leader s

නලීන් ප්‍රදීප් උඩුවෙල නම් විශ්මිත චරිතාංග නලුවාගේ රූපකාය හද සනිහටුහන් වූයේ ඔහු 'සෙවණැලි සහ මිනිස්සු'  අතර සිටිය දී ය.

එහි අධියුරු ප්‍රසන්න ජයකොඩිගේ එක ම හා ගැඹුරුම වේදිකා පිය සටහන වූ සෙවණැලි සහ මිනිස්සු චලනය වන්නේ කෙසේද යන්න විඳ ගැන්මට, අන්ධකාර ලුම්බිණියේ එකත්පස්ව සිටියදී ය.

 

WhatsApp Image 2025 10 03 at 3.35.58 PM 'සෙවණැලි සහ මිනිස්සු'
ඩුංගුරා නමින් වයසට ගොසින් සිටිනා සෙනෙවිරත්න රොද්‍රිගු, වේදිකාව මත වන පෙට්ටි බක්කියක් මත සිටගෙන ප්‍රේක්ෂාගාරය දෙකට බෙදෙන තීරුවේ වන කඹයක් අදිමින් "මාවත් එක්ක පලයං" යැයි පවසයි. කඹය දිගේ ඇදී එන්නේ තාරුණ්‍යයෙන් ආඪ්‍යය ඩුංගු හෙවත් ඩුංගුරාගේ චෛතසිකයයි. ඒ නලින් ප්‍රදීප් උඩුවෙල යි. ඔහු මෙසේ පවසයි. "හිතිං මං ගිය දුර ගතිං උඹට යන්ඩ බෑ."

එහෙව් කී නලියා ඈත සිත ඈතටම නික්ම ගොසිනි.

නලියා යනු සුද්දකු සේ ඔබ ඇමතුවාට බයියකු සේ බුලත් විට හපමින් ඇස් දෙකෙන් හිනැහුණු පොදු හුදු ජීවිතයේ චරිතාංග නලුවකු නොවුණු සරල චරිතයකි.



ගාමිණී වියංගොඩ විසින් පරිවර්තනය කෙරුණු  මිහායෙල් බුල්ගොකොව්ගේ බල්ලකුගේ හදවත නවකතාව පාදක කර ගනිමින් අජිත් එස් කේ අල්විස් තරුණ නාට්‍යකරුවා 1996දී වේදිකාවට ගෙන ආ 'බලුහදවත' ඒ වසරේ යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනය විය. එහි මිනිසා හා බල්ලා අතර එකල මෙකෙලවෙමින් අද්විතීය රංගන පෙළහැර පෑයේ අප මිත්‍ර නලින් ප්‍රදීප් ය.

ඒ උඩබුරලෑම තවමත් ඇසෙන්නාක් මෙනි. ෂාරික් නම් බල්ලාට මිනිස් මොලයක් බද්ධ කල ද, තවමත් ඇත්තේ බලු හදවතකි. බද්ධ කළ මිනිස් මොළය ද තක්කඩියෙකුගේ මිනිස් මොලයක් වී නම් සමාජයේ ඉරණම කවරාකාර විය හැකිදැ'යි ස්ටැලින්වාදී කලා සංස්කෘතික මර්දනයක් යෝජනා කරන සමකාලීන දේශපාලන බලධාරීත්වය පිළිබඳ ගැඹුරින් සලකා බැලීම කළ යුතු මොහොතක එම චරිතය ගැඹුරින් ප්‍රති නිර්මාණය කළ නලියා නික්ම ගොසිනි.

ඔහු ගැන ලිව යුතු දේ බොහෝ ඇතද එක නිශ්චිත කරුණක් පමණක් අවධාරණය කොට ගනිමි.

 

