ඒක හරි අපූරු වැඩක්. නිල් කැටේට දිලිසෙන වතුර ගලා යන ගඟක්. ඒ වතුර එහෙ මෙහ හැප්පෙනවා. කිරිබෝල පෙනපිඩු නැගෙනවා. ඔය අතර කාලගුණ අනාවැකිවලටත් නොදන්වා මහ වරුසා ඇදහැලෙනවා. නිල් කැටේ ගඟ බොර නොවී ඉවුරු දෑල සිග්සැග් ක්‍රමයට පුළුල් වෙනවා. මෙන්න මේ වෙලාවේ දී ගඟ ගලායන හැටි හරිම අපූරුයි! ගැඹුරුයි!! රහයි!!!
''තුන්ගා අසු අරා කඳුහෙල් පසුකරන් ආව ජෝතිට හංගා ගල්ලෙනේ ඉන්නා කුමරියව මුණගැසුවේ අජන්තා රණසිංහගේ වචන. අසු පිට නැගලා උන්මාද සිහිනෙන් ඉන්ද්‍රාණී පෙරේරා ගීතයෙන් මංගල ගමන් ගියේ හඩ්සන් සමරසිංහගේ වචන දිගේ. හඩ්සන් සමරසිංහ කියනකොට ලියුම්කරුට මතක් වෙන්නේ ‘යකාගේ වංගුව’. නැහැ. නැහැ. ඒක ගුවන් විදුලි සංස්ථාව ගැන උපමා රූපකයක් නොවෙයි, හඩ්සන් සමරසිංහ අනූව දශකයේ ලිව්ව ගුවන් විදුලි නාට්‍යයක්" (පිටුව 72)
අධිකාරීමය බලය පාදඩ දේශපාලනය වෙනුවෙන්
හඩ්සන් සමරසිංහ
පාඨක ඔබ දැන් මේ ඡේද දෙකේ නවතින්න. පූර්විකාවේ සටහනක් පොතෙන් උපටා ගත් සටහනක් ආයෙත් කියවන්න. පූර්විකාවේ සඳහන් දේ උපුටා ගැනීම ඇතුළේ කොතරම් තහවුරු වන්නේදැයි බලන්න. ''ඔය අතර කාලගුණ අනාවැකිවලටත් නොදන්වා මහ වරුසාවක් ඇදහැලෙනවා.'' කියලා තියෙන වචනවලින් කියැවෙන දේ හැර අනෙක් බොහෝ දේ බොහෝ දෙනෙකුට එක පැහැර උපුටා ගැනීම තුළින් සොයා ගන්න පුළුවන්. දේශපාලනිකව පරිණත අයට නම් උපුටා ගැනීම තුළ ඇති ගැඹුරු දේත් තේරුම් ගිය බව නොඅනුමානයි.
''හඩ්සන් සමරසිංහ කියනකොට ලියුම්කරුට මතක් වෙන්නේ යකාගෙ වංගුව කියලා” ඊළඟට ලියන වචන ටික තමයි මහ වරුසාව. “නැහැ, නැහැ. ඒක ගුවන් විදුලි සංස්ථාව ගැන කියන උපමා රූපකයක් නොවෙයි.” කියන වචන එකොළොහ මහ වරුසාව ඉක්මවා ගිය “දිය හෙණයක්.” හඩ්සන් සමරසිංහ කියන දක්ෂ සන්නිවේදකයා සහ නිර්මාණකරුවා පිළිබඳ ඇගයීමක් ඉහළින්ම තියෙනවා. ඒ අසුරු සැණින් ඔහුගේ දේශපාලන ගැතිකම, ඒ නිසාම සිදුකළ නිහීන ක්‍රියා ගැනත් කියැවෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය සතු අධිකාරීමය බලය පාදඩ දේශපාලනය වෙනුවෙන් මෙහෙය වූ ආකාරයත් කියැවෙනවා.
දිදුලන හදවතින් මග පෙන්වීම

මේ සටහන තැබෙන්නේ කැටේගේ අලුත් පොත ගැන. කැටේ කිව්වේ විමල් කැටිපෙආරච්චිට. “විනිවිද කළුවර දිදුලන හදවත” ඒ පොතේ නම. දිදුලන හදවත කීවාම එකසැරේ ම දෙන්නෙක් මතක් වෙනවා. එක්කෙනෙක් මහගම සේකර. මහගම සේකරගේ කවියක තියෙන්නේ ඕනෑම කෙනෙක්ගේ හදවත දිදුලන මොහොතක් තිබෙන බවයි. ඒ වෙලාවේ දී ඒ හදවත තරම් දීප්තිමත් කිසිම දෙයක් ලොකයේ වෙන නැති බව සේකර කියනවා.

