leader s

පසුගිය 07වන දින අපූරු සිතුම් පැතුම් සහිත මිනිසකුගේ ජීවිත පවතින් තුනෙන් එකක් (මේ වන විට ඔහුගේ වයසට සාපේක්ෂව) කෘතියක් ලෙස ජනගත කෙරිණි.


නමුදු ඔහු එම ජීවිත පවත පළමුවෙන් ම Face book හි පළ කළේ කෘතියක් බවට පත් කිරීමේ අරමුණින් නොවේ. එහෙත් ඔහු ද බලාපොරොත්තු නොවූ ආකාරයකින් සිය ජීවිත පවතේ ඒ පරිච්ඡේදය කෘතියක් ලෙස එළිදැක්වීමේ භාග්‍ය ඔහු කරා පැමිණියේ ය. එය ද අමුතු කතාවකි. ඒ කතාව ඉදිරියේ දී පාඨක ඔබට දැනගත හැකි ය.


කෘතිය ජනගත කරන අවස්ථාවේ දී කිසියම් අදහසක් දක්වන්නැයි කෘතියේ ප්‍රකාශන ආයතන හිමිකරු මෙන් ම කතුවරයා ද මට ආරාධනයක් කළේ ය. ඒ වන විට මම කිසිදු ආකාරයකින් ඔහු දැන සිටියේ ද නැත. හමු වී තිබුණේ ද එක් දවසක් පමණි.

කෙසේ වුව ද මා කතුවරයා නොහඳුන බැවින් මට මගේ අදහස් පළ කිරීම ඉතාම පහසු වන බව මට හැඟිණි; එ'නිසා ම මම ඒ සදහා කැමැත්ත පළ කළෙමි.


මතු පළ වන්නේ එම අදහස් දැක්වීම ය; එය කථන භාෂාවෙන් ම ඉදිරිපත් කරන්නේ මගේ පහසුව පිණිසම ය

අපි පළමුවෙන් ම මේ චරිතාපදාන යන විෂය පිළිබඳ අවධානය යොමු කරමු. මේ විෂයයට යටත්ව: ස්වයං ලිඛිත චරිතාපදාන, ස්වයං කථන චරිතාපදාන සහ අභිනන්දන කියල කොටස් තුනක් තියෙනවා.



ස්වයං ලිඛිත චරිතාපදාන කියන්නෙ කිසියම් පුද්ගලයෙක් තමන්ගෙ ජීවිත කතාව එම පුද්ගලයා විසින් ම ලිවීම. ඒ, හැම දෙනා ම ලේඛක ලේඛිකාවො නොවෙන්නත් පුළුවන්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එයාගෙ ස්වයං ලිඛිත චරිතාපදානය හඳුන්වන්නෙ ''පිං ඇති සරසවි වරමක් දෙන්නේ'' යනුවෙන්.

කේ. ජයතිලක ලේඛකයා තමන්ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය හඳුන්වන්නෙ ''පුංචි පැ‌ලේ ගස වෙනා'' කියල.

ජයසේන ජයකොඩි එයාගෙ ස්වයං ලිඛිත චරිතාපදානය හඳුන්වන්නෙ ''රෝස කටු'' කියල.

මහගම සේකර ඍජුව ම නොකිව්වත් ''තුංමං හන්දිය'' කියන්නෙ එයාගෙ ම කතාව.

 

thissa abesekara

තිස්ස අබේසේකර ''අයාලේ ගිය සිතක සටහන්'' යනුවෙන්  ලියන්නෙ එයාගෙ ජීවන අත්දැකීම්. ඒ ලියවිල්ල ශාස්ත්‍රිය පැත්තට වැඩි බරක් යොදවලා තියෙනවා.


හැබැයි ස්වයං ලිඛිත යන වර්ගිකරණයට යටත්ව යම් පුද්ගලයෙක් තවකකුට කියා ලියවපු අවස්ථා තියෙනවා. ඒ කෘති තමයි ස්වයං කථන චරිතාපදාන කියල හඳුන්වන්නෙ. ඒකෙ වරදක් නැහැ.

මොකද හැමෝට ම ලියන්න බැහැ නෙ...

