මහාචාර්ය සුනිල් ආරියරත්න විද්වතානන් විසින් විරචිත නවතම කෘති ද්වය “ගේය කාව්‍ය කර්තෘවරු” ජනගත කිරීම අද (16 දා) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුවේ.
පළමු හා දෙවන වෙළුම ලෙස ප්‍රකාශිත මෙම ග්‍රන්ථ ද්වය තුළ මෙරට විසූ ප්‍රතිභාන්විත ගේය කාව්‍ය රචකයන් 12 දෙනකුගේ නිර්මාණ, ඔවුන්ගේ සංක්ෂිප්ත ජීවන තොරතුරු හා රසික ශ්‍රාවක පිරිස් මෙතෙක් නොඅසා ඇති අපූරුව කරුණු අන්තර්ගත වේ.
ඉමාෂි අධිපති විමල් දිසානායක මෙම ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රකාශකයා වෙයි.
මෙම කෘතිය පිළිබඳව 'දිවයින' පුවත්පතේ පලවී ඇති ප්‍රවීන සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති ගේ ලිපියක් මතු පළවේ.
ශාස්ත්‍රවන්ත ගේය කාව්‍ය විශිෂ්ටයකු දකින ගේය කාව්‍ය කර්තෘවරු
මහාචාර්ය සුනිල් ආරියරත්න විරචිත නවතම කෘති ද්වයක ජනගත කිරීමේ උලෙළක් අඟහරුවාදා (16දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. පළමු හා දෙවන වෙළුම ලෙස ප්‍රකාශිත මෙම ග්‍රන්ථ ද්වය තුළ මෙරට විසූ ප්‍රතිභාන්විත ගේය කාව්‍ය රචකයන් දොළොස් දෙනකුගේ නිර්මාණ, ඔවුන්ගේ සංක්ෂිප්ත ජීවන තොරතුරු හා රසික ශ්‍රාවක පිරිස් මෙතෙක් නොඅසා ඇති ඔවුන් නොදන්නා ඔවුන්ගේ නිර්මාණ හා බැඳුණු අපූර්ව තොරතුරු රැසක් ම විමර්ශනය කිරීමට සුනිල් ආරියරත්න මහැදුරුතුමා ගත් උත්සාහයක මහරු ඵල සහෘද අප’තට පත් කිරීමට සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශනයට හා හාපුරා කියා පිවිසෙන ඉමාෂි අධිපති විමල් දිසානායකයෝ සමත් ව සිටිති.

ගේය කාව්‍ය කර්තෘවරු නමින් ප්‍රකාශයට පත් ව ඇති මෙම කෘති කීර්තනයෙහි (Blurb) මෙලෙස සඳහන් වී තිබේ. ‘ඔහු ලියන තාලයේ පොත් කවුරුවත් ලියන්නේ නැත. කවුරුත් ලියන තාලයේ පොත් ඔහු ලියන්නේ නැත. ඔහු ග්‍රන්ථකරණය සඳහා තෝරා ගන්නේ කිසිවෙකුගේ ඇස නො ගැටෙන මාතෘකා ය. ඔහු සින්දු යන දෙමළ වචනය ගැන පොතක් ම ලිව්වේ ය. බයිලා, කැරොල්, පසම් කන්තාරු, ග්‍රැමෆෝන් ගී වැනි මාතෘකා මෙන් ම ලෞජි, මුත්තුසාමි, රොක්සාමි, සාලි, සමරදිවාකර වැනි මාතෘකා ද ඔහුගේ ග්‍රන්ථ නාම අතර වේ. ජාතික ගීයෙහි නිර්මාතෘවර ආනන්ද සමරකෝන් ගැන පවා ඔහු ලියනතුරු කිසිවෙක් කිසිවක් ලියා තිබුණේ නැත. මෙම ගේය කාව්‍ය කර්තෘවරු ද ඒ පොත් සමූහයට ම අයත් වන්නා වූ කෘතී ය.’ කවුරුත් නොලියන තාලයේ, ඔහුටම අනන්‍ය වූ ලිවීම් සහිත මෙම කෘති ද්වයේ දී අප හමුවට එන ගේය කාව්‍ය කර්තෘවරු දොළොස් දෙනාගේ නිර්මාණ විඳුම් ලොව විනිවිද දකින ගේය කාව්‍යක්කාරයකු ගේ හා ශාස්ත්‍රවන්තයකු ගේ විශ්ලේෂණ ප්‍රභාව මොනොවට ප්‍රදර්ශනය වන බව පවසමි.
පූර්වයෙහි පළ කෙරුණු අපදාන පොත් පෙළ ඔස්සේ මොහොමඩ් ගවුස්, බී.එස්.පෙරේරා ගේ සිට මුත්තුසාමි, රොක්සාමි, එඩ්වින් සමරදිවාකර හා ආර්.ඒ.චන්ද්‍රසේන, සෝමදාස ඇල්විටිගල හා පී.ඩන්ස්ටන් ද සිල්වා, පී.එල්.ඒ.සෝමපාල හා මොහමඩ් සාලි , විශ්වනාත් ලෞජි, සාදිරිස් මාස්ටර්, රූපසිංහ මාස්ටර්, ඇම්.ජී.පෙරේරා, ලයනල් එදිරිසිංහ, ඩබ්.බී.මකුලොලුව, සී.ද ඇස්. කුලතිලක, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ලයනල් අල්ගම හා ඔස්ටින් මුණසිංහ ආදී වූ සංගීත නිර්මාණකරුවන් වූවත් මෙම සංගීතඥයන් විසින් නිර්මාණය කරන ලද ගේය කාව්‍ය සංකල්පනාවන් හි හිමිකරුවන් කවුරුන් ද යන්න දැන ගැනීමට ශ්‍රාවක රසික සමූහයාගේ වූ මන දොළ සපිරීමක් ලෙස මෙම ග්‍රන්ථ ද්වය හඳුන්වමි.
ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුමෙහි ඩබ්ලියු.ඩී. මර්සලීනු ඇල්බට්, මර්සලීන් ජයකොඩි පියනම, සී.වීරසේකර, හියුගෝ ප්‍රනාන්දු, ඒ.ජේ.ද සොයිසා, විමල් අභයසුන්දර නම් වූ කර්තෘවරුන් හය දෙනකු හමුවන අතර, දෙවන වෙළුමෙහි හමුවන්නන්ගේ සම්ප්‍රදාන පුළුල් පරාසයක දිවෙන බව පෙනේ. පී.එල්,ජේ.නන්දකීර්ති, හර්බට් එම්.සෙනෙවිරත්න, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, ඔගස්ටස් විනායගරත්නම් හා නිහාල් ඒ.ජයසිංහ යන ගේය කාව්‍ය කර්තෘවරු බහුතරයක් මෙරට ජනප්‍රිය ගීත ක්‍ෂේත්‍රය පොහොණි කළෝ වෙත්. මේ සියල්ලන් අතර ජනප්‍රිය හා ගේය කාව්‍ය රචනයෙහි ප්‍රතිභාන්විත කුසලතා පූර්ණබවින් යුත් නිර්මාණකරුවන් මෙලෙස පෙළ ගස්වමි.

කරුණාරත්න අබේසේකර, හර්බට් එම්.සෙනවිරත්න, මර්සලීන් ජයකොඩි පියනම, පී.එල්.ජේ.නන්දනකීර්ති, සරත් විමලවීර, ඔගස්ටස් විනායගරත්නම්, නිහාල් ඒ.ජයසිංහ ආදීහු මුල් පෙළ අසුන් ගන්වන්නේ හුදෙක් මගේ ඇගයීම අනුව මිස මෙම කෘති සම්පාදක සුනිල් ආරියරත්නයන්ගේ තේරීමකට අනුව නොවන බව පවසමි.
මෙම කෘති ද්වය තුළ හමුවන ගේය කාව්‍ය කර්තෘවරු සියල්ලන් ම පාහේ අඩු වැඩි වශයෙන් ශ්‍රාවක සිත් සතන් හි යුගයෙන් යුගයට රැඳී පවත්නා ගේය කාව්‍ය සංකල්පනා රාශියක් නිමැවූවෝ වෙත්. ග්‍රැමෆෝන් ගීතය, කොලොම්බියා හා HMV තැටි, ගුවන් විදුලිය චිත්‍රපටය ආදී මාධ්‍ය ඔස්සේ මෙම කර්තෘවරුන්ගේ ගේය කාව්‍ය සංකල්පනා මිහිරි ගීත බවට පත් වී දශක ගණනාවක් පුරා ශ්‍රාවක සවනෙහි, මනසෙහි රැඳී නිංනාද දෙන ගීත බවට පත් වී ඇත්තේ එකී ගේය කාව්‍ය සංකල්පනාවන් පෝෂණය වී ඇති මිහිරි, රසයෙන් අනූන, භාවපූර්ණ, ගීතවත් වදන් මාලා නිසාම බව සුනිල් ආරියරත්න ගේය කාව්‍ය රචකයාගේ විශ්ලේෂණ, නිරීක්ෂණ සාක්ෂි දරන බව පෙනේ.
වරින් වර හින්දි හා දෙමළ තනු සඳහා නිර්මිත ගේය කාව්‍ය සංකල්පනා, මුල් ගීත සඳහා භාවිත ගී තනු හා සංගීතය හේතු කොට ගෙන අතිශය ජනප්‍රිය වූ ගීත රාශියක් උද්ධෘත කොට දැක්විය හැකි ය. මුල් අවදියේ ජන හද දිනූ බොහෝ ගීත ස්වතන්ත්‍ර තනු මත නිර්මාණය නොවූ ගීත බව නොකිවමනා ය. බුදු බැතිය දනවන ගීත, දේශානුරාගය, දේශ ප්‍රේමය මතු නොව ආදරය, ප්‍රේමය විෂය කොටගත් සරල හා චිත්‍රපට ගීත, ගුවන්විදුලි ළමා ගීත මෙම කර්තෘවරුන්ගේ ගේය කාව්‍ය සංකල්පනාවන්හි රමණීය බව ද අර්ථාන්විත බව ද සුමට බව ද මනාව විශද කරන ගේය කාව්‍ය වේ.
ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
තම රට දේවල් පිටරට පටවා
පිට කාසී මෙහි ඇද්දා
ඩබ්ලියු.ඩී.මර්සලීනු ඇල්බට් / ලක්ෂ්මී බායි
මර්සලීනු ඇල්බට්ගේ ගේය කාව්‍යාවලියෙහි එන ජනප්‍රිය ගේය කාව්‍ය සංකල්පනා අතර රුක්මණී දේවී ගැයූ තේ පැන් දින දින වැඩි වැඩියේ – බීමෙන් සිරුරට සැප වැඩියේ, කොළඹ නගරේ රෑට සුරපුර මෙන ප්‍රීතිසාර වේ (ඩබ්.ජෝසප් පෙරේරා) වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ – වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ (එම්.කේ.වින්සන්ට් හා නිර්මලා) මෙවන් ගීත අප අසා ඇති මුත් ඒවායේ රචකයන් කවුරුන්දැයි අප නොදන්නා මොහොතක ගේය කාව්‍ය විශිෂ්ටයකු විසින් ම සැඟවුණු තතු අපට කියා දීම කාලෝචිත නොවන්නේ ද? ගේය කාව්‍ය රචකයකු විසින් තවත් එවන් රචකයන් රැසකගේ ම නිර්මාණ තතු, සැඟවුණු ජීවන තතු ලොවට හෙළි කිරීමට උත්සාහ කිරීම යුතුකමක් ඉටුකිරීමක් නොවන්නේ ද? පළමු වෙළුමෙහි හමුවන විශිෂ්ටයා ලෙස අප දකින්නේ මර්සලීන් ජයකොඩි පියනම බව අවිවාදිත ය.
