leader s

නීලමනී අම්මා රෑම සින්නතම්බිගේ ගෙදරට කුරගෑවාය.


“අක්කා, මං කියල තියෙනවනෙ රෑ පානෙ කළුවරේ ඇවිදින්න එපා කියලා. හැම තැනම සතා සර්පයා ඉන්නවා. ඔයාගෙ අතේ ෆෝන් එකක් තියෙනවනෙ. ඕනැකමක් තියෙනවා නම් ඇයි කතා නොකරන්නෙ? මං පුතාව එවනවනෙ.” සින්නතම්බි එළියේ හාන්සි පුටුවේ දිගා වී කකුල් දෙකත් උඩ තියාගෙන සුරුට්ටුවක් උරමින් කීවේය. ඔහු නීලමනීගේ බාල සොයුරාය.

සර්පයො! නීලමනි මිමිණුවාය. “කෝ මුණුබුරා? මං ආවෙ එයා හමුවෙන්න.”

සාලයේ බිම එළාගත් ගණන් පොත් වගයක් ඉදිරියේ බිම වැතිරී මුණුබුරා පැන්සල් අග්ගිස්ස විකමින් රූපවාහිනියේ යන වැඩිහිටි නාට්‍යයක් බලමින් හිනා වෙමින් හිටියේය. (ඉතිරි කොටස පහළ)

 

b67i6
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න.

“ඔන්න ලොකු ආච්චි අම්මා එනවා. එයාට කියල ගණන් ටික හදාගන්න,” ලේලි රූපවාහිනියෙන් දෑස ඉවත් කර නොගෙනම කීවාය. නීලමනී පාසල්වල ගණිතය ඉගැන්නුවේ දශක තුනකට එපිටය. ඇය නුහුරු අතින් මුණුබුරාගේ පොතේ ගණන් හදාදෙන්නේ ළමා ප්‍රීතියකිනි.

“ඕව වැරදි වැඩ. ගුරුවරියන්ට වටින්නෙ නැහැ ඔහොම දේ කරන්න.” එවැනි ඇතැම් වෙලාවක මිණිබිරිය  කියයි.

“අක්කා කාලද ඉන්නෙ?” නෑනා ඇසුවාය.

නීලමනී හිස වනමින් හෙමිහිට මුණුබුරා ළඟින් ඇනබා ගත්තාය.

“කුමන්ත්‍රණ.” මිණිබිරිය කීවාය.

“දැන් ටීවී එකේ ගිය ප්‍රවෘත්ති ආයෙ කීයටද යන්නෙ?” නීලමනී මුණුබුරාගෙන් ඇසුවාය.

ඔහු බිත්ති ඔර්ලෝසුව බලා “දහයට. ඇයි ලොකු ආච්චි?” යි ඇසීය.

“මට ඒකෙ පිංතූරයක් ගහල දෙනවද?”

“කාගෙද අක්කෙ?” නෑනා ඇසුවාය.

“කෑගහන්න එපා, පුතාගෙ.”

එහෙත්, කණ් ඇසීම අඩු ඇගේ හඬ උස් නිසා අඩු කරගත යුතු බව ඇයට වැටහුණේ එය කීවාට පසුවය.

“ඒ පාර මොකක්ද?” සින්නතම්බි පුටුවෙන් නැගිට, සුරුට්ටුව විසි කර, මිදුලට කෙළ ගසා, බඩ අතගාමින් සාලයට ආවේය.

 

953648746aa14fb2bb86a51e667c0fdaH3000W3000 320 320
“හදනවා ගණන්, ඔය ෆෝන් එක පැත්තකින් තියලා.” ඔහු මුණුබුරාට තරවටු කළේය.

“ලොකු ආච්චිනෙ දුන්නෙ.”

“පුතා ඉන්නවා, ප්‍රවෘත්තිවල.” නීලමනී බිම ඇණබාගෙනම මල්ලීගේ මුහුණ බලා කීවාය.

“හ්ම්.” සින්නතම්බි කීවේය.