සමහර අයට ලියන්න පුළුවන් වුනත් ඒ වෙනුවෙන් යොදවන්න කාලය නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙ චරිතාපදානය ලියන්නෙ තරිඳු තොටවත්ත කියන ලේඛකයා. කෘතිය නම් කරන්නෙ ''චන්ද්‍රිකා'' යනුවෙන්. ඇන්. ඇම්. පෙරේරාගේ ජීවිත කතාව ලියන්නෙ මලල්ගොඩ බන්ධුතිලක කියන ලේඛකයා.


අපි තව උදාහරණයක් ගමු. ඒ තමයි ''ජනාධිපති තාත්තා'' කියන කෘතිය.

මේක එයාගෙ දුව ලියපු විදියට තමයි ප්‍රකාශයට පත්වෙන්නෙ. නමුත් ලිව්වෙ වෙන කෙනෙක්. ඒකෙත් වරදක් නෑ. ලෝකෙ බොහෝ රටවල චරිතාපදාන එහෙම ලියනවා.


වෙළුම් හතරකින් සමන්විත ජේ. ආර්. ජයවර්ධන ගෙ චරිතාපදානය ලියන්නෙ කේ. එම්. ද සිල්වා සහ හවඩ් රිගින්ස් කියන දෙන්නා. අනිත් ක්‍රමය තමයි ඍජුව ම වෙනත් කෙනෙකු ලවා ලියවන එක. ඒ කියන්නෙ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. මම කලින් කියපු කථන සහ ස්වයං ලිඛිත චරිතාපදාන වුනත් ප්‍රථම සහ උත්තම පුරුෂ යන දෘෂ්ටිකෝණ දෙකෙන් ම ලියන්න පුළුවන්.

 

jayasiri book

මම ලියපු ''කළු රංජිත් සුදු මිනිසෙක්'' කියන පොත එහෙම එකක්. ඔහු කවුද කිය ඔබට විශේෂයෙන් කියන්න වුවමනා නැහැ. මේ පොත ලියන්න කලින් මම ඔහු සමග පැය තිස්පහක් හතලියක් පමණ (විටින් විට)සාකච්ඡා කළා. ඊට පස්සෙ ඔහු කියපු දේවල් සාහිත්‍යානුසාරයෙන් ලිව්වා. ඒ අනුව ගත්තාම ''කළු රංජිත් සුදු මිනිසෙක්'' අයත් වෙන්නෙ ස්වයං කථන චරිතාපදානයක් විදියට. මේ කෘති ''ජීවිත කැබලිති යනුවෙනුත්'' හඳුන්වනවා. මොකද එහෙම පොත්වල අදාළ පුද්ගලයගෙ සමස්ත ජීවිත කතාව ම නැහැ. ඔහු හෝ ඇය පවසන්නෙ තමන්ගෙ ජීවිතයේ වැදගත් සහ වඩාත් ම මතක තිබෙන කොටස්. හැබැයි මේකත් චරිතාපදානයට වඩා සමීප අත්දැකීම්වලට. සමහර අය මේ වගේ කෘති උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලිව්වත් ඒක සාහිත්‍යානුසාරයෙන් ලියනවා. ඇත්තට ම එහෙම ලිව්වා ම කියවන්න පහසුයි.

ඒ වගේ ම මම තවත් එහෙම පොතක් සංස්කරණය කළා. එතනදි මම පොතේ මගේ නමවත් සඳහන් කළේ නැහැ. ඒහි සදහන් වෙන්නෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියල. කෘතිය නම් කරේ සත් සුමදුරු තරණය කර යනුවෙන්.

 

darmarathna

ඔහු වයස දහඅටේ දි නාවුකයකු ලෙස සේවයට එක් වෙනවා. ඔහු නතර වෙන්නෙ නාවුක කපිතතන්වරයෙක් වෙලා. එපමණක් නෙවෙයි; ඔහු ඩුබාහි පිහිටි විශාල ම නැව් සමාගමේ ප්‍රධානියා බවටත් පත් වෙනවා.

