leader s

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලැබු රාජ්‍ය සාහිත්‍ය දේශනය සම්බන්ධව නිරීක්ෂණ කීපයක් ඇතුලත් ලිපි දෙකක් පළ කරනු ලැබුවෙමි.

මේ එහි අවසාන කොටසයි.  මෙම ලිපිය  මගින් මා බලාපොරොත්තු වන්නේ ඔහුගේ දේශනයේ තිබෙන අවධානයට යොමු විය යුතු තවත් කරුණු කීපයක් පිළිබදව සාකච්ජා කිරීමටයි. ඒ ඒ කොටස් සම්බන්ධ සාකච්ජාව තුළ ඔහුගේ අදහස් සාරංශ ගත කිරිමට අදහස් කරන අතර ඒවා පිළිබදව නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

සංස්කෘත සාහිත්‍ය න්‍යායෙහි ආධිපත්‍යය

102665211 107659590979819 6085451677513547776 n
අමරකීර්ති මතු කරන තවත් එක් කාරණයක් වන්නේ සංස්තෘත සාහිත්‍ය න්‍යායන්හි ආභාෂය හා බලපෑම විශාල වශයෙන් මෙරට සිංහල සාහිත්‍ය ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති බව සහ විශේෂයෙන් විශ්ව විද්‍යාල තුළ සාහිත්‍ය න්‍යාය පැත්තෙන් මේ තත්වය වඩාත් බරපළ වූ බවය. අමරකීර්තිගේ දේශනයේ ඉතාමත් වැදගත් ප්‍රශ්න කිරීම ඇත්තේ මේ සම්බන්ධයෙන් බව මගේ අදහසය. මේ කොටසින් ඔහු මතු කරන සමහර ප්‍රශ්න ඉතාමත් නිශ්චිත සහ නව්‍ය ඒවාය. විශේෂයෙන් ‘සිංහල සාහිත්ත්‍යත්වය’ පිළිබදව මිණුම් දණ්ඩ බවට සහ රස නිෂ්පත්තිය පිළිබදව ‘මිණුම් දණ්ඩ’ (criteria) බවට සංස්කෘත සාහිත්‍ය න්‍යායන් පත්වීම වැනි දෑ සංවාදයට ගැනීම ඉතාමත් වැදගත් ය.

සිංහල භාෂාව කෙරෙහි සංස්කෘත භාෂාවේ බලපෑම යනු මෙරට  විද්වත් සාකච්ජාවන් තුළ නිතර දකින්නට තිබෙන වැදගත් මාතෘකාවකි. එහෙත් සිංහල සාහිත්‍ය න්‍යාය සම්බන්ධව ගත් විට සංස්කෘත න්‍යායන් හි බලපෑම පිලිබද ‘බුද්ධිමය විගනනයක්’ අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය.  විශේෂයෙන් මෑත කාලීනව විශ්ව විද්‍යාල සන්දර්භයෙන් බාහිරව මතුවී ඇති නූතන විචාර න්‍යායන් සම්බන්ධ සාකච්ජාවන් දෙස බලන විට සංස්කෘත සාහිත්‍ය න්‍යායන් තුළ පමණක් ‘ස්ථනගත ව’  පවතින සාහිත්‍ය  විචාර ගුරුකුල අධ්‍යයනයන්ගේ සීමාව  පළල් කිරීම හෙවත් විස්තාරණය කිරීම අවශ්‍යම කාරණයකි. විශ්ව විද්‍යාල සිංහල අධ්‍යයන අංශයන් සම්බන්ධව ගත්විට මෙය අවශ්‍යම කාරණයක් බව කිව යුතුය. ඒ නිසාම මේ දේශනයේ මතු කරන මෙම කාරණය ඉතාමත් කාලෝචිතය.  