ප්‍රවෘත්ති විකාශය වෙද්දී ආච්චිත් මුණුබුරාත් හමුදාවක ඔත්තුකාරියකත්, වෙඩික්කරුවකුත් සේ කුරුමානම් අල්ලාගෙන සිටියහ. මුණුබුරා සිටියේ දුරකථනයේ කැමරාව මානාගෙනය. මිත්තනිය වෙව්ලන දබරැඟිල්ල මානාගෙන ‘ඔන්න දැන්, තව ටිකකින්, තව චුට්ටයි,” ආදී වශයෙන් කොඳුරමින් උන්නාය. මෙය බලා සිටි මිණිබිරිය අතින් කට වසාගෙන සිනා නොවී සිටින්නට උත්සාහ කර, පසුව පූක් ගා කටින් වාතය පිට කරමින් කුස්සිය දෙසට දිව ගියාය.

පළමු ප්‍රවෘත්තිය ජනාධිපති උතුරේ කළ සංචාරයක් පිළිබඳවය.

“දැන් ගන්න.” මොහොතකින් ආච්චි කෑගෑවාය. මුණුබුරා ගත්තේය.

“පුතා.” ඇය ඡායාරූපයේ අපැහැදිලි රූපයක් පෙන්වමින් කීවාය.

“හ්ම්.” සින්නතම්බි කීවේය. “දැන් ගෙදර යන්න එපා. අද මෙහෙ ඉඳල යන්න.”

“බැහැ. හෙටම යන්න ඕනැ වවුනියා.” නීලමනී විදුලි පන්දම දල්වමින් නැගිට්ටාය.

“ලොකු ආච්චි, ඔය ෆෝන් එකේ ටෝච් එකකුත් තියෙනවා.” මුණුබුරා කීවේය.

“බැටරි බැස්සාම බලමු.” නීලමනී පරිස්සමට, හරස් අතට පඩි බසිමින් කීවාය.

“මේ එන්ජීඕකාරයෝ අක්කට හිත හදාගන්න දෙන්නෙ නැහැ.” සින්නතම්බි කීවේය.

“මගේ හිත හැදෙන්නෙ පුතා දැක්කම තමයි. පුතා ඉන්නවා. මං ටීවී එකෙනුත් දැක්කා.”

විශ්‍රාමික ගුරුවරියක වන, නීලමනී අම්මාගේ එකම පුතා ශාන්තන් අතුරුදහන් වූයේ 1990දීය. ඇය වසර 35ක් පුරා තම පුතා එනතුරු බලා සිටින්නීය. දුක දරාගත නොහැකිව ඇගේ සැමියා 1995දී හෘදයාබාධයකින් මිය ගියේය. පුතා සොයා ගැනීම සඳහා සම්පූර්ණ කාලය කැප කිරීම පිණිස ඇය ගුරු වෘත්තියෙන් ද කල්තබා විශ්‍රාම ලබාගත්තාය.

“මෙන්න, මගේ පුතා!” පසු දින නීලමනී වවුනියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණයේදී ප්‍රනාන්දුට ඇගේ දුරකථනයේ තිබූ ඡායාරූපය පෙන්වමින් විස්තරය කීවාය. ඇගේ වෙවුලන දබරැඟිල්ල යොමු වූයේ එහි ජනපතිවරයාගේ රුවට පසුබිමෙන් පෙනෙන ජනකාය අතරේ සිටි අයෙකුගේ අපැහැදිලි රුවක් වෙතය.

සංවිධානයේ කැඳවුම්කරු සහ රාජ්‍ය නොවන සංවිධාන නායකයකු වූ ප්‍රනාන්දුට ඇත්තටම දුක සිතිණි. “අම්මේ, ශාන්තන් අතුරුදහන් වුණේ කවදද?” ඔහු විමසුවේය.

 b565867i78978789

 

“1990 ජූලි 10 වැනිදා උදේ 6ට. ගම වටලපු හමුදාව මෙගාෆෝන්වලින් කරපු නිවේදනය අනුව අපි හැමෝම ඉස්කෝලෙ පිට්ටනියට ගියා. එතැනදී තමයි මගේ 19 හැවිරිදි පුතා ශාන්තන්ව අත්අඩංගුවට අරගෙන බස් එකකට නග්ගගෙන අරගෙන ගියේ,” නීලමනී සිංහලෙන් කීවාය. ඇයට දැන් එය බොහෝ වර මාධ්‍යවලට කියා හොඳින් හුරුපුරුදුය. දෙමළෙන් මෙන්ම, ඉංග්‍රීසියෙන් ද අවශ්‍ය අයට ඇය සිය කතාව බොහෝ වර කියා ඇත. එය සිදු වී දැන් තිස්පස් වසරකි. අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණය ආරම්භ වී ද දැන් වසර ගණනකි. දින ගණන දවසින් දවස අට්ටාලයේ ඇති පුවරුවක වෙනස් කෙරේ. දැන් එය දහස් ගණනකි. (ඉතිරි කොටස පහළ)

