"මනෝහරී හේවගේ සහෝදරියගේ 'කුන්දිරක්කන්' පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී විය. කලාකාමී සැදෑවකට ආරාධනා කිරීම පිළිබදව ඇයට කෘතවේදීත්වය පල කරමි." යැයි වූ සටහනක් ගෙවුණු සැප්තැම්බරේ 8 වැනිදා ඇමති කේ.ඩී. ලාල්කාන්ත ස්වකීය බුකියේ තාප්පයේ අලවා තිබුණි.
මා මෙය ලියන මොහොතේ ඊට ලැබී තිබුණ ලයික්ස් ගණන 2400කි. හාර්ට්ස් 565කි. කෙයාර් - උම්මා 53කි. එකෙකුට ඇඬී තිබුණි.
ඒ අතර හහහා හිනා 97ක් තිබුණි. කොමෙන්ට්ස් 200 ක් ද,ෂෙයාර් 200ක් ද සිදුවී තිබුණි.
මෙකී පොත එළිදැක්වීමේ උළෙලේ ලාලකාන්තමය කතාව අප මිත්‍ර දොන් මායාට පින් සිදුවන්නට යූනලගතව තිබේ. "සාහිත්‍යකාරයෝ කුහකයෝහ - ලාල් කාන්ත කතාකරයි" ශීර්ෂ සම්ප්‍රයුක්තව ය.
ඇඩම් ස්මීත් වනපොත් කරමින් සිටින බැවින් ලාල් කාන්ත ඇතුළු මාලිමා පාලක බලමුළුවට අන් කවර පොතක් සමග හෝ හැම්මෙන්නට වෙලාවක් තිබ්බ නොහැකි ය. ලාල් කාන්තගේ කුන්දිරික්කන් දෙසුමෙන් එය මැනැවින් ස්ඵුට විය. ඔහු තවමත් දෙසුමකදී නිදසුන් කොට ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ ට්‍රාන්ස්ෆෝමර ලුහුබැඳි ගරිල්ලා සමයේ කියැවූ ගෝර්කිගේ අම්මා හෝ ආයිත්මාතොව්ගේ 'පළමු ගුරුවරයා බඳු ප්‍රොපර්ගැන්ඩාමය දේශපාලන වීරාඛ්‍යනයි. ඉන් මෙහා මෙලෝ ඉටිබෝලයක් ඔහු කියවා නැති බවත් නූතනවාදී සාහිත්‍යයේ එළිපත්තටවත් ළඟා වී නැති බවත් ඔහුගේ "භාෂනයෙන් මෙන්ම භාවිතයෙන්" ගම්‍යමාන වෙයි.
සුපුරුදු තරවටු න්‍යායෙන් යුතුව ඔහු ලේඛක ලේඛිකාවන් වක්‍රාකාරයෙන් අණවන්නේ පාවෙල් හෝ දුයිෂෙන් බඳු භාවිතයක් ඇති 'සිංහල-බෞද්ධ විප්ලවවාදීන් සොයා ඒ ගැන වීරාඛ්‍යන ගොඩනංවන ලෙස ය. ඔහුට අනුව, මේ තාක් සකල සිංහල ලියන්නෝ එසේ සිදුකර නැති බැවින් සියල්ලෝ කුහකයෝ හ.
බත්තලංගුණ්ඩුවේ සිට මුන්නක්කරේ සංසාරේ දක්වා මා ලියූ සියලු නවකතා දකුණේ සහ උතුරේ රැඩිකල්වාදී දේශපාලනය පසුබිමෙන් චිත්‍රණය වන ප්‍රබන්ධමය ගොඩනැංවීම් ය. නමුත් ඒවායේ ලාල් කාන්ත යෝජනා කරන පන්නයේ වීරයන් නැත. එ බැවින් ලාල්කාන්ත අර්ථයෙන් මා ස්ථිරෝම කුහකයෙකි. "ඇහිපිල්ලමක් යට" ටෙලිනළුවේ සහ එහිම නවකතානුරූපණය වූ 'ඒ අහඹු අතීත හැන්දෑව" කෘතියේ කේන්ද්‍රීය චරිතය දුයිෂෙන් අනුගමනය කරන ගුරුවරයෙකි. ලාංකීය විප්ලවවාදී සන්දර්භයේ දී එවන් ගුරුවරයකුට අත්පත් විය හැකි ඉරණම ඥානනය කරගන්නේ කෙසේද යන්න මෙකී කෘතිය යෝජනා කරයි. මෙම කෘතිය පවා ලාල් කාන්ත යෝජනා කරන වීරවරයා ස්ථාපිත නොකරන බැවින් මා තවදුරටත් කුහකයෙකි.