අනෙක් කෙනා අපේ නොවෙන අපේම කෙනෙක්. මැක්සිම් ගෝර්කි අපේ නොවන අපේම කෙනෙක් කියලා ලිව්වේ ඇයි කියලා මේ සටහන කියවන ඔබ දන්නවා. ගෝර්කිගේ අම්මා කියන්නේ අපේම අම්මලා ගැන තමයි. වෙනසකට තිබෙන්නේ ගෝර්කිගේ අම්මා ඒ පුතාලාගේ අරගලයත් එක්ක පෙරමුණේම සටන් කරන්න මුලදීම ඉදිරිපත් වීමයි. දිදුලන හදවත කියන දේට ගෝර්කි සම්බන්ධ වෙන්නේ ඉසගිර් මැහැල්ල කියන කෙටිකතාවයි. ඒ කෙටිකතාවේ තමයි දන්කෝගේ හදවත තියෙන්නේ. මහ කැලේක ඝනඳුරු රාත්‍රියක අතරමං වූ මිනිසුන්ට මඟ පෙන්වන්න දන්කෝ කියන නිර්භීත තරුණයා ඉදිරිපත් වෙනවා. ඔහු කරන්නේ තමන්ගේ හදවත අතට අරගෙන ඒ දිදුලන හදවතේ එළියෙන් මිනිසුන්ට පාර පෙන්වීම.
කැටේ ලියන්නෙත් මිනිස් හදවත් දිදුලවන්න. ඒ වෙනුවෙන් දරන ලේඛන ප්‍රයත්නය හරිම අපූරුයි.
රිලේ බැට්න් එක ඊළඟ පරම්පරාවලට
''ඒ කතාවේ හිටියේ මොන විදිහට හරි රේස් එක දිනන්න හදන අශ්වයන් වගේ අපේ කාලයේ මිනිස්සුත් ඒ කතාව පළවුණේ අසූ තුනේ. අසූ තුනේ තමයි දේශපාලන පක්ෂ තහනම් කරලා ජේ.ආර්, ජයවර්ධන ලංකාවේ දේශපාලනය ‘වන් හෝස් රේස්’ එකක් කරන්න පටන් ගත්තේ.” දිදුලන හදවත් තියෙන දේශපාලන සත්වයන් හුඟක් මේ කාලයේ ඕනෑ. ඔවුන් විශේෂයෙන්ම අපේ රටේ 1977න් පස්සේ දේශපාලනය හරියටම තේරුම් ගන්න ඕනෑ. සමාජ, සංස්කෘතික, ආර්ථික විපරිනාමය හරියටම තේරුම් ගන්න ඕනෑ.

නාමල් ජයසිංහ ලියපු බොහීමියානුවා ටෙලි නාට්‍යයේ මේ ගැන කියැවෙනවා. “අසූවෙන් පස්සේ රිලේ බැට්න් එක ඊළඟ පරම්පරාවට පාස් වුණේ නෑ. සියලු පුරුෂාර්ථ කැඩිලා බිඳිලා ගියා.” කියන දෙබසක් තිබෙනවා. දිදුලන හදවත කෘතිය ස්ථානගත වෙන්නේ මෙතන. මේ පොතෙන් කැටේ කරන්නේ අර රිලේ බැට්න් එක ඊළඟ පරම්පරාවලට අහුලලා දෙන්න උත්සාහ කරන එක. ඒ උත්සාහයේදී කැටේ තමන්ටම කියලා ලිවීමේ සරල සුගම රටාවක් යොදා ගන්නවා.
මේ රටාව කැටේට ආවේ සුනිල් මාධව ප්‍රේමතිලකගෙන් බවයි චන්දන තිලකරත්නගේ මතය. චන්දන තිලකරත්න කියන්නේ ඉතාම අවබෝධයෙන් සහ නිර්මාණශීලීව කටයුතු කරන අටළොස්සක් සංනිවේදකයින් අතරින් කෙනෙක්. දිදුලන හදවත ජනගත කිරීමේ හමුවේ දී අදහස් දැක්වූයේ මේ ප්‍රවීණයා. කැටේ ලියන රටාව සුනිල් මාධවගේ අනුසාරයක් බව චන්දන තිලකරත්න ප්‍රවීණයා කීවේ මේ පොත තුළින් ලැබී තිබෙන ප්‍රබල ඉඟිකිරීම් නිසයි.