තේරුමක් නැති බව දැන දැනම ප්‍රනාන්දු ඇයට පැහැදිලි කරන්නට උත්සාහ කළේය. “අම්මේ, පුතා නැති වෙලා දැන් අවුරුදු 35කට කිට්ටුයි. එතකොට ශාන්තන්ට අවුරුදු 19යි. මේ වෙද්දි එයාට අවුරුදු 54ක් 55ක් වෙන්න ඕන. ඒ රූපවාහිනියේ ඉන්නේ එහෙම මැදිවියේ කෙනෙක් නෙවෙයි. හරිම තරුණ කෙනෙක්.”

නීලමනී අම්මා ප්‍රනාන්දුගේ දෑස් දෙස කෙළින් බැලුවාය. “මම අම්මා කෙනෙක්. අවුරුදු 35ක් ගියත් මට මගේ පුතාව අඳුරගන්න බැරිද? පුතා ඉන්නවා. මට විශ්වාසයි. මම කොහොම හරි මැරෙන්න කලින් එයාව දකිනවා.”

ප්‍රනාන්දු සුසුමක් හෙළා, ඒ අසල සිටි මාධ්‍යවේදියකු හට අතින් සංඥා කළේය. “අම්මා, ඔය කතාව මේ මාධ්‍යවේදී මහත්තයාට කියන්න. අපි කරන්න පුළුවන් හැම දෙයක්ම බලමු. ජනාධිපති කාර්යාලයට තොරතුරු ඉල්ලුම් පත්‍රයක් හරි දාලා බලමු.”

මාධ්‍යවේදියා නීලමනී අම්මා වෙත ළං වෙද්දී, ප්‍රනාන්දු ඔහුට රහසින් කීවේ “මේ අම්මාගේ මානසික තත්ත්වය එච්චර හොඳ නැහැ, ප්‍රවේශමෙන් කටයුතු කරන්න,” කියාය.

නීලමනී අම්මා මාධ්‍යවේදියාට තම කතාව මුල සිටම කීවාය. පුතා අතුරුදහන් වීමෙන් පසු, ඔහු සෙවීමට ජීවිතයම කැප කළ බවත්, තවමත් පුතා ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන බවත් ඇය පැවසුවාය. 1993දී ශාන්තන් මැගසින් බන්ධනාගාරයේ සිටින බවට ආරංචියක් ලැබුණු ආකාරයත්, පසුදා පුතා හමුවීමට යාමට කටයුතු සූදානම් කර තිබියදී, එදිනම ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වීම නිසා එම අවස්ථාව මඟ හැරුණු ආකාරයත් ඇය විස්තර කළාය.

නීලමනී අම්මාගේ කතාව පුවත්පතක පළ විය. ‘අතුරුදහන් වූ පුතා ජනාධිපති ළඟ. මගේ පුතා මට දෙන්න – අම්මා ජනාධිපතිගෙන් ඉල්ලා සිටියි’ ලිපියේ මාතෘකාව වූයේ එයයි. (ඉතිරි කොටස පහළ)


ඉන්පසු, රූපවාහිනී සහ යූටියුබ්කරුවෝ ද ඇය සොයා පැමිණ ඇගෙන් ප්‍රකාශ ලබාගත්හ. ඒවා විකාශය වූ බව ආරංචි වුව ද ඇය ඒ කිසිවක් දැක්කේ නැත. ඇය බලන්නේ සවස හතට යන ප්‍රවෘත්ති විකාශය පමණි. එය ද පුතු ගැන ආරංචියක් ලබාගැනීම සඳහා කරන ක්‍රියාවකි. අතුරුදහන් වූවන් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විමසන බව ඇය අසා ඇත. පුතා ගැන නිශ්චිත තොරතුරක් රූපවාහිනියෙන් දුටු පළමු අවස්ථාව එය විය.