මා පමණක් කුහකයෙකු ලෙස හංවඩු විදුම් විඳීම සාධාරණ නොවන බැවින් තවත් කුහකයන් කිහිප දෙනෙක්වත් නම් කිරීම මේ ලියවිල්ලේ අරමුණයි.
කැමති කෙනෙක්ට කැමති ලෙස ස්වකීය කුහකවත දැක බලාගන්නට ලාල් කාන්ත ඉඩහසර විවෘත කර දී ඇති බැවින් සිහලු කුහකයෝ ඔහුට කෘතඥ විය යුත්තාහ.
ඒ කුන්දිරික්කන් සභාව මෙහෙයවන ලද්දේ මා මිත්‍රයකු වන හිටිවන වැඩ දමන මිගාර බමුණුසිංහ නම් කුහකයා විසිනි. මාලිමා සංස්කෘතික බලමුළුවේ අවිච්චින්න නියාමකයන් ව සිට ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා සහ සාහිත්‍යය අනුමණ්ඩලයේ සභාපතිවරයා ලෙස දේශපාලන පත්වීම් ලත් කීර්ති වැලිසරගේ සහ කමල් පෙරේරා යන කුහකයෝ දෙදෙනාද ප්‍රධාන ආරාධිතවැ මේ සභාවේ සිටියහ.
එමෙන්ම ආයිත්මාතොව්ගේ ගොර්බොචොව් සමය ගැන මැනැවින් දන්නාවූ ද, ඔහුගේ ප්‍රොපර්ගැන්ඩා නොවන ගැඹුරු ප්‍රබන්ද සිංහල සහෘදයාට අභිමුඛ කළා වූ ද, එනයින් ආත්මාත වූ සම්මානයෙන් පවා පිදුම් ලද්දා වූද, නූතනවාදී ලෝක සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා සිංහලට පරිවර්තනය කරමින් සහෘද මනස ඔසවා තබන්නට අඛන්ඩව ශ්‍රමය වගුරන්නාවූ ද චූලානන්ද සමරනායක නම් කුහකයාද සභාවේ සිටියේය.
පොත්පත් ගණනාවක් පළ කර ඇති හිනිදුම සුනිල් සෙනෙවි නම් අප මිත්‍ර කුහකයා ලාල් කාන්ත ද සිටිනා මණ්ඩලයේ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ය. ඇමති ලේකම්වරයා වන්නේ සම්මානනීය කුහකයකු වන අප මිත්‍ර ප්‍රින්ස් සේනාධිර ය.
රාජ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත් වූ රාජ්‍ය සාහිත්‍ය දේශනය පැවැත්වූයේ වත්මන් රජය බලයට ගෙන ඒමට සිය සාහිත්‍යමය කීර්තිය කැපකළ අප මිත්‍ර මහාචාර්ය ලියනගේ අමරකීර්ති නම් කුහකයා ය. මෙම දේශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ සිය වාමාංශික දේශපාලන භාවිතයේ පන්නරය මෙන්ම මේ තාක් උත්පාද කරගත් සාහිත්‍ය හා සංස්කෘතික කීර්තිය නොමසුරුව මාලිමාව බලයට ගෙන ඒම වෙනුවෙන් වැය කළ අප බෙහෙවින්ම ආදරය කරන ජයතිලක කම්මැල්ලවීර නම් වන කුහකයා ය.