රේඛාව චිත්‍රපටයේ ඕලු නෙළුම් නෙරිය රඟාලා ගේය කාව්‍යයට පෙර සිට ම උන් වහන්සේ රචනා කොට තිබූ කැරොල් ගී කිතුනුවන් අතර පමණක් නොව බොදුනුවන් අතර ද ජනප්‍රිය ව තිබූ ගීත බව අපි දනිමු.
තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ
බිලිඳෙකු හිනැහෙනවා
මුහුදක රැලි වාගේ
බිලිඳෙකු හිනැහෙනවා – පොපියන කුසුම් වගේ
තුරුලක පෙරළෙනවා – හිම මත හිම වාගේ
හිම මත හිම වාගේ වැනි යෙදුමක චමත්කාරය විමසීම වටී. උන් වහන්සේගේ කැමති ම ගීතය බව ජයකොඩි පියනම විසින් පැවසූ ගීය කුමක්දැයි අපි නොදනිමු. එහෙත් සුනිල් ආරියරත්න ඇදුරිඳු විසින් සොයා ගත් තතු අනුව පහත ගීය එතුමන් කැමති ම ගීය බව දැන ගනිමි.
මර්සලීන් ජයකොඩි පියතුමාරොනට වදින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී – ජේසූ දෙවියනී
රේඛාවෙහි අපට ඇසුණු සුනිල් සාන්තයන්ගේ තනු හා මුසු වූ සිසිර, ඉන්ද්‍රාණි ලතා ආදීන්ගේ ගායනා ජයකොඩි පියනමගේ සුමධුර ගේය කාව්‍ය සමග අත්‍යන්තයෙන් සුසංයෝගී වූ බව මතු නොව සිංහල චිත්‍රපට ගීත කලාව උඩු යටිකුරු කළ බවත් පවසන්නේ සුනිල් ආරියරත්නයන් ය. ඊට සාක්ෂි සැපයෙන පහත ගී යළි අසා බලන්න.
අනුරාපුර පොලොන්නරුව සීගිරි මන නන්දනීය
කුලුනු පිළිම බිතු සිතුවම් නන් සිතුවිලි රන්ජනීය
(අයිවෝ ඩෙනිස්)
වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ (ඉන්ද්‍රානි විජයබණ්ඩාර) සුදු සඳ එළියේ නල මත පොපියන (ඉන්ද්‍රානි විජයබණ්ඩාර) ආදී වූ ගේය කාව්‍ය සංකල්පනා අතර ලතා ගායනා කළ මේ නැළැවිලි ගීතය ම වුවත් ජයකොඩි පියනම සතු වූ සුඛ නම්‍ය භාෂාවට සාක්ෂි නොදරන්නේ ද
සීගිරි ළඳකගෙ
මල් වට්ටියෙ ලා
පොඩි පුත නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ
බයි බයි නැළැවෙන්නේ
සිරිපාදෙට යන
සමනොල තටු මත
මගෙ පුතු නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ
බයි බයි නැළැවෙන්නේ..
ජයකොඩි පියනමගේ මවගේ ආගම බෞද්ධ වීම උන්වහන්සේගේ බෞද්ධාගමික පසුබිම් වර්ණනාවලට හේතු වූවා නොව නිසග ප්‍රතිභාව ම ජයකොඩි පියනමගේ වදන් මිහිර ඔපවත් කළ හේතු සාධකය වී යයි සිතේ. 1957 දී සිංහල චිත්‍රපට කලාවට අති විශිෂ්ට සේවයක් කළ තැනැත්තා තෝරා ගැනීම සඳහා සන්ඩේ ඔබ්සර්වර් පත්‍රය පැවැත් වූ තරගයක අපූරු ප්‍රතිඵල අපට පවසන්නේ සුනිල් ආරියරත්න නම් ගේය කාව්‍ය ගවේෂකයා ය.
එම තරගයේ දී පළමු වටයේ ඡන්ද 5976 ක් ජයකොඩි පියනම ලබන්නේ සිසිර සේනාරත්න, ලෙස්ටර් ජේම්ස් පීරිස්, කාන්ති ගුණතුංග, රුක්මණි දේවී ආදීන් අබිබවමිනි. විස්මිත ප්‍රතිපලය තම කෘතියට එක් කරන සුනිල් ආරියරත්නට අනුව රුක්මණි දේවී (19637) සිසිර සේනාරත්න (18893) හා ජයකොඩි පියනම ( 21374) පවසන්නේ උන් වහන්සේගේ නිර්මාණ සතු වූ කුසලතා කෙබඳු ජන ආකර්ෂණයක් ලබා තිබුණා ද යන්නයි. කේමදාස සංගීතවත් කළ නන්දා මාලිනී ගායනා කළ අපූරු චිත්‍රපට ගීයක් පිළිබඳ සුනිල් ආරියරත්න පවසයි. මනමාලයෝ (1967) ගීතය සංවාදයක ස්වරූපය ගනී.
සුලලිත සුළඟේ ඔබ නැළවෙද්දී
ඔබ සිසිලයි මා රැල්ලයි
කටහඬ; ගැහැනු . ඇයි මී වද පැණි රස වෙන්නෙ
කටහඬ : පිරිමි. මී මැස්සන්ගෙන් අහන්නකෝ
කටහඬ : ගැහැනු. ඇයි මගෙ හද පැණි බර වෙන්නෙ
කටහඬ: පිරිමි. ඇයි ඒ
කටහඬ: ගැහැනු. කියන්න බැරි දේ හිතන්නකෝ
ගේය කාව්‍යයෙහි පමණක් නොව පද්‍ය කාව්‍යයෙහි ද හපන්කම් පෑ ජයකොඩි පියනම දේශීය සිනමා සම්මාන උලෙළ රැසක දීම සම්මානලාභියකු වූයේ ය. නත්තල පිළිබඳ එතුමන්ගේ මේ කවි අදහස මානව භක්තිය පළට කරන නිර්මාණකරුවකුගේ ම සංකල්පනාවකැයි සිතේ.
මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය

පූජකවරයේ සිටිය දී නෙක ගැහැටවලට මුහුණ දුන් ජයකොඩි පියනම ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළේ ය. ආසියාතික නොබෙල් සම්මානය ලෙස සැලකෙන රැමොන් මැග්සයිසෙ සම්මානයෙන් උන්වහන්සේ පිදුම් ලබන්නේ මහැදුරු සරච්චන්ද්‍ර, ආචාර්ය අමරදේව ආදීන්ට පෙර බව මේ කෘතියෙහි සඳහන් ය.
ගේය කාව්‍ය කර්තෘවරුන්ගේ අපදාන කෘතියක් යනු එවැන්නන්ගේ බාල කාලය, වෘත්තිය, නිර්මාණාවලිය පිළිබඳ හුදු ලේඛනයක් පමණක් නොව ඔවුනගේ කාර්යසාධනය ආවරණය කෙරෙන අර්ධ ශාස්ත්‍රීය ලියවිල්ලක් බව මෙම ග්‍රන්ථ ද්වය සම්පාදනය කරන සුනිල් ආරියරත්න පාඨක ප්‍රජාවට පවසයි. හුදු තොරතුරු එක් රැස්කොට මුද්‍රණය කිරීමකින් ඔබ්බට ගිය ශාස්ත්‍රවන්තයකු විසින් ඉතා සීරුවෙන් හා වගකීමකින් ඉටු කළ යුතු වූ වෙහෙසකර ව්‍යායාමයක් බව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සුනිල් ආරියරත්න ඔප්පු කොට සිටී.
ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුමට එක් වී සිටින සී. වීරසේකර ගේය කාව්‍ය කර්තෘවරයා විසින් රචනා කරන ලද ජනප්‍රිය, එහෙත් අයිතිය අප්‍රකට ගීත රැසක් කෙරෙහි ම සුනිල් තම අවධානය යොමු කොට තිබෙනු පෙනේ. සී. වීරසේකර කර්තෘවරයාගේ නම ඉදිරියෙහි සටහන් වී ඇති ජනප්‍රිය ගීත කිහිපයක් මෙසේ ය.
සිරි බුද්ධගයා විහාරේ (රුක්මණී හා එච්.ඩබ්ලිව්.රූපසිංහ), ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිම් සමනල කන්දේ (ඇම්.කේ.වින්සන්ට්) සාධු දන්ත දා (සුජාතා අත්තනායකගේ තැටියකට නැගුණු ප්‍රථම ගීතය) හා ජනප්‍රිය චිත්‍රපට ගී මේ අතර වේ.
පෙම් ලෝක රාජිණී- පුෂ්පා සුරංගනී (රුක්මණි දේවී හා සුසිල් ප්‍රේමරත්න) ලේ කිරි දීලා -ගියෙ සුර ලෝකේ (රුක්මණී දේවී), මනහර ගීත ගයාලා- නැළවිලා, සනසනු මා පෙම් පාලා (රුක්මණී හා සුසිල් ප්‍රේමරත්න), පළමු වෙළුමෙහි හමුවන කර්තෘවරුන් අතර හියුගෝ ප්‍රනාන්දු, ඒ.ජේ.ද සොයිසා හා විමල් අභයසුන්දර ආදීහු වෙත්. මේ අය අතරින් ද හියුගෝ ප්‍රනාන්දු හා ඒ. ජේ. ද සොයිසා කැපී පෙනෙන්නේ ඔවුන් දෙදෙනාගේ ම ගේය කාව්‍ය සිනමාව හා බැඳුණු රචනා වීම හා විමල් අභයසුන්දරගේ ගේය කාව්‍ය සංකල්පනා බහුතරය ගුවන්විදුලි ගීතයට සීමා වීමත් නිසා ය. විමල් අභයසුන්දර චිත්‍රපටයකට රචනා කොට ඇත්තේ එක් ගීයක් පමණි.
මේ අප්‍රකට තොරතුර සුනිල් ආරියරත්න විසින් සොයාගෙන මේ කෘතියෙහි දී අපට ඉදිරිපත් කරයි. ඒ අනුව විමල් අභයසුන්දර විසින් අම්බපාලී නම් සිංහල දෙබස් කැවූ චිත්‍රපටයට ගීතයක් රචනා කොට තිබේ. සම්බුද්ධ සුධාකර වූ අංගීරස මහ මුනිඳා (බී.වික්ටර් පෙරේරා ගායනය හා සංගීතය) නිෂාදි, සුභානි, යශෝධරා ආදී ගුවන්විදුලි ගීත නාටක රැසක් විමල් අභයසුන්දරගේ ගේය කාව්‍ය රචනාවලින් සුපුෂ්පිත වී ඇත්තේ ය.
පළමු වෙළුමෙහි සාකච්ඡා වන අනෙක් කර්තෘවරුන් දෙදෙනා වන්නේ ඒ.ජේ. ද සොයිසා හා හියුගෝ ප්‍රනාන්දු ය. HMV හා කොලොම්බියා Colombia කොලොම්බියා තැටි ලේබල් අතර පැවැති තරගයේ දී එච්එම්වී තැටි ලේබලය සඳහා මුද්‍රණය වූ කැටලොග් පොත්වල සොයිසා මාස්ටර් ගැන පළ වූ විස්තර ඔහු උසස් ම නිබන්ධකයකු ලෙස සමාගම පිළිගත් බව පෙනේ. සොයිසා මහතා ලංකාවේ ප්‍රසිද්ධ ගීත නිබන්ධකයකු වශයෙන් පිළිගත හැකි නිසා අපිදු ඒ මහතාට උසස් නිබන්ධකයකු යයි නිසැකව පවසන්නෙමු යයි HMV කැටලොග් පොතෙහි සඳහන් බව සුනිල් ආරියරත්න ගේය කාව්‍ය විමර්ශකයා පවසයි.