දිනක් ඇයට කජන් නම් පුද්ගලයෙකුගෙන් ඇමතුමක් ලැබුණි. තමන් හිරෙන් නිදහස්ව ආ අයෙකු බවත්, ඇගේ පුතාව එළියට ගන්නට උදව් කරන්නට පුළුවන් බවත් ඔහු කීවේය.

කජන් ඇය සොයා ආවේය.

“පුතේ, මට ඔයා හරියට මගේ පුතා වගෙයි” නීලමනී අම්මා සෙනෙහසින් කීවාය. කජන් සැලුණේය.

“අම්මේ, මට දැන් අවුරුදු 30යි. මම කොහොමද අවුරුදු 35කට කලින් නැති වුණ ශාන්තන් පුතා වගේ වෙන්නේ?” කජන් ඇසීය.

“අවුරුදු 35ක් ගියාට මට මගේ පුතාගේ මූණ හිතින් මවාගන්නට බැරිද? මට දැනෙනවා ඔයා මගේ පුතා වගේ කියලා.”

කජන් බොහෝ වෙලාවක් කල්පනාවේ නිමග්නව සිටියේය. අනතුරුව දුරකථන ඇමතුමක් ගත්තේය. යමක් මුණු මුණු ගෑවේය. “ඒ වුණාට….” යි ඔහු කීපවරක් කීවේය. ඇමතුම අවසන් කර තව බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියේය.

නීලමනීගේ අබලන් පරණ මහගෙදර ඔහු ඉදිරියේ පරණ කැබිනට්ටුව මත මැළවෙමින් යන අද දැමූ සුදු මල් මාලා පැළඳි කළු සුදු ඡායාරූප දෙකකි. එකක්, මැදි වියේ දුක්බර පෙනුමක් ඇති මිනිසකුගේය. අනෙක, සුදු අහසක් පසුබිමේ මුව පුරා සිනාසෙමින් කොඩියක් අතින් ගෙන සිටින තරුණයකුගේ පහත සිට මෑනූ කැමරාවකින් ගත් ඡායාරූපයකි. ඔහුගේ වයස අවුරුදු විස්සක් පමණ ඇතැයි කජන්ට සිතිණි.

“ශාන්තන්ට කොහොමද?” නීලමනී අම්මා ඇසුවාය.

“ලොකු ප්‍රශ්නයක් නැහැ.” කජන් කීවේ බොහෝ වෙලාවක් කල්පනා කිරීමෙන් පසුය.

නීලමනී දුක්මුසු ලෙස හිනා වුණාය.

“කවදද මට පුතා හමුවෙන්නෙ?”

කජන් නැගිට්ටේය.

“ඇයි යන්නෙ?” නීලමනී ඔහුගේ උරහිසින් අල්ලා වාඩි කරවන්නට තැත් කළාය. “මතකද මං කියන දේ අහන්නෙ නැතුව රැස්වීම්වලට ගිහින් අන්තිමට වුණ දේ. ඒකට කමක් නැහැ. දැන් ඉතින් ඒ ඔක්කොම ඉවරයි.”

 

e5755c8853a3334919b57f28c2ecdc72
කජන්ට ඔහුගේ මව සිහි විය. ඔහුගේ පවුලේ සියලු දෙනා යුද්ධයෙන් මිය ගිය බව ඔහු සිතයි. ඒ සියලු දෙනාම සංවිධානයට හිතවත් අයයි. අයියා කොළඹදී මිය ගිය පසු ඔවුන් මහවිරු පවුලක්ව සිටියහ. යුද්ධයේ අවසානයෙන් පසු ඔහුට ඔවුන් ගැන තොරතුරක් නොලැබිණි. ඔහු හමුදා අත්අඩංගුවට පත්වන්නේ ඊට බොහෝ කලකට පෙර යුද්ධයෙන් තුවාල ලබා සිහි නැතුව සිටියදීය.