සුනිල් මාධවගේ අනුසාරයෙන් ගොඩනැගෙන ලිවීම
''අනූඅටේදී, තරුණ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස මේ ලියුම්කරු දුරකතනයෙන් කළ ඇරයුමක් පිළිගනිමින් සුනිල් අයියා කොළඹ සිට හලාවත ශාන්ත මරියාවට අතින් වියදම් කරමින් පැමිණියේ ප්‍රභාතය කලා උළෙලට සහභාගී වී සාහිත්‍ය දේශනයක් කරන්නයි. ඒ බණ්ඩාර වැවගෙදර සොයුරාද සමගින්. පාසලේ බිත්ති පුවත්පත වූ සියපත කලාප ගණනාවක් ඒවා එල්ලා තිබූ ශාලාවේ ඇවිදිමින් සුනිල් අයියා කියෙව්වා.” කියලා කැටේ මේ පොතේ තැනක සටහන්කර තිබෙනවා. ඒ අනුව කැටේගේ ලිවීමේ රටාව සුනිල් මාධවගේ අනුසාරයෙන් ගොඩනැගෙන බව ඕනෑම කෙනෙකුට එකවිට ම තේරුම් යන දෙයක්.

හැබැයි ඒක ඒ විතරක්ම නොවෙයි කියලා පැහැදිලි වෙන තවත් මූලාශ්‍ර තිබෙනවා. දයාසේන ගුණසිංහ ලියූ තීරු ලිපිත් කැටේගේ ලිවීමේ රටාවට බලපෑ බව පෙනී යනවා. දයාසේන ගුණසිංහ 'රයිගම් රාළ' යනුවෙන් ලක්දිව පත්තරයට ලියූ තීරු ලිපියක කොටසක් මෙහෙමයි. “මේ නිසා මහජනතාවගේ ආරක්ෂාවට ඇත්තේ තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් පමණකි. එහෙත් ස්වයංක්‍රීය රයිපලයට මැෂින් තුවක්කුවට හා කඳුළු ගෑස් බෝම්බයට විරුද්ධව මළකඩ කෑ ත්‍රිශූල, කුන්තායුධ, චක්‍රායුධ ආදියෙන් සටන් කළ නොහැකි ය. එහෙයින් උන්වහන්සේලා ද සිය විමන් තුළට වී ගෘහස්ථ ක්‍රීඩාවල යෙදෙමින් විශ්‍රාම සුවයෙන් කල් ගෙවති.” දයාසේන ගුණසිංහගේ මෙන්න මේ ලිවීමේ රටාව සහ අන්තර්ගත සදය උපහාසය කැටේ හඩ්සන් සමරසිංහ ගැන ලියූදේට කොතරම් නෑකම් කියනවාද බලන්න.
ත්‍රිමුර්තියක් නිරූපණය කෙරෙන ලිවීමේ ගුණාංගය
ඒ විතරක් නොවෙයි, බන්දුල නානායක්කාරවසම් ඉදිරිපත් කළ ‘රෑ ඉරපාන’ ගුවන් විදුලි වැඩසටහනේ පිටපතටත් අන්තර්ගතය සහ ගලායන ආකාරයටත් කැටේගේ ලිවීමේ රටාව නෑකම් කියන බව දැනෙනවා. රෑ ඉරපානේ 2011 නොවැම්බර් 06 කදම්බයේ පිටපතෙන් පුංචි කොටසක් මේ බලන්න.