පළල් අර්ථයෙන් ගත් විට සිංහල භාෂාව සහ සාහිත්‍ය යන විෂයයන් සම්බන්ධයෙන් සංස්කෘත භාෂාවේ බලපෑම ප්‍රශ්නයට ලක් කළ ප්‍රාමාණික උගතුන් සිටි බව ද අප දන්නා කරුණකි. කුමාරතුංග මුනිදාසයන්ගේ භාෂා ජාතිකවාදයේ එක් පදනමක් වූයේම පිරිසිදු ‘හෙළ බසක්’ ගොඩනැංවීමය. ඔහුගේ ව්‍යාපෘතියට මෙරට යටත් විජිත බලපෑමට සහ ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යයට එරෙහිව ගොඩ නැගුනා සේම, සංස්කෘත භාෂාධිපත්‍ය මගින් හෙළ බස කිලිටිවීමට එරෙහිවීමද එක්ව පැවතුනි. සදගෝමි කෝපරහේවාගේ මතය වන්නේ කුමාරතුංගයන්ගේ ‘සංස්කෘත භාෂාධිපත්‍යට එරෙහිවීම’ ඔහුගේ ව්‍යාපෘතියෙහි පසු කාලීන වර්ධනයක් බවයි. (භාෂානුරාගයේ දේශපාලනය - 1999 (92)). ඒ අදහස පිළිබදව විමසා බැලීම වැදගත් ය.  

 

meegaskuburaපී බී මීගස්කුඹුර
එහෙත්  පී බී මීගස්කුඹුර පවසන ආකාරයට කුමාරතුංගයන් ප්‍රධාන ශාස්රීය අභියෝගයන් දෙකකට මුහුණ දුන් ලේඛකයෙක් වූ අතර එයින් එකක් වන්නේ තත්කාලීන උගතුන් සංස්තෘත භාෂාධිපත්‍යයට හසුවී සිටීමට එරෙහිවීමයි (යුග රීතියක් ඇතිකළ කුමාරතුංග රීතිවාදියාණෝ - 1994). විශේෂයෙන් භාෂා ආධිපත්‍යය පිළිබද කතිකාව 19 වන සියවසේ අග භාගයෙන් පසු කාලය තුළ ඉංග්‍රීසි භාෂාධිපත්‍යයට එරෙහිව දේශපාලන අවකාශයේ ප්‍රධාන සටන් පාඨයක් වන තත්වයක් තුළ විද්වත් අවකාශයේ තිබු සංස්කෘත ආධිපතයයට එරෙහිවන සිදුවු මැදිහත්වීම ක්‍රමානුකූලව වියැකි යන බවක් පෙනී යයි.

අමරකීර්ති මේ සම්බන්ධව ඉදිරිපත් කරන අදහස් අතර පාලි සාහිත්‍ය න්‍යයායන් මෙරට ශාස්ත්‍රීය අවකශය තුළ මතු නොවීම සම්බන්ධව ඔහු ඉදිරිපත් කරන කාරණය යම්දුරකට මෙරට සමාජයේ බරපතල ලෙස සාකච්ජා වන්නේ නැත. මෙරට පාලි සාහිත්‍යයේ කාව්‍යමය භාවය නිසි ලෙසින් ඇගැයීමකට ලක් නොවීමේ කාරණය ද මතු කිරීම වැදගත් ය. එයට එක්  හේතුවක් විය හැක්කේ පාලි භාෂාව යනුම මෙරටට ‘ආගමික පාඨ ග්‍රන්ථමය භාෂාවක්’ වීම හේතුවෙන් එම භාෂාවෙන් බිහිවී තිබෙන නිර්මාණයන් හි කාව්‍යත්මකභාවය සම්බන්ධව සිදුවු ශාශ්ත්‍රීය මැදිහත්වීම් සීමා වී ඇති බවය.

අමරකීර්ති සැක පහල කරන්නේ වෙනමම කෝනයකිනි. දීපවංශයේ සහ මහාවංශයේ කාව්‍යමය භාවය යටපත් වී ඇතැයි යන්න සහ එම යටපත්වීමට හේතුව ලෙසින් ඔහු විමසන්නේ එය මෙරට දේශපාලන සංවාද අවකාශයේ ‘වංශ කථා සාහිත්‍යය’ සිංහල අනන්‍යතාව සෙවීමේ පැත්තෙන් බරකල කියවීමක් කළ නිසාද යන්නය. ඔහු මෙසේ අසයි. “පශ්චාත් යටත්විජිත ලංකාවේ ජනවාර්ගික ජාතිකවාදී දේශපාලන පසුබිම නිසා වංස නැමති ශානරය තුළ ඇගැවුනු කාව්‍යමය ශාස්ත්‍රය අපගේ අවධානයෙන් ගිලිහී ගියේද?” (පිටුව 28). දීපවංශය සහ මහාවංශයේ තිබෙන කාව්‍යමය වැදගත්කම ගැන ශාස්ත්‍රීය උනන්දුවක් ඇති නොවුනානම් එයට හේතුව වන්නේ  ‘ජනවාර්ගික ජාතිකවාදී  දේශපාලන පසුබිම’ ද ? යනුවෙන් ඇසීමෙන් පෙනී යන්නේ වංශ කථා සාහිත්‍යයේ මුඛ්‍ය අභිප්‍රාය පිළිබදව තේරුම් ගැනීමේ ගැටලුවකි.