554082605 25007688202223968 8537617701076772308 n

ඇන්ටනි ජයලත්, ජනක් ද සිල්වා, හේමන්ත ප්‍රසාද් වැනි අප මිත්‍ර කෙටි නාට්‍යකරුවන් අතින් පොහොණි වූ කෙටි නාට්‍ය සම්ප්‍රදාය, ආරියවංශ ධම්මගේ අජිත් තිලකසේනයන්ගේ කෙටිකතා පදනම් කර ගනිමින් වේදිකාව මතට ගෙන ආ ' පේමෙල් ආවට පස්සෙ' සහ 'මේ නිවසට ගිනි තබන්න' හරහා උච්චස්ථානය සලකුණු කළ ද, කෙටි නාට්‍ය කලාව වඩාත්ම හෘදයාංගම මානයකට ඔසවා තැබුවේ 1995 දී නලින් ප්‍රදීප් උඩුවෙල නිර්මාණය කළ 'චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්' කෙටි නාට්‍ය බව මගේ පුද්ගලික මතය යි. අඩ හෝරාවක් පුරා පුපුරා යන ස්වරයෙන් නලින් ප්‍රදීප් සහ රමණී දමයන්ති විසින් සිදු කෙරුණු වේදිකා ප්‍රතිනිර්මාණය කිසිදාක මතකයෙන් බැහැර කළ නොහෙන කලාත්මක රිදුමකි. නලියාගේ ස්වභාවයේම වන තරමක අධිමාත්‍රා පෙනුමක් ඇති යථාර්ථවාදී රංග පෞරුෂය, චන්ද්‍රාවතී සමඟ හැමිණෙන්නට ආ ටැක්සි රියදුරාගේ අධ්‍යාත්මය හා සමපාත වන්නේ විශ්මිත ලෙස ය.  එය ඒ වසරේ යෞවන සම්මාන උළෙලේ සියලු ප්‍රමුඛ සම්මාන පැහැර ගති. හොඳම නිෂ්පාදනය සහ විශිෂ්ටතම රංගවේදියා සම්මාන මූර්තිකා, අත දැරුවේ නිර්මාණකරුවාම ය. ඒ මදිවට චන්ද්‍රාවතී 1996 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ විශිෂ්ටතම නාට්‍ය බවට පත්විය. ඉහත සම්මාන මූර්තිකා ද්වය අතපත් වූයේ නලියාට ම ය. එය හිමි විය යුත්තකි. නලියාගේ බොහෝ චරිත නිරූපණ දැක ඇතත් ඒ ටැක්සි රියදුරා තවමත් මට නම් විශිෂ්ටතම ප්‍රතිනිර්මාණයයි.

 

beukuyසිහින රඟහල

 

ධනංජය කරුණාරත්න නම් විශිෂ්ට කෙටිනාට්‍යකරුවාගේ "සිහින රඟහල" තුළ වන "චන්ද්‍රාවතී" එකම චන්ද්‍රාවතී බව හිතනා අලුත් පරම්පරාවේ නාට්‍යකරුවන්ට මෙන්ම නාට්‍ය සහෘදයන් මේ ඉතිහාසය දැනගත යුතු බැවින් මේවා මෙසේ ලියා තැබිය යුතුය. ධනංජය කරුණාරත්නගේ අධ්‍යක්ෂණ රිද්මය සහ නලින් ප්‍රදීප් උඩුවෙලගේ අධ්‍යක්ෂණ රිද්මය පැහැදිලිවම දෙකකි. ඉන් වඩා විශිෂ්ට වන්නේ නලින් ප්‍රදීප්ගේ චන්ද්‍රවතී බව මගේ පුද්ගලික මතයයි. මේ නාට්‍ය නිෂ්පාදන දෙකම අන්ධකාරය තුළ රසවිඳ ඇති කිහිප දෙනෙකු රහසින් හෝ මා සමග හිට ගන්නා බව ඉඳුරාම දනිමි.

1997 දී 'ඔබ සාපේක්ෂයි' හරහා වඩා විකසිත වුණු ධනංජයාගේ ම කෙටි නාට්‍ය නිෂ්පාදන චන්ද්‍රාවතී මෙන් සැසදිය නොහෙන බැවින් ඒවා ගැන කිසිදු තර්කයක් නැත. නලින් ප්‍රදීප්  මිත්‍රයා සමුගෙන ඇත ද, මා චන්ද්‍රාවතී හරහා මතු කරන්නට හැදුවේ කෙටි නාට්‍ය ඉතිහාසයේ ඔහු හිමි කර ගත් ආසනය ඔහු වෙනුවෙන් වෙන් කළ තැබිය යුතු බව ය. එය අවධාරණය කළ යුතු යථාර්ථකි.

නමුත් දිගින් දිගටම සිද්ධ වූයේ චන්ද්‍රාවතී සහ නලියා අමතක කර දැමෙන සංවාදයන් ය.

මේ ගැන කතා කළ යුතු යැයි මට මුලින්ම හැඟුණේ නිර්මාල් රංජිත් දේවසිරි අප මිත්‍ර ඉතිහාස මහාචාර්යවරයා 'සිහින රඟහල' නරඹා පැමිණ ඔහුගේ යූ නලය ඔස්සේ සිදු කළ දෛනික  'දෙඩුම' ට සවන් දෙන අතර ය.  එහි එක් තැනක 'චන්ද්‍රාවතිය' ගැන කියැවුණි. ඒ හැඟීමට පාදක වුණු සහසම්බන්ධිත පූර්ව හැගුම මා තුළ ජනිත වන්නට ඇත්තේ, 'දීප්ති සමග පත්තරෙන් එහා' සංවාදයකට ආ ධනංජය කරුණාරත්න අප මිත්‍ර කෙටි නාට්‍යකරුවාගෙන් චන්ද්‍රාවතී ගැන විමසද්දී ඔහු දුන් පිළිතුර නිසා වන්නට පිළිවන. ධනංජය නාට්‍යයේ එන චරිත ද්වය ගැන කීවද, එය ඔහුට කලින් නලියා නිර්මාණය කළ කෙටි නාට්‍යයක් බව මෙනෙහි කළේ නැත.