''අතුරුදහන්වීම් කියන වචනය එක් එක් අය තුළ ඇති කරන්නේ විවිධ චිත්ත රූප. ඒ කිසිම චිත්ත රූපයක් සතුටක්, මඳහසක් හෝ සැහැල්ලුවක් ගේන ඒවා නොවෙයි. මේ රටේ අතුරුදහන්වීම් ඇරඹුණේ කවදාද කියා කියන්න මා දන්නේ නැහැ. නමුත් ඒ වචනය අපේ හිතට තදින් කා වැදුණේ අසූව දශකය අග්ගිස්සේ කියලා කීවොත් ඔබ මා එක්ක එකඟ නොවී ඉන්න එකක් නැහැ. අතුරුදහන්වීම් පිළිබඳ විවිධකාර නිර්මාණ අපට දකින්නට ලැබුණා. සුදත් දේවප්‍රියගේ ‘උඩුගංයාමය’ චිත්‍රපටය මා තුළ තදබල කම්පනයක් ඇති කළේ ඒ චිත්‍රපටයේ තිර කතාවේ සිට මට අවක්ෂේපණය කර ගන්නට සිදුවූ නිසා තේමා ගීතය ලියන්න.”
ඒ කියන්නේ කැටේගේ ලිවීමේ ගුණාංගය ත්‍රිමුර්තියක නිරූපණයක් බවයි. සුනිල් මාධව ප්‍රේමතිලක, දයාසේන ගුණසිංහ සහ බන්දුල නානායක්කාර වසම් යන ත්‍රිමුර්තියේ අනුසාරී ඒකත්වයක් තිබෙන බවයි. එය කොතරම් අපූරු ද. උල්පත් මතුවූයේ විවිධ තැන්වලින් බව ඇත්ත ය. දැන් ඒ සියල්ලේ එකතුව අපි දකින්නේ නිල් කැටේට දිලිසෙන වතුර ගලා යන නිශ්චල අරමුණක් සහිත ගංඟාවක් හැටියට. ඒ ගංඟාව මිනිස් සා පිපාසාව ඇති කරමින් ඒ සාපිපාසාව නිවාලන හැටි අපූරුයි. මිනිස් හදවත් අවදිකර දිදුලවන්න, ‘දිදුලන හදවත’ කොතරම් සමත් ද යන්න අපි අපිම මැන බැලීම සාධාරණයි.
එකට මුණ ගැසුණු සංස්කෘතික ප්‍රකාශකයෝ
''විජේවීරයි, සුනිල් පෙරේරායි සංනිවේදන අර්ථයෙන් නැවත කියවා ගැනීම ඉතා වැදගත් කියලා ලංකාව කියන දූපතේ බෝඩිම් කාරයෙක් හැටියට ලියුම්කරු විශ්වාස කරනවා. ‘කොච්චර කීමත් මිනිසුන්ට තේරෙන්නේ නෑනේ’ කියන එක මේ කාලයේ නිතර ඇහෙන ප්‍රශ්නයක්. විජේවීරයි, සුනිල් පෙරේරා කියන සමාජ සංස්කෘතික ප්‍රකාශකයෝ දෙන්නා එකට මුණගැසුවොත් ඒ ප්‍රශ්නයට සෑහෙන්න හොඳ උත්තරයක් හම්බවෙන්න ඉඩ තියෙනවා !”
සුදත් බලගල්ල
කැටේ විජේවීරයි, සුනිල් පෙරේරායි ගැන සංනිවේදන අර්ථයෙන් කතා කරනකොට සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කණ්ඩායමක් දසක දෙකකට විතර ඉස්සර කළ වැඩක් මතක් වෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් කළ වැඩක්. “මාගේ දේශය අවදිකරනු මැන” කලා උළෙල එක අවුරුද්දක සංවිධානය කළේ සුදත් බලගල්ල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වී සිටියදී. ඒ සුදත් දැන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බවත් මතක් කිරීම වැදගත්. මේ කියන කලා උළෙලට පණ්ඩිත් අමරදේව සහ රූකාන්ත ගුණතිලක එකම වේදිකාවේ මුණගැස්සුවා. ඒ මොහොත කොතරම් අසිරිමත් මොහොතක් ද?
නූතන විත්ති කතා
කැටේගේ මේ පොතට දුර නෑකමක් කියන තවත් මොකක්දෝ පොතක් තියෙන බව කල්පනා වුණා. මායා රංජන් අන්වර්ථ නාමයෙන් ලියූ “දිගාමඬුල්ලේ ආශ්චර්යය” කියන පොත. මායා රංජන්ට 1940 හෝ 1950 කාලයේ අම්පාර පැත්තේ දුෂ්කර ඉස්කෝලෙකට ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ රාජකාරියේදී ලැබූ අත්දැකීම් සහ අත්විඳීම් එක්කරමින් දිගාමඬුල්ලේ ආශ්චර්යය පොත ලිව්වා. ඊට පස්සේ තවත් කිහිපදෙනෙක් ඒ වගේ සටහන් ලියන්න පටන් ගත්තා. මේ සාහිත්‍ය ප්‍රවර්ගය ‘විත්ති කතා’ කියලා නම් කළා.