 

 90557677 5.jpg

මෙතනදි සඳහන් කළ යුතු අතුරු කතාවකුත් තියෙනවා. ඔහු පවසපු විදියට සහ කෘතියේ අන්තර්ගත විදියට ඔහු තමයි මාගම්පුර වරාය පිළිබඳ පළමු අදහස ඉදිරිපත් කරන්නෙ. පසුකාලෙක මංගල සමරවිර වරාය ඇමති වෙලා ඉද්දි ඔහු හමුවෙන්න ගිහින් ඒ පිළිබඳව සාකච්ඡා කරලත් තියෙනවා. වරාය ඉදිකිරිමට පෙර ශඛ්‍යතාවාර්තාව පවා හදන්නෙ ඔහුගේ මග පෙන්වීම අනුව. ඔහු ඒ සඳහා කිසිදු මුදලක් අය කරලත් නැහැ. නමුත් රාජපක්ෂවරු ඒ ශඛ්‍යතාවාර්තාව විසිකරල දාල විශාල මුදලක් වැය කරලා අලුත් ශඛ්‍යතාවාර්තාවක් හදනවා. ඒ ඇයි කියල මම ඔයාලට විශේෂයෙන් කියන්න වුමනා නැහැ.

ඒක අතුරු කතාවක්.

දැන් අපි ආයෙත් මාතෘකාවට එමු.

මම කියපු අනිත් වර්ගය හඳුන්වන්නෙ ''අභිනන්දන කෘති'' යනුවෙන්.

මෙතනදි ලියන්නෙ අදාළ පුද්ගලයගෙ චරිතය ම නෙවෙයි. බොහෝ වෙලාවට මේ කෘතිවල අන්තර්ගත වෙන්නෙ අදාළ පුද්ගලයා පිළිබඳ ගුණ කථන; ඒ වගේ  ම ඒ පුද්ගලයා ලියපු පොත පත්, ලිපි ලේඛන පිළිබඳ ඇගයුම්. වෙනත් කලාකරුවෙක් හෝ කලාකාරියක් නම් (නළුවෙක්, නිළියෙක්, ගායකයෙක්, ගායිකාවක්, ඉංජිනේරුවෙක්, දේශපානඥයෙක්, හෝ වෙනත් ඕනෑම වෘත්තියක නියැළි කෙනෙක්) ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ ඇගයුම් ලිපි යනාදිය.

කෘත හස්ත පරිවර්තක සිරිල් සී පෙරේරා ගැන, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ ගැන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්ය ඒ. ඩී. පී. කලංසූරිය ගැන මේ මම කියන ආකාරයේ පොත් නිකුත් වෙලා තියෙනවා.

මේ කියපු පොත් සියල්ලට අමතරව තවත් පොත් වර්ගයක් තියෙනවා.

ඒ තමයි දිනපොත්.

එක් එක් පුද්ගලයො ලියපු දින පොත් මුද්‍රණයෙන් නිකුත් වෙලා තියෙනවා.

 

Boleeviyanu Dinapotha 1

මේ අතරින් ප්‍රසිද්ධ ම පොත තමයි චේ ගුවේරා ලියපු ''බයිසිකල් ඩයරිය''; එහෙමත් නැත්නම් ''බයිසිකල් දින පොත'' කියන කෘතිය. ඒ වගේ ම ඔහු ම ලියපු ''බොලිවියානු දින පොත'' කියන පොත. ඒ වගේ ම ඔහු ලියපු ''කියුබානු විප්ලවයේ මතක සටහන්'' කියන පොත.

මම දන්න තරමට ලංකාවෙ එහෙම දිනපොතක් මුද්‍රණයෙන් නිකුත් වෙලා නැහැ. එහෙම තියෙනවා නම් මාව නිවැරැදි කරන්න.


මීට අමතරව ලංකාවෙ වැඩිය කතා බහට ලක්නොවුණ දින පොතකුත් ප්‍රකාශයට පත්වුණා. මේ පොත අනුවර්තනය කළේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක. පොත නම් කල තිබුණෙ ''කැරොලිනාගේ දිනපොත හෙවත් අන්ධකාරයේ දරුවා'' කියල.

 

karolina book

ඇගේ කතාවත් හරිම සුවිශේෂයි.

බ්‍රසිලයේ ජීවත්වුණ මේ කාන්තාව ඉතාම දුප්පත්. පිරිමින්ගේ හපන්කම් නිසා ඇයට උපන්  දරුවන් රැක ගැනීම සඳහා ඇය මහ මග තියෙන: කඩදාසි, ප්ලාස්ටික්, බෙලෙක් කෑලි, යකඩ යනාදිය එකතු කරල වික්කා. මේ අතර ඇයට හමුවන හිස් කඩදාසිවල ඇගේ සහ දරුවන්ගේ එදිනෙදා ජීවන විස්තර ලිව්වා. නමුත් කාටවත් දුන්නෙ නැහැ.