බී.ඒ.ඩබ්ලිව්. සොයිසා සුසංයෝගයේ ප්‍රතිඵලයක් ලෙස අයිරාංගනී චිත්‍රපටය සඳහා සොයිසා ට ගීත 10 ක් රචනා කිරීමට වරම් ලද බව සුනිල් ආරියරත්න පවසයි. අයිරාංගනී චිත්‍රපටයට ගීත රචනා කිරීමට වරම් ලැබෙන සොයිසා රචකයාට බී.ඒ.ඩබ්ලිව්. ගේ මතභේදය චිත්‍රපටයට ද ගීත රචනා කිරීමට මග පෑදී ඇත. ඔහු විසින් රචනා කළ ගේය කාව්‍ය අතර සමුදුරේ සොයා – යති නදී ප්‍රියා (රුක්මණී දේවී හා සූර්යරාණි), ආදර පාන සුදා (රුක්මණි දේවී), පෙම් මල් මාලා නෙළා ගොතාලා (රුක්මණී හා මොහිදින් බෙග්), පෙම් සීන ලෝකේ මායා (රුක්මණී හා මොහිදින් බෙග්) දෛව විපාකය චිත්‍රපටය තෙක් තිරගත වූ චිත්‍රපට 34 හි වූ අතර දිගම ගීතය දෛව විපාකයට ඇතුළත් වීමත් එය ඒ.ජේ.ද සොයිසාගේ රචනයක් වීමත් විශේෂ සිදුවීමකි.
සරා ගොයිය හරි මිනිහා-තුවක්කුවක් කරේ තියා ගීතය HMV තැටියේ දෙපැත්තේ ම වූ බව මේ කෘතියෙහි සඳහන් ය. මේබල් බ්ලයිත් නිළිය විසින් ගීතයට පසුබිම් වූ චරිත ත්‍රිත්වය ම රඟ පෑ අතර ගීතය ගායනා කළේ ද මේබල් බ්ලයිත් ම විසින් බවත් සුනිල් ආරියරත්නගේ සොයගැනීම්හි වේ. ඒ.ජේ.ද සොයිසා රචකයාගේ දක්ෂතා පිළිබඳ පවසන සුනිල්ට අනුව දෛව විපාකයේ ජනප්‍රිය ගී අතර සුරතලියේ සුකොමලියේ (බෙග් හා ෂර්ලි බ්ලයිත්), සුදෝ සුදු රන් කඳේ මගෙ පෙම් (මොහිදින් බෙග්) අප මතකයට නැගේ.
සුනිල් ආරියරත්න දෙටු ගේය කාව්‍ය රචකයාට අනුව ඒ.ජේ. ද සොයිසා මාස්ටර් චිත්‍රපට කතා, දෙබස් රචනයෙහි ද දස්කම් දැක්වූවෙකි. ඇම්.එස්. ආනන්දන්ගේ සත පණහ (1965) චිත්‍රපටයේ කතාව හා දෙබස් සොයිසා මාස්ටර්ගේ ය. සසුරාල් නම් හින්දි චිත්‍රපටයේ එන ගීයක් අනුව සොයිසා මාස්ටර් රචනා කළ ගීත ද්වයක් ම ජනප්‍රිය වී ඇති බව අපට මතක ය. මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා-මල් නෙළන්න වාසනාව මට ද අත් වුණා (ජනප්‍රිය නිළි සන්ධ්‍යා කුමාරි රඟ පෑ ජවනිකාව – ගායනය / සුජාතා පෙරේරා) හා දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ (මිල්ටන් පෙරේරා හා පිරිස) සොයිසා මාස්ටර්ගේ ගේය කාව්‍ය කලාවෙහි මිහිරි මතක වේ.
ගේය කාව්‍ය රචනයෙහි මෙන් ම රංගනයෙහි ද දක්ෂයකු වූ හියුගෝ ප්‍රනාන්දු ප්‍රථම සිංහල චිත්‍රපට ගීත රචකයා මෙන් ම ගායකයා ද බව අප දැනගන්නේ සුනිල් ආරියරත්න ගේ මේ කෘතියෙනි. ළපටි රූපෙ ඈගේ, සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා වැනි ගී රචනා කළ හියුගෝ ජනප්‍රිය ගේය කාව්‍ය රැසක හිමිකරු ය. හෝ හඬ දී බැස යන ගංගා(ලතා), හොඳ හොඳම වේය ලොව – කිසිම තැනක නැහැ – නොහොඳ නරක දිනුවේ (ලතා -ධර්මදාස වල්පොල), හඳ ගලවාලා දෙනව කියාලා අප රවටා-අපට ම දොස් පවරාලා (ලතා සහ කේ.රාණි), ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ – බඹරෙක් ඒ පිලිකුල් කරන්නේ (ලතා සහ ධර්මදාස වල්පොල) ගේය කාව්‍ය රචක හියුගෝ ප්‍රනාන්දුගේ චිත්‍රපට රංගන භූමිකා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට ද සුනිල් ආරියරත්න කතුවරයා අමතක නොකරයි.
මාතලන් චිත්‍රපටයෙන්
හියුගෝ මාතලන් චිත්‍රපටයේ චිත්‍රවල්ලිගේ පියා ලෙස රංගනයට හා දෙබස් රචනයට ද එක් වූ බව සුනිල් ආරියරත්න පවසයි. සිනමාස් සමාගමෙහි සේවය කළ හියුගෝ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයෙහි රඟපෑමට වරම් ලබා ගනී. සලප්පු ආරච්චි සංදේශයෙහි හියුගෝගේ චරිතයයි. රංගවේදියකු ලෙස කඩවුණු පොරොන්දුවේ (1947) සිට 1996 සතී හි රඟපෑම් දක්වා දීර්ඝ චිත්‍රපට නාමාවලියක් සුනිල් විසින් තම කෘතියට එක් කොට තිබේ.