2025 වසර සඳහා කුහකයන්ගේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් නවකතාව සඳහා පිරිනැමුණු ස්වර්ණ පුස්තකය සම්මානය මෙන්ම ලාල් කාන්තලාගේ මාලිමා ආණ්ඩුව යටතේ පැවැති රාජ්‍ය සම්මාන උළෙලේ රාජ්‍ය සම්මානය දිනා ගත්තේ කොටින්ගේ ස්මාරක ඉදිකරන කැනඩාවේ සිට සිය රට පැමිණි විශ්මිත ලියන්නකු වන චන්ද්‍රරත්න බණ්ඩාරය. 2025 වසර සඳහා කුහකයන්ගේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් කෙටි කතා කෘතිය පිණිස පිරිනැමුණු රජත පුස්තක සම්මානය මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවුණේ මා කැමතිම ඉන්ද්‍රජාලික කෙටි කතාලියන්නකු වන අතරම මාලිමා ආණ්ඩුවේ උද්වේගකර පෙරගමන්කරුවකු වූ නිශ්ශංක විජේමාන්න නම් වන කුහකයා ට ය.
ලාල්කාන්තමය කුහකයන්ගේ ලයිස්තුව කොළමක ලිව්ව හැක්කක්නොවේ.

මේ කිසිම කුහකයෙක් ලාල්කාන්තමය 'කුහකභාවය' ගැන සාකච්ඡාවක් ඉදිරියට ගන්නේ නැතිබව ලාල්කාන්ත දැනසිටියා වැන්න. කුහකයා යන්න Hypocrite යන වචනය හරහා ජාත්‍යන්තරවාදීව තේරුම් ගැනීමට පිළිවන. Hypocrite යන්න තවදුරටත් ඉච්ඡාකාරයා, කෛරාටකයා සහ දෙබිඩ්ඩා දක්වාම වර නඟා ගන්නට පවා පිළිවන.
විපක්ෂයේ ක්‍රියාකාරීව සිටියදී තමන් අභියස තිබුණු යථාර්ථය ආණ්ඩු පක්ෂයේ සිටියදී එයාකාරව නො පවතින බව ලාල් කාන්ත පවසන්නේ සාතිශය සැහැල්ලුවෙනි. මෙබඳු ගැඹුරු විශ්ලේෂණ කුහකයන්ට හෝ දෙබිඩ්ඩන්ට කළ නොහැකිය. ඒවා කළ හැක්කේ සෘජු, අනම්‍ය, අචපල වමේ දේශපාලකයන නායකයන්ට පමණි. සමස්ත රටේම නායකත්වයට පවා සුදුසු ලාල්කාන්ත කුන්දිරික්කන් සභාවේ මතුකළ "කුහක" පුරාවත නැවත ප්‍රශ්න කරන්නට සමත් කිසිදු කුහකයෙක් තමන් අවට නොසිටිනා බව ලාල් කාන්ත අත්දැකීමෙන්ම දනී. ඔහු එල්ලේ ගසන්නේ එහෙම පිට්ටනියක ය.
රහට කතා කරන, ෆන් බුජමක් බඳු ලාල්කාන්ත සමග අඩියක් ගැසීමේ අවිඥාණක ලාලසාව, 'දුස්ට කමේ සවුන්දර්ය' කෘතියේ එන 'විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය' නම් කෙටිකතාවේ ම විසින් අන්තර්ගත කෙරෙනු ලැබී ඇත. රමනීය නවකතා ආඛ්‍යාත රැසක් දැයට දායද කළ සිංහලයෙහි කෙළ පැමිණි උපුල් ශාන්ත සන්නස්ගල නම් අප මිත්‍ර කුහකයා සමඟ ලාල්කාන්ත සිදුකළ අවසන් සංවාදය පුරා ගිගුම් නැඟෙන රිලැක්සුව සමඟ අභිමුඛ වන්නට කැමැත්තේමුත් ඊට අවකාශයක් අනාගතය විසින් හිමිකර දෙනු ලැබෙත්දැයි නොදන්නෙමි.
ඉතින් අවසාන වශයෙන් මෙසේ ලියමි.
කුහකයන්ගේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රාදේශීය පොත් සල්පිල ඇරඹෙන්නට නියමිතව තිබේ. ඉදින්, කුහකයන් හමුවී ඔවුන් හා කතාබහහ කරමින් ක්ෂණික නූඩ්ල්ස් අනුභවයෙගි කැමැත්තෝ බී.එම්.අයි.සී.එච්. පරිශ්‍රයට පැමිණෙත්වා.
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
http://www.jdslanka.org/
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි)