ඔහුට විරුද්ධව නඩුවක් පැවරිණි. ඔහු අවුරුදු 15ක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටියේය. අවසානයේදී ඔහු පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී. දැන් ඔහුට අවශ්‍ය කැනඩාවට හෝ යුරෝපයට පැනගන්නටය. සංවිධානයට සම්බන්ධව සිටි පැරණි මිතුරෙකු ඔහුට උපකාර කරයි. එහෙත්, ඔහු මුදල් ටිකක් සොයාගත යුතුය. කරන්නට බොහෝ දේ ඇත. උප්පැන්න සහතිකයේ සිට සියල්ල අලුතෙන් සොයාගත යුතුය. හිටපු සටන්කරුවකුට ඒ කිසිවක් ලෙහෙසි පහසු නැත. හැඳුනුම්පතක් සකසා ගත යුතුය. ගමන් බලපත්‍රයක් ලබාගත යුතුය. දේශපාලන රැකවරණ ගන්නට හෝ මුලින් ඒ රටකට යා යුතුය. වීසා ලබාගන්නට අනුග්‍රහයක් සොයාගත හැකි වුවත්, ගුවන් ටිකට්පත් ගන්නටත්, අනෙකුත් දේටත් මුදල් අවශ්‍යය.

“ඕනෑවට වඩා හිතන්න එපා. එයා ළඟ සල්ලි තියෙනවා. එයාට මහත්තයාගෙත් පැන්ෂන් පඩිය හම්බ වෙනවා,” දුරකථන ඇමතුමේ අනෙක් පැත්තෙන් කියා තිබිණි.

“කවදද ශාන්තන් මට මුණගස්වන්නෙ. මගෙ පුතා මාත් එක්ක තරහ ඇති මං හෙව්වෙ නැහැ කියලා. එයාට කියන්න අපි කීපාරක් අතනින් මෙතනට අවතැන් වුණාද කියලා. එයා තේරුම් ගනියි,” නීලමනී අම්මා කියාගෙන ගියාය.

“හමුවෙන්න ක්‍රමයක් හදාගෙන මං ආපහු එන්නම්.” කජන් නිවසින් එළියට බැස පියවර කීපයක් තබා පොළව බදාගෙන වැතිර සිටි ඇත්අඩි පඳුරක් පාගාගෙන සුදු වැලි මත නැවතුණේය. “අම්මා ගාව සල්ලි තියෙනවද?” ඔහු තල් ගසක මුදුන වෙත නෙත රඳවාගෙන ඇසීය.

ඔහු සල්ලි ගත්තේද ඇගේ මුහුණ නොබලාය. ඔහුට ඕනෑ වුණේ නැවත නොඑන්නටය.

ඇත්තෙන්ම ඇය ළඟ සල්ලි තිබිණි. ඒ සියල්ලත්, ණයට ගත හැකි සියල්ලත්, මල්ලීගෙන් ඉල්ලා ගත හැකි දෙයක් තිබේ නම් එයත් පුතු වෙනුවෙන් වියදම් කරන්නට තියෙන මුදල් යයි ඇයට සිතිණි. ඔහු ආපසු එන විට නිවස පමණක් තිබුණාම ඇතිය. ඔහු කුමන තත්වයේ සිටියත්, ඇය නැතත්, ඇගේ මල්ලීගේ පවුල හෝ ඔහු කිසිදා දැක නැති මුණුබුරා හෝ මාමා රැකබලාගනු ඇත.    

ආපසු නොඑමියි සිතාගෙන ගියත්, කජන් ආපසු පැමිණියේය. නැවත නැවත පැමිණියේය.

ඔහුගේ දුරකථනයට ඇමතූ කජන්ගේ මිතුරා නීලමනී අම්මාට කතා කර ඇගේ බලාපොරොත්තුවේ පහනට තෙල් දැමුවේය. ඇය ඒ වෙනුවෙන් කජන්ට මුදල් දුන්නාය.

වරක් කජන්ගේ දුරකථනයට කතා කරන ඔහුගේ මිතුරා කීවේ ශාන්තන්ට අසනීප නිසා හමුවීම තව දින කීපයක් පමා වෙන බවයි. එදා ශාන්තන් තිස්පස් වසරකට පසු ඇය ඇමතුවාය. ඔහුගේ කටහඬ අපැහැදිලි හා වෙව්ලනසුළු විය. “මට ටිකක් අසනීපයි. ඉක්මනින් සනීප වෙයි. මං අම්මට කතා කරන්නම්. මට ෆෝන් එකක් ගන්න කජන් අතේ සල්ලි එවන්න.”