හියුගෝ මාස්ටර්මේ නාමාවලිය අතර 1965 දී තිරගත අල්ලපු ගෙදර චිත්‍රපටයෙහි සංගීත මාස්ටර්ගේ චරිතය හියුගෝ මාස්ටර්ගේ රංගන අතර කැපී පෙනෙන ම චරිතය ලෙස මම දකිමි. ඔහු සමග එහි රඟ පෑ ජෝ අබේවික්‍රම, ක්ලැරිස් ද සිල්වා, සන්ධ්‍යා කුමාරි, ඇන්තනි සී. පෙරේරා ආදීන් අතර හියුගෝ මාස්ටර්ගේ භූමිකාව ඔහුගේ ගීත රචනා කලාවෙහි දක්ෂතාව සේ ම මෙරට ප්‍රේක්ෂක හදවත් හි සදා නොමැකෙන රංගන ලෙස ද සටහන් ව ඇතැයි සිතමි.
සුනිලුන්ගේ ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුමෙහි හමුවන රචකයන් හය දෙනා ම අතර නිසැකව ම පෙරමුණ සිටින්නන් වන්නේ මේ සටහන ප්‍රාරම්භයේ දී ම මා සඳහන් කළ පරිදි කරුණාරත්න අබේසේකර හා හර්බට් එම්. සෙනෙවිරත්නයන් ය. සෙසු ගේය කාව්‍ය රචකයන් කිසිවකුගේ කෞශල්‍යය එමගින් අවතක්සේරුවට ලක් නොවන අතර ඔවුන් සියල්ලන් ම අපගේ ගීත කලාව අරබයා ගේ ය කාව්‍ය රචනයෙන් ඉටු කොට ඇති දායකත්වය අති මහත් ය.
සුනිල් ගේ කෘතියෙහි කරුණාරත්න අබේසේකර හැඳින්වීම අරඹන්නේ ඔහු විසින් රචනා කළ තිලකසිරි ප්‍රනාන්දු තනුව සංගීතයෙන් නිර්මිත එන්න මඳ නලේ ගොස් පවසන්න දුක මගේ ගේය කාව්‍ය සංකල්පනාව උද්ධෘත කොට දක්වමිනි. මහා කවි කාලිදාස තම දුක පැවසීමට මේඝ දූතයක් භාවිත කළ ද තමන් ට එවැන්නක් නොමැති බැවින් මඳ නලක් අත තම ශෝක පණිවිඩය යවන මෙම කාව්‍ය සංකල්පනාව මවන චිත්ත රූපාවලිය ප්‍රබල ය. කරුණාරත්න අබේසේකර මුද්‍රාව එහි නො අඩුව සටහන් වී ඇති බව අප සාක්ෂාත් කර ගන්නේ සුනිල් ආරියරත්න අබේසේකරගේ ගේය කාව්‍ය සංකල්පනා තීක්ෂණ ව ව්‍යවච්ඡේදනය කොට ඇති විලාසයෙනි. ශාස්ත්‍රීය හෝ ගැඹුරු විමර්ශනයකට ලක් නොවීම කරුණාරත්න අබේසේකර වැනි විශිෂ්ටයකුගේ සම්ප්‍රදානයට සිදු වූ අසාධාරණයක් ලෙස දකිමි.
ඇදුරු සුනිල් ආරියරත්න තම කෘතියෙහි කරුණාරත්න අබේසේකර පිළිබඳ රචනා කොට ඇති කුඩා නිබන්ධිකාව මගින් කරුණාරත්න අබේසේකර සම්ප්‍රදාන පිළිබඳව හෝ ඔහුගේ කාර්ය සාධනය පිළිබඳ ව පූර්ණ චිත්‍රයක් නොමැවෙන මුත් යටත් පිරිසෙයින් ඔහුගේ ගේය කාව්‍ය සංකල්පනා විමසීමක් හෝ සිදු වී ඇති බවයි අපගේ හැඟීම. සිංහල ගුවන් විදුලි ගීතයෙහි, ළමා ගීතයෙහි, චිත්‍රපට ගීතයෙහි වනස්පතියක් බඳු මහා පුරුෂයකු පිළිබඳ මෙම කුඩා නිබන්ධිකාව මහ සයුරින් ගත් දිය දෝතක් වැන්නයි මට සිතේ.
කරුණාරත්න අබේසේකර
තතු එසේ වුව ද දෙටු ගේය කාව්‍ය රචක සුනිල් ආරියරත්නගේ ගේය කාව්‍ය කර්තෘවරු කෘති ද්වයෙහි ම එන දීර්ඝතම නිබන්ධිකාව කරුණාරත්න අබේසේකර නමින් වෙන්වීම අපට පවසන්නේ අබේසේකර භූමිකාව පිළිබඳ නිහඬ ව සිටීමෙන් කවරකු විසින් හෝ වරදක් කොට ඇති බවකි. අබේසේකර නිසැකව ම බහු නිපුණ නිර්මාණකරුවෙකි. නාලන්දාවේ අකුරු කළ දවස් සිට මෙරට කීර්තිමත් නිර්මාණකරුවකු වීමේ ලකුණු පහළ කොට සිටි කරුණාරත්න අබේසේකරගේ ගේය කාව්‍ය ගායනා නොකළ ගුවන් විදුලියේ ළමා පිටියේ සිට දැවැන්ත චිත්‍රපට ගීත ක්ෂේත්‍රයෙහි, ගුවන් විදුලි ගීතයෙහි දැවැන්ත යයි පිළිගනු ලබන ගායකයකු හෝ ගායිකාවක් නොවන බවයි සුනිල් ආරියරත්නගේ නිරීක්ෂණ හා විමර්ශන අපට පවසන්නේ.
එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ජී.එස්.බී.රාණි පෙරේරා, සිසිර ඉන්ද්‍රානි, මොහිදින් බෙග්, එම්.එස්.ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක, සී.ටී.ප්‍රනාන්දු, ලතා, ධර්මදාස වල්පොල, නන්දා මාලිනී, නාරද දිසාසේකර, මල්ලිකා කහවිට, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, අමරදේව, ප්‍රියා සූර්යසේන, ක්ලැරන්ස් විජේවර්ධන, මල්කාන්ති නන්දසිරි, නීලා වික්‍රමසිංහ, රූපා ඉන්දුමතී, නිහාල් ජයවර්ධන, දමයන්ති ඒකනායක හා තවත් බොහෝ ගායක ගායිකාවන්ගේ නාමාවලියක් සුනිලුන් විසින් සොයාගෙන ඇති බව අපි දකිමු. ආරම්භක අවදියේ දී හින්දි, ද්‍රවිඩ, ගී තනුවලට සිංහල වචන සොයා ගිය අබේසේකර ස්වතන්ත්‍ර තනු හා සංගීත සංයෝජන සඳහා අපූරු ගීත රචනා කිරීමේ දක්ෂතාව තමා සතු බව ඔහු පසු කාලයක ඔප්පු කළ බව සුනිල් ආරියරත්න උපුටා දක්වන ගීත කිහිපයකින් වුව අපට දත හැකි ය.