කැටපේ ලියන්නෙත් ඒ වගේ අත්විඳීම් සහ අත්දැකීම්. ඒ නිසා ඔහුගේ මේ පොත “නූතන විත්ති කතා” කියලා නම් කරන්න පුළුවන්. කැටේ නූතන විත්ති කතා අතිශයින්ම දේශපාලනිකයි. සමාජ සංස්කෘතිකයි. මේ සමාජය සුසමා දර්ශී විතැන්වීමකට ලක්කිරීම වෙනුවෙන් ශක්තිමත් මූල පද්ධතියක් සොයා පාදා දෙන්න දිදුලන හදවත විශිෂ්ට මඟපෙන්වීමක් කරනවා.
අලුත් පරම්පරාවක පවසන නිවා ගන්න දල්වන හදවත
''ෂැංග්‍රිලා සෙවණැල්ල යට හැංගිලා තියේවි, මිනිස් ආදරයේ කොමියුනිස්ට් මතක නව ලිබරල් නව නිවහල් මතක. සර්ව පාක්ෂික සාමූහිකත්වයේ නිර්මාණාත්මක මත. රෝම ගෘහ නිර්මාණ ආකෘතියට තැනූ පාර්ලිමේන්තුවට පවා නිතරෝම මතක් වේවි අලුත් පරම්පරාවක නිර්ව්‍යාජ සටන්කාමිත්වයක පහස. අන්න ඒක තමයි මේ ලස්සන අරගලයේ රහස.''

කැටේගේ නූතන විත්තිකතා ගැන මේ ලියුවේ අසම්පූර්ණ සටහනක්. මේ සටහන අවසන් කිරීමට තව එක උපුටා ගැනීමක් ගන්නම වෙනවා.
''තමන් ආස අහසට ඉගිළෙන්න. නොහැකි වෙන එකෙන් සතුට ඈතට පලා යනවා. එක එක්කෙනා ආස එක එක දිහාවට පියාඹන්න. දරුවන් ආස, මාවත් සොයාගන්න තමයි අධ්‍යාපනය තියෙන්නේ. අනෙකාට බාධාවක් නොවන ලෙසට - සමාජයට අවැඩක් නොවෙන ලෙස මිනිස් ආශාවන් කළමනාකරණය කරන එක තමයි ලෝකය ඉස්සරහා තියෙන වික්‍රමය. සමාජ සතුට හදන එක සාමූහික වැඩක්. ඒ අතර, සාමූහිකය තුළ තනි තනිව කරන්න වැඩ තියෙනවා. කාටවත් කරදරයක් නොකර තමන් ආස කරන දේ කරන්න එතකොට සතුට ලොක් වුණත් යතුර නැතිවෙන්නේ නෑ. යතුර ඔබේ හදවතේ. දිදුලන හදවතේ!”
කැටේගේ මේ සර්පිලාකාර ගමන කොතරම් සුන්දරද, ඒ පාදා දෙන උල්පත් ඔස්සේ අලුත් පරම්පරාවක පවසන නිවා ගන්න දල්වන හදවත කොතරම් අපූරුද!
(සටහන | අකිල එරංග රත්නායක)

කැටේගේ මේ පොතට දුර නෑකමක් කියන තවත් මොකක්දෝ පොතක් තියෙන බව කල්පනා වුණා. මායා රංජන් අන්වර්ථ නාමයෙන් ලියූ “දිගාමඬුල්ලේ ආශ්චර්යය” කියන පොත. මායා රංජන්ට 1940 හෝ 1950 කාලයේ අම්පාර පැත්තේ දුෂ්කර ඉස්කෝලෙකට ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ රාජකාරියේදී ලැබූ අත්දැකීම් සහ අත්විඳීම් එක්කරමින් දිගාමඬුල්ලේ ආශ්චර්යය පොත ලිව්වා. ඊට පස්සේ තවත් කිහිපදෙනෙක් ඒ වගේ සටහන් ලියන්න පටන් ගත්තා. මේ සාහිත්‍ය ප්‍රවර්ගය ‘විත්ති කතා’ කියලා නම් කළා.