දවසක් රාජ්‍ය නොවන ආයතනයක් ආධාර විදියට දරුවන්ට තෑගි බෝග දෙන වෙලාවක එතන හිටපු පිරිස පොරකමින් කෑ ගැහුවා. ඒ වෙලාවෙ කැරොලිනා කෑ ගහල කිව්වා 'උඹල රණ් වුනොත් මම මගේ දින පොතේ උඹලගෙ නම් ලියනව' කියල. මේ කතාව එතන හිටපු මාධ්‍යවේදියකුට ඇහුණා‍. මාධ්‍යවේදියා කැරොලිනාව හමුවෙලා මේ දින පොත ඉල්ලා ගත්තා. දින දෙකකට පසුව පුවත්පතේ එක කොටසක් පළ කළා. ඒ කොටසට විශාල ඉල්ලුමක් සහ ප්‍රතිචාර ලැබුණා; ඊළඟ කොටස පළ වෙන්නෙ කවද ද කියල පාඨකයො දුරකතන ඇමතුම් දීල විමසුවා.

පුවත් පතේ පළ වුණාට පසුව මෙය කෘතියක් විදියට පළ වුණා. දවස් තුනක් ඇතුළත පිටපත් දස දහසක් අලෙවි වුණා. මාස හයක් ගත වෙද්දි පිටපත් 90,000ක් අලෙවි වුණා. ඒ වගේ ම බ්‍රසීල පොත් ප්‍රකාශන ඉතිහාසයේ වැඩියෙන් ම අලෙවි වුණ පොත විදියට ''කැරොලිනාගේ දින පොත'' ඉතිහාස ගතවුණා. එතැන් සිට මාස හයක් ඇතුළත මේ පොත භාෂා 20,000කට පරිවර්තනය වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් පොත් දෙකක් ප්‍රකාශයට පත් වුණා. ඒ කියන්නෙ ප්‍රකාශන ආයතන දෙකක් මේ පොත ප්‍රකාශයට පත් කළා.

පසුව බ්‍රසිලයේ පමණක් නෙවෙයි වෙනත් රටවල පවා පවතින මුඩුක්කු ප්‍රශ්න පිළිබඳ කතා කරන්න ඇයට රුපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලින් ආරාධනා ලැබුණා. පුවත්පත්වල සම්මුඛ සාකච්ඡා පැවැත්වූවා. අවසානයේ ඇය මේ පිළිබඳව විශ්වවිද්‍යාලවල පවා දේශනා පැවැත්වූවා. ඒ විතරක් නෙවෙයි... ඇගේ දින පොත බ්‍රසිලයේ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාව හදාරණ ශිෂ්‍ය ප්‍රජාව අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් බවට නිර්දේශ කළා. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් විදියට ඇයට බ්‍රසිලයේ සාවෝපෝලෝ නීති සරසවියෙන් ගරු සාමාජිකත්වයක් පවා පිරි නැමුවා.

දැන් මම මෙච්චර වෙලා කරේ මොකක් ද, ස්ටැන්ලිගෙ පොත ගැන මම කතා කරන්නෙ නැද්ද කියල ඔයාල හිතනව ඇති.

ඔවු... මම එන්න හදන්නෙ එතනට.

ඉස්සර වෙලාම බලමු මම මේ කියපු පොත් අතරින් ස්ටැන්ලිගෙ පොත අයත් වෙන්නෙ මොන වර්ගයට ද කියල.