 



නිර්මාල්ගේ වැඩසටහන බලද්දී,  මා වටහා ගත්තේ අප මිත්‍ර ඉතිහාස මහාචාර්යවරයා චන්ද්‍රාවතී ඉතිහාසය ගැන දන්නවා නම්, ඔහු ඒ ගැන කතා නොකර නොසිටින බව ය; නොහොත් එය සලකුණු කරන බව ය.  නලින් ප්‍රදීප් උඩුවලගේ ඒ විශිෂ්ට හා දැවැන්ත නිෂ්පාදනය සාමූහික මතකය අතරින් ගිලිහෙමින් පවතින බව හෝ මුළුමනින්ම එය නොපවතින බව මගේ අවබෝධය විය.

'චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්' ලියූවේ තමන්ට බවත් එය මිත්‍රත්වයේ නාමයෙන් නලින් ප්‍රදීප්ට පුද කළ බවත් නලියාගේ මරණයෙන් පසු ධනංජය 'නොලියා ලියා' තිබුණි. මිත්‍රත්වයේ විද්‍යාව තුළ සහ මිත්‍රත්වයේ දර්ශනවාදය තුළ බොහෝ ගැඹුරු මෙන්ම නො ගැඹුරු තැන්ද තිබ්බ හැකි ය.  ඒවා පිළිබඳ වාද විවාද කිරීම ඕනෑ පදම් කළ හැකි ය.

මගේ කතාව මිත්‍රත්වය ගැන නොවේ චන්ද්‍රාවතී ගැන ය. චන්ද්‍රාවතී යනු ධනංජය කරුණාරත්නගේ විශිෂ්ට නාට්‍ය පෙළක් බවට කිසිදු විවාදයක් නැත. ඒත් එය නිෂ්පාදනය කෙරුවේ නලින් ප්‍රදීප් උඩුවෙල නම් කෙටි නාට්‍යකරුවා ය. එය පරම රමණීය නිෂ්පාදනයකි. විශිෂ්ට මෙන්ම කප්පරක් සම්මාන ලත්  කෙටි නාට්‍ය කෘතියකි. එකී පළමු නිර්මාණයෙහි පිටපත් රචකයා ධනංජයා වුව නිර්මාණකරුවා නලියා ය.

කෙටි නාට්‍ය ඉතිහාසය මෙතෙක් බිහිකළ මහරු නාට්‍යකරුවන්ට අසුන් පනවන දිනකදී, ධනංජය කරුණාරත්න අප මිත්‍රයාට, විශිෂ්ටතම නාට්‍යකරුවාට හිමි අසුන පනවන්නට ඕනෑම කෙනෙකුට පිළිවන.  

 

556601562 2520638885085674 3410505017762359917 n
නමුත්, ඉතිහාසය පුරා නිර්මාණය වුණු විශිෂ්ටතම කෙටි නාට්‍යයන් පිණිස අසුන් පැන වෙන දිනක චන්ද්‍රාවතී වෙනුවෙන් පැනවෙන අසුනේ වාඩි විය යුත්තේ ධනංජයා නොව නලියා ය.

නලියා ඉතා වේදනාබර ලෙස සමුගෙන සිටින බැවින් ඒ අසුන හිස්ව පැවතිය යුතු ය.  

ඒ හිස් අසුන මත නලියාට ආදරය කරන සැමගේ මෙන්ම කලාවට ආදරය කරන සැමගේ සාමූහික මතකය පැලපදියම්ව තිබ්බ යුතු ය.

මට නලියා මතක හිටියේ නොහොත් බොක්කටම වැදුණේ  'සෙවණැලි සහ මිනිස්සු'  හරහා වූවත් 1992 වසරේ ම ධනංජය කරුණාරත්නගේ පළමු කෙටි නාට්‍ය නිශ්පාදනය වූ 'තනියාමය'  මෙන් ම තවත් කෙටි නාට්‍ය කිහිපයක නලින් ප්‍රදීප්ගේ ප්‍රදීපය දැල්වෙමින්  තිබුණි.  

 


හුණුවටයේ කතාව, අන්දරේලා, කැලණි පාලම, බඳු සර්වකාලීන නිර්මාණවල යාව-ජීව පංගුකාරයකු වුණු නලියා, මෑතක රඟපෑ 'සුද්දෙක් ඔබ අමතයි'  බඳු නාට්‍ය මා නරඹා නැතත් 90 දශකය වර්ණවත් කළ අජිත් එස්.කේ. අල්විස්ගේ 'බලු හදවත', ධනංජයගේම 'ජූරිය' ඊ.එම්.ඩී.උපාලිගේ  'එව බලව', තරංග දන්දෙනියගේ 'අසෙනි වලාහක', කල්පී අලහකෝන්ගේ (කමල් පී.) ප්‍රොමිතියස් බඳු දැවැන්ත නිෂ්පාදන සදා මතකය තුළ තිබේ.

