සියළු අන්තර් ජාල ලෝලීන් ගේ එකම හෙවැනැල්ල වෙන තරමටම ඔහුගේ රංගන ප්‍රතිභාවය බලවත්ය. කළන ගුණසේකර එම චරිතයට නව ප්‍රාණයක් එකතුකරමින් එම චරිතය උණුසුම් කරන්නේ අපිව සංවේදිව ආමන්ත්‍රණය කරන විශිෂ්ට භාව ප්‍රකාශනයක් තුළිනි. එය ආදරණීයය. විනය ගරුකය. එම නිසාම ප්‍රේක්ෂක හදවත තුළ සසිත සදාතනික වන තරමටම ඔහුගේ රංගනය ගෞරවණිය වී ඇත. මෙම තත්වය වඩාත් සාර්ථක වන්නට ඇත්තේ ඔහු වටා සිටි සෙසු රංගන ශිල්පීන් ශිල්පිණියන් ගේ දක්ෂ රංගන හැකියාවන් ද නිසා විය හැක.

 

පහත් ලිංගිකත්වය කොතැනැකින් හෝ මතුකර එය චිත්‍රපටිය දුවන්නට එකම ඉලක්කය කර ගත් සමහර සිනමා කරුවන්ට මාලක දේවප්‍රිය සිනමාකරුවා ආදර්ශයක් විය යුතුය. මෙම කතාවේ පිටපතින්ම ඉල්ලා සිටින සෙල්ලක්කාර අංසවර නිදන ඇඳ වෙනුවට ඔහු ස්වකීය ආත්මයන්ගේ අසරණ හෙළුව පමණක් නිරාවරණය වෙන තරමටම නව සිනමා භාවිතයකින් ලිංගිකත්වයට කලාත්මක සිතුවමක් එකතු කරන්නට සමත් වී ඇත. මෙම සිතුවම ඇදෙන්නේ ප්‍රේක්ෂක මනස තුළය. ඒ නිසාම, රෙදි කඩාගෙන, දඟලන, මස් ගොබ සහ රහස්‍ය අවයවයන් ප්‍රදර්ශනය වෙනුවට සිනමා රූපය අලු‍ත් භාෂාවකින් ආමන්ත්‍රණය කරමින් ලිංගිකත්වයේ ශූන්‍යභාවය ඉස්මතුකරන්නට තරම් ඔහුගේ තරුණ හිත උත්තම තත්වයට පත් කරගෙන ඇත. නිර්මාණශීලි වී ඇත.

මෙහි කැමරාව තුන්වන චරිතයක් බවට පත්වෙමින් නිර්මාණ දේහයට වේගවත් හුස්මක් එකතු කරමින් කුමක්දෝ නිර්මාණශීලී භාෂාවකින් අපව ආමන්ත්‍රණය කරයි. මෙහි සිනමා ආඛ්‍යානයත් සමඟ ඒකාත්මික වෙයි. සංස්කරණය ද එසේමය. සියළු කැමරා කෝණ ඉතා හොඳින් ස්පර්ශ කරමින් ඡේදන ගැටිම තුළින් නව අර්ථ කතනයකින්  කතා විලාශය ඉදිරියට අරගෙන යයි. මෙහි සංගීතය ඇසෙන නොඇසෙන තැනක සිට සිනමා රූපය ධ්වනිත කරයි. සිනමා කරුවා සංගීතය ඉතා  මසුරු කමින්  උච්ඡතම අවස්ථාවන්වල හැඟීම් ජනනය වන්නට පමණක් ඉඩ දෙමින් සිනමා භාෂාවේ තොල අගට මී පැණි එකතු කර ඇත.

WhatsApp Image 2025 06 14 at 3.53.46 PM 1

 

සමස්ත සිනමා ගලා යෑම විශිෂ්ටය. එසේ වුවද  සසිතගේ සොහොයුරියගේ පෙම්වතා වන ඔහුගේ මිතුරා මේ කතාවේ දියවුනු ස්භාවයක්  ඇති බව පෙනෙන්නට ඇත්තේ එවැනන්ක් සිදුවීමට නියමිත වු කිසිදු හැඟීමක්  කිසිවෙකු ගෙන් හෙලි නොවුනු නිසාවෙනි. එය  එසේ වුවද විවාහවීමේ කාල සීමාව ඉක්මගිය අවස්ථාවක කවුරුන් හෝ විවාහකර ගැනීමත් යන පිළිතුරු ද විවාහ යෝජනාව කුණුවී ගිය විෂම සමාජ පිළිලයට පිළිතුරකි. නමුදු කිසිදු නිර්මාණකරුවෙකුගේ දෘශ්‍ය පථයට ඉව නොවැටුනු මෙම සමාජ බේදවාචකය ඉතා සියුම් කොනිත්තිල්ලකින් ප්‍රෙක්ෂක ඥානය අවුස්සන්නට සමත්වන ලෙස එම අවස්ථාව මතු කරන්නට මෙහි සිනමාකරුවා සමත්ව ඇත.