සමහර අය කියන්න පුළුවන් මේකත් දින පොතක් වගේ කියල. මොකද ඔහු මේ කරුණු ලිව්වෙ ෆේස්බුක් එකට නිසා. නමුත් දින පොතක් හැටියට ගැනෙන්නෙ ඒ ඒ පුද්ගලයා ඒ ඒ දින වකවානුවල එදිනෙදා ලියපු සටහන්. නමුත් ස්ටැන්ලි ෆේස්බුක් එකට ලියන්නෙ එයාගෙ අතීතය; අතීත ස්මරණ; අද පොතක් විදියට නිකුත් වෙන්නෙ ඒ අතීත ස්මරණ. ඒ කියන්නෙ තමන්ගෙ ජීවන ගමනේ සැබෑ අත්දැකීම්. පිළිවෙළට; පියවරෙන් පියවරට.

kohoma hari godagiya

එහෙම නම් ''කොහොම හරි ගොඩ ගියා'' කෘතිය අයත් මොන ප්‍රවර්ගයට ද...? අනිවාර්යයෙන් ම එය අයත් වන්නේ ස්වයං ලිඛිත චරිතාපදාන එහෙමත් නැතිනම් Autobiography කියන වර්ගයට.

හැබැයි මෙතන විශාල වෙනසක් පවතිනවා.

ඒ තමයි මම කලින් කතා කරපු හුඟ දෙනෙක් සමාජයේ සිවිල් චරිත. ඒ කියන්නෙ: ඔහු හෝ ඇය: නළුවෙක්, නිළියෙක්, ගායකයෙක්, සංගීත ශිල්පියෙක්, ඉංජිනේරුවෙක්, මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක්.

මේ අතර වඩාත් ම ඉන්නෙ ලේඛක ලේඛිකාවො. මේ සියලු දෙනා ම තමන්ගෙ කතාව ලියා හෝ ලියවාගෙන ප්‍රසිද්ධ කරන්නට පෙර ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය අය; තමන්ගෙ රටේ පමණක් නෙවෙයි විදෙස් රටවල පවා ප්‍රසිද්ධ, ජනප්‍රිය අය.

හැබැයි ස්ටැන්ලි එහෙම ද...? නෑ...

 

perera stanli

stanli pereraස්ටැන්ලි පෙරේරා ඔහු වෘත්තියෙන් කරනැවැමියෙක්; එහෙමත් නැතිනම් අපේ භාවිත භාෂාවෙන් කියනවා නම් බාබර් කෙනෙක්. නමුත් ඒ බාබර් සකර්බර්ග් විවෘත කරල දුන්න අවකාශයේ තමන්ගෙ ජීවන අත්දැකීම් ලියනවා. ඔහුගේ මිතුරු මිතුරියන් විශාල පිරිසක් එය කියවනවා. ඒ මිතුරු කැල අතර සිටි පොත් ප්‍රකාශන ආයතන හිමිකරුවෙක් ද මේ කතා කියවනවා. ඔහුටත් මේ කතා හිතට අල්ලනවා. ඒ නිසා මේ කතා පොතක් විදියට ප්‍රකාශයට පත් කරන්න ඔහු තීරණය කරනවා. ඒ තීරණයේ අග්‍ර ඵලය විදියට අද ස්ටැන්ලි පෙරේරා නමැති කරනැවෑමියාගේ ජීවිත කතාවෙන් කොටසක් මුද්‍රිත කෘතියක් විදියට සමාජ ගත කෙරෙනවා.

එතනදි මම කලින් කතා කරපු හැම සිවිල් චරිතයකට ම වඩා ස්ටැන්ලි පෙරේරා ඉදිරියෙන් ඉන්නවා. මොකද මේ කෘතිය සමාජ ගත වෙන්න කලින් ඔහුට සිවිල් බලයක් තිබුණෙ නැහැ. ඔහු සමස්ත සමාජයේ ම ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත්වෙලා හිටියෙ නැහැ. නමුත් මේ මොහොතේ සිට ඔහු ලේඛකයෙක්. ඔහු ලේඛකයෙක් බවට පත් කළේ ග්‍රැ‌ෆිකෙයා ප්‍රකාශන ආයතනයේ හිමිකරු අනිල් ජයවිර නමැති පාඨකයා.

ඉතින් ස්ටැන්ලි පෙරේරා සුවිශේෂී නැති ද...?

ඇත්තට ම සුවිශේෂියි...