එවන් නලියා සමග කතා කිරීම හෝ මිත්‍රත්වයක් නඩත්තු කිරීම නූවුමනා දෙයක් බවට මසිත ඇණැවෙන ලද්දේ බොහෝ විට ඔහුගේ  අමනෝඥ දේශපාලන දේශපාලන තීන්දු තීරණ නිසා වන්නට පිළිවන. 2014 පළාත් සභා මැතිවරණයේ ෆැසිස්ට්වවාදී යුද වීරයෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක අපේක්ෂකයෙකු වූ නලියා පළාත් සභා මන්ත්‍රීවරයකු බවට පත් වූයේය. මන්ත්‍රීවරු බිලිබා ගැන්මෙහි ප්‍රකට රාජපක්ෂ රෙජීමයේ හස්තය "ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පැටව්" වෙත දිගුවන්නට වුවත් නලියා ඊට ගොදුරු නොවුනු චරිතයක් ලෙස ඉතිහාසයට එක්විය.

ඒ අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නලියා මෙසේ කීවේය.

 



"විශේෂයෙන්ම ඔවුන් මට කිව්වේ ලක්ෂ 500ක් දෙන්නම්, ඊට අමතරව පාර්ලිමේන්තු වාහන බලපත්‍රය දෙන්නම්, ඊටත් පස්සේ ඔවුන් කිව්වා ඔබතුමාට උවමනාවක් තියෙනවනම් කැනඩාවේ හරි, ඔස්ට්‍රේලියාවෙ හරි, නෙදර්ලන්තෙ හරි සිය පවුලටම සිරිසන් වීසා එක අරන් දෙන්නම් කියලා. ඊටත් අමතරව හෝමාගම සම සංවිධායකකම දෙන්නම් කියලා. ඒත් මම ඔවුන්ට ප්‍රකාශ කළේ මම සල්ලි උඩ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නෙවෙයි, මට ජීවත් වෙන සල්ලි තිබුණොත් ඇති"

කැත දේශපාලන කඳවුරක සිටියේ වුවත් නලියා කැත වැඩ නොකළ බවට මේ ප්‍රකාශය සාක්ෂියකි. ඔහු තමන්ට හෝ තමන්ගේ පවුලට වරප්‍රසාද අත්පත් කර දුන්නේ නැත. එය ඔහුගේ හෘදය සාක්ෂියයි.  ඔහු සල්ලි උඩ ජීවත් නොවුණු බව සහසුද්දෙන්ම ඇත්තකි. ඒත් කටුකම යථාර්ථය වන්නේ ඔහු කීවා සේ, ඔහුට ජීවත් වීමට වත් සල්ලි නොතිබුණු බව ය. බෙහෙත් පෙත්තක්, එන්නතක් ගැනීමට පවා නො හැකිව ගෙදර ඇත්තන් විඳ ඇති වේදනාව,  මරණයෙන් පසු ආණ්ඩුවෙන් ලද සොච්චමෙන් ද, උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු පන්නයේ අවමඟුල් ඇටැවීම් වලින් ද, හිතමිතුරු කඳුළු, සුසුම් සහ සෙම් සොටුවලින් ද  පියවා ගන්නට නො හැකි බව ඇත්තක් වන්නට පිළිවන. අවම වශයෙන් කලා සංස්කෘතික සමාජය 'ගුරුගීතයේ' දුයිෂෙන් හෝ 'අම්මා' හී පාවෙල් වෙනුවට බලුහදවතේ 'ෂාරික්' පදනම් කර ගනිමින් සංවාදයකට එළිඹ්ය යුතු බව නලියගේ වේදනාබර අකල් මරණය විසින් යෝජනා කෙරෙයි. නලියා නික්මගොස් ඇත්තේ, ස්ටැලින්වාදයේ විසකුරු බව ගැන මෙන් ම මිත්‍රත්වය පිළිබඳ දර්ශනවාදය ගැන සංවාදය මතු කරගන්නට පොටක් පාදා දෙමිනි.

එතෙක්, සෙවණැලි සහ මිනිස්සු අතර සිටියදී "හිතිං මං ගිය දුර ගතිං උඹට යන්ඩ බෑ." යැයි කී නලියාට මෙසේ පවසමි.

"මචං, ගතිං මොන තරං ඈතකට උඹ ගියත්, හිතිං උඹට යන්න බෑ."

(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
http://www.jdslanka.org/

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්