මෙරට ඉතිහාසයට සම්බන්ධ සුවිශේෂ තත්වයක් වන්නේ දීපවංශය සහ මහාවංශය යන කෘතීන් හරහා ඉදිරිපත් වන ඉතිහාසකරණමය යාන්ත්‍රණයයි. එහි ඒකමානීයත්වයක් හා සිංහල කේන්ද්රියත්වයක් තිබෙන බව සැබෑය. එහෙත් එම ව්‍යාපෘතිය තුළ නියෝජනය වන්නේ ඉතිහාසමය අවශ්‍යතාවක්ය. එහු ව්‍යතිරේඛයක් ලෙසින් වංශ කථා තුළ තිබෙන කාව්‍ය ලක්ෂණ විමසිය හැකි බව සැබෑවක් ය. එහෙත් ඉතිහාස මූලාශ්‍රයක් සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙසින් ප්‍රතිවරනගණය වන්නේ ඉතිහාස කථිකාවේ එය දරණ භූමිකාවට අමතරව බව පිළිගැනීම අවශ්‍යය.



නුතත ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබද විවේචනය

අමරකීර්තිගේ දේශනයේ මීලග කොටස් කීපයම වැය වෙන්නේ නූතන ප්‍රබන්ධ සාහිත්‍ය අධ්‍යයනය සම්බන්ධ සාකච්ජාවටය. එහිදී ‘නූතන ප්‍රබන්ධ සාහිත්‍ය අධ්‍යනය’ ‘ජාතිකවාදී ප්‍රබන්ධ කථාව’ ‘කවිය සම්බන්ධ නූතනවාදී පර්යේක්ෂණකාමය’, ‘පශ්චාත් යථාර්තවාදී ප්‍රබන්ධ කථාව’ යන ක්ෂ්‍රෙත්‍ර පිළිබදව දීර්ඝ සාකච්ජාවක් ගොඩ නගා ඇත. මෙම දේශනයේ මුඛ්‍ය තේමාව වන්නේම ‘සිංහල භාෂා - සාහිත්‍යය ආශ්‍රිත බුද්ධිමය ඉතිහාසයේ ප්‍රධාන අවස්ථා සහ විභවතා - වන හෙයින්  එම පරිච්ජේදයන් පිළිබද විෂයානුබද්ධ විමර්ෂනයක් සිංහල භාෂා හා සාහිත්‍ය විෂය සම්බන්ධ ප්‍රවීනයන් විසින් කළ යුත්තකි. ඒ පිළිබදව අදහස් දැක්වීමට මා යන්නේ නැත. එහෙත් මේ විෂය සම්බන්ධ උනන්දුවක් ඇති විෂයයෙන් පිටස්තර අයකු වශයෙන් මා දකින එක් වැදගත් කාරණයක් සටහන් කිරීමට අවශ්‍යය.