ඔහුගේ ලේඛන ශෛලිය තුළ යම් යම් අඩුපාඩු තිබුණත් මේ ලියවිල්ල ඉතා සාර්ථකයි; කියවීමට ආසක්ත වනසුලුයි. ඒ නිසා නෙ පොත් ප්‍රකාශන ආයතනයක් සහ මුද්‍රණාලයක හිමිකරුවෙක් පවා මේ ලියවිල්ලට ආසක්ත වෙන්නෙ...

stanli book

අනික් සුවිශේෂත්වය තමයි ස්ටැන්ලිගෙ ජීවිත කතාවෙ; එහෙමත් නැතිනම් කොහොම හරි ගොඩ ගියා'' කෘතියෙ ඇතැම් සිද්ධි ලෝකප්‍රසිද්ධ සහ ලාංකීය නිර්මාණකරුවන්ගේ කෘති අතර පවත්නා සාම්‍යතා එහෙමත් නැති නම් සමානතා පැවතීම.

ඒකට උදාහරණ විදියට මම දැන් ලෝක ප්‍රසිද්ධ ලේඛකයකුගේ, නළුවකුගේ සහ ලංකාවේ චිරප්‍රසිද්ධ ලේඛකයකුගේ චරිතාපදානවලින් කොටස් කිහිපයක් උපුටා දක්වමින් ඒ සිද්ධි හා සමපාත සිද්ධි ස්ටැන්ලිගෙ කෘතියේ ද තිබෙන බව පැහැදිලි කරන්නම්.

''අනාත නිවාසයකයකට යාමට සිදුවීමේ අවමානය කෙතරම්දැයි හොඳින් දැන සිටිය ද, අම්මා ඒ පිළිබඳ අපට පැවසූ අවස්ථාවේ දී සිඩ්නි හා මම එහි කිසියම් වික්‍රමාන්විත බවක් හා ඉඩ-කඩ ඇහිරුණු තනි කාමර වාසයෙන් වෙනසකට අවස්ථාවක් ඇතැයි යනුවෙන් කල්පනා කළෙමු. එහෙත් එම දුක්බර දිනයේ දී සැබැවින් ම අනාත නිවාසයේ ගේට්ටුවෙන් ඇතුළු වෙන තෙක් ම සිදුවෙමින් පැවතියේ කුමක්දැයි මම වටහා ගෙන නොසිටියෙමි. අනතුරුව එහි පැවති අසරණ අන්දුන්කුන්දුන් ස්වභාවය තදින් ම සිතේ වැදුණි; ඒ, එහි දී අපට එකිනෙකාගෙන් වෙන් වීමට, අම්මා වැඩිහිටි කතුන් සිටි අංශයට හා අප දෙදෙනාට ළමුන්ගේ අංශයට වශයෙන් බෙදී යාමට සිදු වු හෙයිනි.''

මේ කොටස අන්තර්ගත වෙන්නෙ චාලි චැප්ලින් ස්වයං ලිඛිත චරිතාපදානය කෘතියෙ සිංහල පරිවර්තනය වෙන ''මගේ දිවි සැරිය" කෘතියෙ 21වන පිටුවෙ. මේ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නෙ චුලානන්ද සමරනායක.

දැන් අපි ස්ටැන්ලිගෙ පොතේ 54වන පිටුවට යමු.

''අග හිඟකම්වලින් පිරුණු අම්මා තවත් වෙහෙසට පත් කිරීමට මගේ හිත ඉඩ නොදුන්නේ ය. ගෙදර තිබූ දුඹුරු පාට සූට්කේසය මඩමෙන් එවා තිබූ ලයිස්තුවෙන් පිරී තිබිණි. අලුත් ඇඳ ඇතිරිලි, කොට්ට උර, පිඟන්, කෝප්ප, රබර් සෙරෙප්පු, දත් බුරුසු, සබන් ඇතුළු ළමයකුට වුවමනා දෑවලින් එය සමන්විත විය. අම්මා: බත් පොරි, අග්ගලා සාදා දුන්නේ ළමයි සමග බෙදාගෙන කන ලෙස අවවාද කරමිනි. කවදත් ගමනක් යන විට සාදා ගන්නා: පරිප්පු, මැල්ලුම්, බිත්තර සහ තවත් ව්‍යංජන සහිත බත් මුලක් ද බැඳගත් අම්මා අක්කාගේ සහ මගේ ඇඬිල්ල මැද ශෝකාකුල මුහුණින් යුතුව 'මම රෑ වෙන්න කලින් එනවා නොනෝ' යැයි පවසා නිවසින් පිටත් වූවා ය.''  