ජෝතිපාලගේ දුරකතනයකින්, ඔබ නිදන්න ඔබ නිදන්න, දිය පොදක් වෙමින් සීමිත නිදසුන් කිහිපයක් පමණි. මිල්ටන් පෙරේරාට ඔහු ලියූ ඇස රැඳුණු රැඳුණු තැන්වල මුව මඬල හිනැහුණා- ඔබ මතක නැති කරන්නට මට මතක නැතිවුණා යන ගීතයම බලන්න. ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා… කෙතරම් අපූරු කාව්‍යොක්තියක් ද? සුනිල් ආරියරත්නගේ සොයා ගැනීම් අනුව කරුණාරත්න අබේසේකර විසින් 1954 දී තිරගත වූ වරද කාගෙද චිත්‍රපටයේ සිට 1976 තිරගත වූ රන්තිලකා චිත්‍රපටය දක්වා වූ චිත්‍රපට 162 ක් සඳහා ගේය කාව්‍ය සංකල්පනා ලියා ඇත. ඒවා අතර බහුතරයක් ජනප්‍රිය ගී වූ බව නොරහසකි. අබේසේකර විසින් නිමල් මෙන්ඩිස් ඉංග්‍රීසියෙන් රචනා කළ කළු දිය දහර චිත්‍රපටයේ මාස්ටර් සර් ගීතය පමණක් වුව (නීලා වික්‍රමසිංහ/ නෙවිල් ප්‍රනාන්දු) අබේසේකර ගේය කාව්‍ය රචනාවෙහි විශිෂ්ටත්වය කියාපාන්නකි.
ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුමෙහි හමුවන පී.එල්.ජේ. නන්දනකීර්ති, හර්බට් එම්. සෙනෙවිරත්න, සරත් විමලවීර ආදීන්ගේ කාව්‍ය සංකල්පනා මත ගැයුණු ගීත සදානුස්මරණීය නිර්මාණ බව මෙරට රසිකයෝ දනිති. මේ පිරිසෙහි රචකයන් බොහෝ දෙනකුගේ සැඟවුණු ජීවන තතු සුනිලුන් විසින් අපට පවසන්නේ ඔවුන්ගේ ජීවිත කෙරෙහි කිසිදු අගෞරවයක් හෝ අවමානයක් නොවන පරිද්දෙනි. හර්බට් රුක්මණී පෙම් පුවත, රුක්මණී නෙවිල් ප්‍රනාන්දු ආදර අන්දරය, සරත් විමලවීරගේ ජීවිතයේ අවසාන දින කිහිපයෙහි ඔහුට ජනාධිපති ප්‍රේමදාස හමුවීම හා සම්බන්ධ පුවත් කතුවර සුනිල් ආරියරත්න විසින් ඉදිරිපත් කොට ඇත්තේ විශ්වසනීයත්වය රැක ගෙන බව හඟිමු.
කෘති ද්වයක හමුවන ගේය කාව්‍ය රචකයන් අට දෙනෙකුගේ තොරතුරු ඇතුළත් දිගු ලිපිය අවසන ඉතිරි රචකයන් පස් දෙනාගේ ජනප්‍රිය ගීත පිළිබඳ සුනිල් ආරියරත්නගේ සිහිපත් කිරීම පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතමි.
පී.එල්.ජේ.නන්දනකීර්තිගේ ජනප්‍රිය ගීත කිහිපයක් මෙසේ ය. ශාන්ත වේ ප්‍රේමේ-ප්‍රේම ගං තීරේ (වැරදුණු කුරුමානම- රුක්මණි දේවි), සිනා සිසී නැග එන්න සූර්යා උදේ (ජෙමිණි කාන්තා), හර්බට් එම්.සෙනෙවිරතන්ගේ ජනප්‍රිය හා සදා මතකයේ රැඳුණු ගීත කිහිපයක් සුනිලුන්ගේ කෘතියෙන් උපුටා දක්වමි. චන්ද්‍රා මෙ පාය ආවා (ජෝතිපාල සහ සුජාතා), ආදරය නිසා හර්දේ බැඳෙනා (රුක්මණි දේවී), මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා- කෝ මාගේ සේපාලිකා (රුක්මණි දේවී හා එස්.එස්. වේදා), සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ (රුක්මණී හා මොහිදින් බෙග්) මැවිලා පෙනේවි රූපේ-හදේ (රුක්මණි දේවී), අන්න සුදෝ අර පාට වලා, මගේය ප්‍රේම මාලිනී (රුක්මණී හා මොහිදින් බෙග්), දෙවා ගිනි මවා දුක් මගේ හර්දයේ (රුක්මණී) මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී (ධර්මදාස වල්පොල), හඳපාන චිත්‍රපටයේ සිසිර ඉන්ද්‍රාණි ගායනා කළ, ආලෝකෙ පතුරා, පිදුරු සෙවි කළ පැල්පතේ, හර්බට් ගේ චිත්‍රපට ගී අතර ජනප්‍රිය වූ මෙම ගී පිළිබඳ ව ද සුනිල්ගේ කෘතියෙහි සඳහන් ය.