සසිතගේ බොස්ට අළුතන්ම මුණගැසෙන ඔහුගේ පරණ පෙම්වතිය හා බැඳෙන සාමාන්‍ය ලිංගික සම්බන්ධයේ ගලායෑම බොස් පැළැන්තියේ ජඩබවේ තරම කියාපාන්නකි. ශ්‍රමය සූරාකෑමේ ප්‍රාථමික හිංසනය අද ජය කෙහෙළි නංවමින් නව්‍ය කරණයකට හසුවී ඇත. ඒ තරමටම එය බලය විසින් ආරක්ෂා වී තිබෙන්නේ කිසිවෙකුගේ ඇස් මානයට නොපෙනෙන ලෙසය. මෙම සමාජ ව්‍යහසනය ද නාට්‍යානුසාරයෙන් බොස්ගේ චරිතය තුළින් සිනමා ගතවෙන ආකාරය අපූරුය. තම ජංගම දුරකථනයත් මෝස්තරත් වැඩි වටිනාකම් අනුව, ආදරය මාරුකිරීමත්, එවන් හැව අරින ජීවන මෝස්තරයට හිස් ඔළුගෙඩියක් පමණක් හිමි වීමේ ඛේදවාචකය, කාලීන යුගයේ ඥාව් තරුණියන්ගේ සංගමයේ සමාජිකාවකගේ පූර්ණ ප්‍රතිරූපයක්  ලෙසින්  පෙනෙන කාන්චනා ගේ චරිතයෙන් කදිමට නිරූපණය වෙයි.

WhatsApp Image 2025 06 14 at 3.53.46 PM
පාට දෙක තුනක් එහාට මෙහාට බායි කියමින් දේශපාලන කතිරය උඩ දිය බුං ගසන කරළියේ අවසානය කතිරයේ පස්ස පැත්ත ජනතාවට විවෘත වීමයි. එහිදී කඩවුනු පොරොන්දු කටු සටහන් පමණි. එකතැන පල්වෙන සිනමාවටද එයින් මිදෙන්නට නොහැක. මේ භූමිකාව මත රඟදෙන ඉහළ පුටුද, ඉලක්කබලා කැරකෙන ඒවාය. ඒ අතරින්  සිනමාට ආලෝකයක් ලැබුනේ කලාතුරකිනි. එමෙන්ම, සිනමාව  තුළ ඉහළ මාලයේ  දිදුලන තරුද නිතරඟයෙන්ම පැරදී ඇත්තේ  එකමුතුකම  සහ පොදුබව ගැන තුන් හිතකින්වත්  නොපතන හේතුවෙනි. මම සහ මගේ ගිණුම හැර අනෙකාට ආදරය කිරීම සහ උපකාර කිරීම  ඔවුන්ගේ පැවැත්ම තුළ ගෑවීලාවත් නැත. මෙලෙස වචනවලට සීමාවුණු  ආදරණීය සිනමාවට බලවත් හඬක ප්‍රායෝගික  පිම්මට අද ද හඬක් නොමැත .  

එසේනම් හෙටද එය එසේම විය යුතුද...? ඒනිසාම එසේ නොවන්නට ඉතාම නිර්මාණශීලි  සිනමා කරුවන්ගේ ප්‍රවේශය මෙසේ ඉදිරිපත් වීම සතුටට කරුණක් වුවද  අද ඔහුන්ට පැවැත්මක් නැත. ඒ නිසාම, සිනමා පාසලක් නොමැති  සිනමා  ඇගැයීමක් නොමැති,  සිනමා රසාස්වාදයක් නොමැති සමාජය තුළින්ම සිනමාව අවතක්සේරු කරන තැනක සිට මෙවන් සිනමා කෘතියක් නිර්මාණය කළ මාලක දේවප්‍රිය පමණක් නොව අනිකුත් තරුණ සිනමා නිර්මාණකරුවන්  මා දකින්නේ වීරයන් ලෙසය.

පතිරාජයන්ගේ සෙවණැල්ලට යටින් එබෙන 'බහුචිතවාදියා' | ගාමිණී වියන්ගොඩ

 

මෙලෙස, සමාජ ද්වන්ධ සටන් කරමින්  කාලීන වැදගත් කමක් ඇති මං පෙත් වල සැරිසරන තරුණ ප්‍රජාව වෙනුවෙන් කල පූජාවක් ලෙස “බහුචිතවාදියා” මම දකිමි. ඒ නිසාම මේ භද්‍ර යෞව්වන  සොඳුරු දක්ෂ සිනමා කරුවා අප ලංකීක සිනමාවට  මෙසේ කැන්දාගෙන එන  ආකර්ෂණීය මනාලියගේ හැඩ ශෝබා ප්‍රසිද්ධියේ දැකගන්නට  අප සැදී පැහැදී  සිටින්නෙමු.  


chandrika(සටහන | චන්ද්‍රිකා මුණසිංහ)
රංග වේදිනි - නිදහස් ලේඛිකා
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්