චාලි චැප්ලින් අනාත නිවාසයකට යෑම පිළිබද අත්දැකීම සහ මේ අත්දැකීම අතර වෙනසක් තියෙනව ද...? වෙනසක් තියෙනවා නම් ඒ, ස්ටැන්ලි අරගෙන එන්නෙත් අනාත නිවාසයකින්; පසුව ඔහු එයාගෙ ළමා කාලය වැඩි පුර ගත කරන්නෙත් ළමා නිවාසයක වීම පමණයි. නමුත් මේ දෙදෙනා ම මුහුණ දෙන්නෙ ඒක ම ඛේද ජනක අත්දැකීමකට.

දැන් මම ඔබට ලොක ප්‍රසිද්ධ ලේඛකයකු ගෙ ජිවන අත්දැකිමක් ඉදිරිපත් කරන්නම්.

''එසේ වතුදු, වැසි සහිත සරත් සමය එළැඹීය. ස්ථිර රැකියාවක් නොමැතිව මට ජීවත් වීම ඉතා අසීරු විය. මා වටේ ඇති වූ හැම දෙයක් ම මගේ සිත් ඇදගත් අතර මා වඩාත් අඩුවෙන් වැඩ කළෙන්, අනුන්ගේ ආහාරවලින් මම යැපෙන්නට විමි. අනුන්ගෙන් ලැබෙන ආහාර ගිල දැමීම හැමදාම ඉතා අපහසු කාර්යයකි. හිම කාලයට පදිංචිය සඳහා ස්ථානයක් සොයා ගැනීම ද අපහසු කාර්යයකි. හිම කාලයට පදිංචිය සඳහා ස්ථානයක් සොයා ගැනීම ද අවශ්‍ය විය. වසිලි සිම්යෝනොව්ගේ විස්කිරිඤ්ඤ බේකරියේ මම රැකියාවක් සොයා ගතිමි''

 

Mage Sarasavi 700x1049

කවුද මෙහෙම ලියන්නෙ...? ලෝකප්‍රසිද්ධ ලේඛක මැක්සිම් ගෝර්කි. ඔහු මේ කොටස ඇතුළත් කරන්නෙ ඔහුගේ ''my university'' කියන කෘතියෙ. මේ කෘතිය සිංහලයට  පරිවර්තනය කරන්නෙ දැදිගම වී. රුද්‍රිගු; සිංහල පරිවර්තනය නම් කරන්නෙ ''මගේ සරසවි'' යනුවෙන්. ඒ කෘතියෙ 51, 52 පිටුවල තමයි මෙම කොටස තියෙන්නෙ.

දැන් අපි යොමු වෙමු ස්ටැන්ලිගෙ ''කොහොම හරි ගොඩ ගියා'' පොතේ 118 සහ 119 පිටුවලට. ඒ පිටුවල ස්ටැන්ලි මෙහෙම සඳහන් කරනවා.


''මේ සියලු අලකලංචි නිහඬව බලා සිටි, ඇත්තට ම මට ආදරය මෙන් ම අනුකම්පා කළ කෙනෙක් සිටියේ ය; ඒ, සුදු අයියා ය.


'වරෙන් හෙට ඉඳල කඩේ යන්න.'

දවසක් සුදු අයියා යෝජනා කළේ ය.

''දවස් කිහිපයකින් මම සුදු අයියාත් ප්‍රීමස් අයියාත් සමග බස්වල එල්ලීගෙන ඔවුන්ට ම අයිති කොළඹ කරවල කඩේ යන්නට පුරුදු විමි. එය මට සහ අම්මාට සතුටක් වූයේ සුදු අයියා මට වියදමට යම් මුදලක් දෙන බැවිනි. එම දෙපළ මා කෙරෙහි තිබූ විශ්වාසය නිසා ම මුදල් ගනු දෙනු පවා කරන්නට පුහුණු කළහ.''


බලන්න... එදා මැක්සිම් ගොර්කි බේකරියක රස්සාවට යනවා; ස්ටැන්ලි කරවල කඩයක රැකියාවට යනවා. ඇයි මේ දෙන්න ම මෙහෙම රැකියාවලට යන්නෙ...? ජිවත් විමේ වුවමනාව නිසා.

අපි දැන් යොමු වෙමු ලංකාවේ චිර ප්‍රසිද්ධ ලේඛකයකු වෙත.