හිතට හිත චිත්‍රපටයේ ජෝතිපාල හා සුජාතා ගායනා කළ වන මලට ආසාවෙ, සරත් විමලවීර රචකයාගේ ජනප්‍රිය ම ගී අතර එන සී.ටී. ප්‍රනාන්දු හා ලතා ගයන සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා ගීතය නොගයන කවුරුන් වේදැයි නොදනිමු. ආදරේ ඇයි පොඩි හඳ මාමේ කියා අසන්නී චන්ද්‍රා කබ්‍රාල් ය. පසුව මේ පුංචි නංගා ඔබගේ කියා කීවේ කෙසේදැයි ඇතැමෙක් ප්‍රශ්න කළ බව සුනිල්ගේ කෘතියෙහි සඳහන් ය.
ගම්මානය කළ එළි වූවා- මාලා මනමාලිය වූදා (ජීවරාණි කුරුකුලසූරිය-තිලකසිරි ප්‍රනාන්දු) මේ ගීතය සරත් විමලවීරගේ විවාහ දිනයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ බව සුනිල්ගේ කෘතියෙහි සඳහන් ය. දුර පෙනෙන තැනිතලා- අනුරාධපුර දිහා ගීතය විවියන් බොරලැස්සගේ හඬින් ගැයුණු අතිශය ජනප්‍රිය ගීයකි. සරත් විමලවීර සී.ටී. ප්‍රනාන්දු සුසංයෝගය බිහිකළ ජනප්‍රිය ගී රැසකි. කළු මහවැලි කැලණිද වලවේ, දිළිඳු පැලේ ගම්මානේ, මල්බර හිමිදිරියේ ඉන් කිහිපයකි. සරත් විමලවීර චිත්‍රපට සඳහා රචනා කළ බොහෝ ගීත ජනප්‍රිය ය. ඒ අතර අපූර්ව පෙම් ගීයක් ලෙස සැලකෙන්නේ දෛවයෝගයෙහි එන රුක්මණී රඟමින් ගයන ආදරයයි කරුණාවයි- හිමි බැතියයි- මා සිත පාරයි.

ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුමෙහි හමුවන අනෙක් ගීත රචකයන් දෙදෙනා වන්නේ උපතින් දමිළයකු වූ එහෙත් රමණීය සිංහල චිත්‍රපට ගී සංකල්පනා රැසක් ම දායාද කළ ඔගස්ටස් විනායගරත්නම් හා නිහාල් ඒ. ජයසිංහ යි. සීතාදේවී චිත්‍රපටය සඳහා නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ අමරදේව ගැයූ නිම් හිම් සෙව්වා මා සසරේ, ඔගස්ටස්ගේ ගේය සංකල්පනාවකි. නන්දා මාලිනී ලොකුම හිනාව චිත්‍රපටයට ගැයූ හැඟුම් විසිර දස අතේ, අපරාධය හා දඬුවම චිත්‍රපටයට වික්ටර් රත්නායක ගැයූ මිහිරෙන් මා දිනු බාල ළඳුන්, නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ අහසින් පොළොවට චිත්‍රපටය සඳහා මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ උපුල් නුවන් විදහා හා එහිම රුක්මණි දේවී ගායනා කළ දොයි දොයි දොයිය පුතා ගීතයත් ඔගස්ටස්ගේ ගේය කාව්‍ය වේ. ඔහුගේ ජනප්‍රිය ම චිත්‍රපට ගී හමුවන්නේ ගඟ අද්දර චිත්‍රපටයේ බව සුනිල් ආරියරත්න පවසයි. විජය කුමාරතුංග ගැයූ ගඟ අද්දර මා සිසිල් සෙවණෙ සැනහී හා වික්ටර් සිල්වා හා නිරෝෂා පෙරේරා ගැයූ රන් ටිකිරි සිනා ගීතයේ ගේය කාව්‍ය රචනය ද ඔගස්ටස් විනායගරත්නම් ගේ ය.
දෙවන වෙළුමෙහි දී සුනිල් ආරියරත්නට හමුවන ගේය කාව්‍ය කර්තෘ වන්නේ නිහාල් ඒ. ජයසිංහ යි. සිහින හතක් චිත්‍රපටයේ ජනප්‍රිය ගී සියල්ල නිහාල් ඒ. ජයසිංහගේ රචනා ය. සුජාතා හා නාරද දිසාසේකර ගායනා කළ පුෂ්ප මකරන්දය මාගේ, සුජාතා හා මිල්ටන් ගයන සුපුන් සඳක් නැගීලා, සුජාතා අත්තනායක ගැයූ රන්තරු පුන් සඳ ගිලුණාදෝ හා තුෂාරා චිත්‍රපටයේ පී.එල්.ඒ. සෝමපාලගේ හින්දි, දෙමළ හා උර්දු තනු සඳහා නිමැවුණු ගීත සංකල්පනා අතිශය ජනප්‍රිය වූ බව රසිකයන්ට මතක ය. ඒ පිළිබඳ තතු සුනිල්ගේ පොතෙහි ඇතුළත් ය.ජනප්‍රිය වූ ගීත සංකල්පනා වන්නේ මීදුම් ගලා කන්දේ, කලක් තිස්සේ, ඕ ඕ තුෂාරා ආදී ජෝතිපාල හා ඇන්ජලින් ගායනා කළ ගීත ය.
සුනිල්ගේ සොයා ගැනීම් අනුව නිහාල් විසින් මොනරතැන්න හා නැවත හමුවෙමු චිත්‍රපට සඳහා ද ගීත ලියා ඇත. ටී.එම්. ජයරත්න ඇන්ජලින් හා ජෝතිපාල නිහාල්ගේ ගේය කාව්‍ය ගායනාවට හවුල් වී තිබේ. මේ සටහනෙහි සඳහන් කෙරුණු ගේය කාව්‍ය රචකයන්, ඔවුන්ගේ රචනා සඳහා හඬ මුසු කළ හා සංගීතය නිර්මාණය කළ නිර්මාණකරුවන් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සඳහා මේ කෘති ආශ්‍රය කිරීම සැබැවින් ම ඵලදායී ව්‍යායාමයක් වනු නියත ය.
(සටහන | බුද්ධදාස ගලප්පත්ති)
(උපුටා ගැනීම - divaina)


සීගිරි ළඳකගෙ