“මේ ෆෝන් එක මට දැන් වැඩක් නැහැ. මට පුතා හමු වුණානෙ. ඒ නිසා මේ ෆෝන් එක ශාන්තන්ට ගෙනිහින් දෙන්න,” නීලමනි ඇගේ දුරකථනය කජන් අත තබමින් කීවාය.

“එතකොට ශාන්තන් අම්මට කතා කරන්නෙ කොහොමද?”

“ආ, ඒක මොකක්ද? පුතා නිතර මෙහෙ එන්න. ඕනැ නම්, මෙහෙ නතර වෙලා ඉන්න. මගේ පුතා කතා කරනකොට මට ෆෝන් එක දෙන්න,” නීලමනී කීවේ සතුටිනි.

“අම්මාට විශ්වාසද ඒ ශාන්තන්මය කියලා?” කජන් ඇසුවේ කණස්සලු හඬකිනි.

“මම අම්මා කෙනෙක්. අවුරුදු 35ක් ගියත් මට මගේ පුතාගෙ කටහඬ අඳුරගන්න බැරිද? එයා අම්මා කියනවා මට හැමදාමත් මේ ගේ ඇතුළෙ ඇහෙනවා.”

කජන් නිතිපතා එහි ආවේය. පුතා නිදහස් කරගැනීමේ අවසන් අදියර සඳහා විශාල වශයෙන් මුදල් අවශ්‍ය විය. දිය යුතු මිල ගණන් පුතාම කජන්ගේ දුරකථනයට කතා කර කීවේය. කජන් ඒවා රැගෙන ගියේය.

කජන්ගේ වීසා සූදානම් විය. ගුවන් යානයට නඟින්නට පෙර අවසන් දින රාත්‍රියේ කජන් නීලමනී අම්මා හමුවී තමා කළ වංචාව පාපොච්චාරණය කළේය.

“පුතේ, මම ඒක දන්නවා” නීලමනී අම්මා ඔහුගේ හිස අතගෑවාය. “කවදාවත් මට ශාන්තන්ව මුණගැහෙන්නේ නැති බව මගේ හිත දන්නවා. ඒ වුණාට මට ඔයා මුණගැහුණනෙ. ඔයා ශාන්තන් වගේ නෙමෙයි. ඒ වුණත් ශාන්තනුත් ඔහොම තමයි.”

කජන් කම්පාවට පත් විය. ඔහු ඇගේ දෙපා මුල වැඳ වැටුණේය. “මට සමාවෙන්න අම්මා. මං හෙට ලංකාවෙන් යනවා.”

නීලමනී අම්මා පහත් වී ඔහු නැගිටුවමින්, වින්ද දුක් වේදනා හමුවේ කෙස්ස අඩු වෙමින්, තට්ටය පෑදෙමින් තිබුණු ඔහුගේ හිස් මුදුන සිප ගත්තාය. ඇය තම අතේ තිබූ ඇය මෙතෙක් රැකගත් ඇගේ විවාහ මුදුව ගලවා කජන් අත තැබුවාය. “මේ මගේ ඉතිරි වෙලා තියෙන අන්තිම වටිනාම දේ. මේක අරගෙන යන්න.”

කජන් මුදුව දෙස නොව ඇගේ දෙනෙත දෙස එක එල්ලේ බැලුවේය. ඔහුගේ නෙත කඳුළින් පිරී තිබිණි. සංවිධානයට බැඳුණු පසු කවදාවත් හඬා නැති ඔහුට පොඩි දරුවකු සේ හඬන්නට උවමනා විය. ඔහු ඇය වැළඳගෙන ඇගේ උරෙහි හිස තබාගත්තේය.  

ඔහු පිටත්ව ගියේය. පසුදා උදෑසන නිවස තුළින් නීලමනී අම්මාගේ නිසල දේහය හමු විය.

ඇය අතුරුදහන් වූවන් සොයා උද්ඝෝෂණය කරන අතරතුර මිය ගිය 359 වැනි ඥාතියා ලෙස පුවත්පත් වාර්තා කළහ.

(නිමි)

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්