''දහවල් කාලයෙහි මේ බඩු ගබඩාවලින් නික්මෙන්නේ නැහැය පිනවන පුස්ඹක් නොවේ. තොග ගණනේ කරවල විකුණන පරවරයකුගේ (ලංකාවේ වෙසෙන ඉන්දියානු ප්‍රභවයක් සහිත ගෝත්‍රයක්) හෝ කොච්චියකුගේ (දකුණු ඉන්දියාවේ කොච්චි නමැති ප්‍රදේශයේ වාසය කරන අය) හෝ මහා කරවල ගබඩාවකට ඇතුළු වන්නා ටික වේලාවක් එහි සිටියොත් කරවල ගඳ ඔහුගේ ඇඳුම්වල ද ඇඟෙහි නොවැසුණු තැන්වල ද එල්ලෙයි. ඇදුම් සෝදවන තෙක් ඒ ගඳ ඇඳුම් හැර නොයයි.''

martin book
කවුද මෙහෙම ලියන්නෙ...? හෙළයේ මහා ගත්කරු ලෙස විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහ. ඔහු කරවල කඩයක වැඩ නොකරට සිල්ලර කඩයක වැඩ කරනවා; කොළඹ විතරක් නෙවෙයි ඔහු මඩකළපුවෙ සිල්ලර කඩයක පවා වැඩ කරනවා. ඔහු මේ ලියන්නෙ කොළඹ කඩයක වැඩ කරද්දි ලබපු අත්දැකීමක්. මේ කොටස සදහන් වෙන්නෙ ඔහුගෙ ජිවන අත්දැකීම් අළලා ලියපු ''උපන්දා සිට'' කියන පොතේ 137වන පිටුවෙ.

දැන් අපි යොමු වෙමු ස්ටැන්ලි පෙරේරාගෙ පොතේ 120වන පිටුවට.

''කරවල කඩේ රැකියාවට ගිය ද හිරිමල් තරුණ වයසේ සිටි මට එය ප්‍රිය ජනක නොවිණි. වෙළඳාම අවසන් වී කොපමණ නා පිරිසුදු වුව ද කරවල ගඳ නම් පහව නොගියේ ය. සුදු අයියා පවා බස් රථයේ එන්නේ සෙන්ට් කුප්පියෙන් බාගයක් පමණ ඇගේ හලාගත් පසුව ය. මට සෙන්ට් නොතිබුණි; මා බසයට ඇතුළු වූ මොහොතේ සිට මිනිස්සු නහය හකුළුවාගෙන වට පිට බලන්නේ මේ කරවල කූරියා බස් රියෙහි සිටින්නේ කොහේ දැයි සිතින් මුමුනමිනි. එබැවින් ඒ ගමන මා ගියේ නොගිහින් බැරිකමට ය.''

හිතන්න... හෙලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගෙ අත්දැකීමයි ස්ටැන්ලිගෙ අත්දැකීමයි සම්පූර්ණයෙන් නොවුණත් යම් ආකාරයකට සමාන නැද්ද...?


මේ තුන්දෙනාගෙ සහ ස්ටැන්ලිගෙ ජීවිත කතාවේ එක් එක් යුගවල පැවති වෙනසක් මිස අත්දැකිම්වල වෙනසක් තියෙනව ද...?


මට නම් දැනෙන්නෙ එහෙම නැහැ කියල.

Begging Mumbai Streets

ඒ නිසා මම මගේ කතාව අවසන් කරන්න කලින් කියන්නෙ කිසිම පුද්ගලයකුට, කිසිම ආකාරයකින් ගරහන්න, අපහාස කරන්න ඔබ කිසිවෙක් ම උත්සාහ කරන්න එපා. මොකද අද පදික වේදිකාවේ සිඟමන් යදින පුද්ගලයා මතු දිනක රටේ ප්‍රධාන පුරවැසියා වෙන්න පුළුවන්. ඒ නිසා ස්ටැන්ලි පෙරේරා ගේ ''කොහොම හරි ගොඩ ගියා'' කෘතිය: එහි තිබෙන: අකුරු, වචන, වාක්‍ය, ඡේද සහ පරිච්චේද කියවීමකින් ඔබ්බට ගිහින් කියවා ගන්න උත්සාහ කරන්න.


Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්