01 536x720අමරකීර්ති ස්වකීය දේශනයේ පෙන්නුම් කරන එක් ආස්ථනයක් වන්නේ ‘විචාරශීලී විමර්ෂකයෙකු’ ලෙසින් මෙරට සිංහල සාහිත්‍ය කථා විශ්වය තුළ සිදුවු වර්ධනයන් සහ කඩා වැටීම් නිරීක්ෂණය කරන සේයාවක් වුවත්, ඒ තුළ විටින් විට මතුව එන ‘අවිචාරශිලී මමායනයක්’ පෙන්නුම් කරන බව මගේ අදහසය. (ඔහුගේම ‘අටවක පුත්තු’ නව කථාවේ එන අඩහදයා චරිතයේ තිබෙන ‘දෙවැන්නා’ එළියට එනවා වැනි තත්වයක් මේ දේශනයේ සමහර තැන්වල පෙන්නුම් කරන බවයි).  තවත් පැහැදිලි කළහොත් අමරකීර්ති ගේ මාතෘකාව යම් ආකාරයක විවෘත සහ පළල් එකක් නිසාම එයට ‘ජාතිකවාදය, පශ්චාත් යටත්විජිත සංවාදය, ප්‍රාචීනවාදය, ප්‍රබන්ධ සාහිත්‍ය, සෞන්ද්ර්යවේදයේ න්‍යායික කලාප’ වැනි ක්ෂ්‍රෙත්‍ර ගනනාවක්ම අයත් කර ගත හැකි බව සැබෑවක් ය.

එහෙත් ඒ තුළ සිංහල භාෂාව හා  සාහිත්‍ය සම්බන්ධයෙන් කථා කරන සමහර අවස්ථාවල ඔහු හැසිරෙන්නේ ‘මට පෙර මේ කලාපයේ සිටි හැමෝම වැරදිකාරයෝය, පටු කියවීම් ඇත්තෝය’ වැනි හැගීමක් ජනිත කරවමින් ය. ඒ හැගීම විටෙක ඝෘජුවමත් තවත් විටෙක වක්‍රවත් ඉදිරිපත් වෙයි. විශේෂයෙන්ම සාහිත්‍ය හා භාෂා ක්ෂ්‍රෙතයේ තමන්ට පෙර සිටි සමහර දැවැන්තයින් ‘ප්‍රශංසා මුඛයෙන් මතුකර පෙන්නවන ආකාරයෙන් ආරම්භ කරමින් අවච්ජා මුඛයෙන් ඉවත් කිරීම’ ඒ හරහා සිදුවෙන බව මගේ නිරීක්ෂණයයි. ඇතුලත්වීමවාදී කියවීමක්  (inclusive reading) සේ පෙනෙන පරිදි මතුකර ගනිමින් බැහැර්කිරීම්වාදී (exclusive reading) ක්‍යවීමකට ගමන් කිරීම ඒ මගින් පෙනී යයි.  සමහර නිදර්ෂන කීපයකින්ම මේ තත්වය පෙන්වා දිය හැකිය.

 

Rajakarunaආරිය රාජකරුණා
මෙරට නූතන සිංහල ප්‍රබන්ධ සාහිත්‍ය අධ්‍යයනයන් පිළිබදව අමරකීර්තිගේ අදහස් දැක්වීම තුළ ඔහු තම විෂයේ ප්‍රවීනයෙක් හා (මගේ මතකය නිවැරිදි නම්) තමන්ට පෙර කලෙක සිංහල විෂය මහාචාර්ය දෙරු ආරිය රාජකරුණා සම්බන්ධයෙන් සිදුකරන මේ සාකච්ජාව බලන්න.  නූතන ප්‍රබන්ධ කථාව පිහිටවීම සහ නූතන ශාශ්ත්‍රාලීය විචාර කතිකාවක් පිහිටවීමට සරත්චන්ද්රයන් වෙතින් සිදුවූ සේවය අගය කරන අමරකීර්ති සරත්චන්ද්ර්යන්ට සාපේක්ෂකව මහාචාර්ය ආරිය රාජකරුණාගේ මැදිහත්වීම දක්වන්නේ ‘පිළිගන්නවා වගේ පෙන්වමින් පසුපසට තල්ලු කරන ආකාරයෙන්’ ය. අමරකීර්ති මෙසේ කියයි. “ඉතා සුවච කීකරු ලෙස සරත්චන්ද්රගේ අදහස් පුනරුච්චාරණය කරන මහාචාර්ය ආරිය රාජකරුණා 1970 වර්ෂයේදී සාහිත්‍ය රිචිය සහ නව කථා විචාරය ලියනවිට ප්‍රබන්ධ න්‍යායට අයත් බොහෝ සංකල්ප ලෝක සාහිත්‍ය අධ්‍යයන ක්ෂ්ත්‍රය තුළ ඉදිරිපත් වී තිබුනි. ….. සරත්චන්ද්රගෙන් පසු සිංහල නවකථාව ගැන නිරන්තර අධ්‍යයන කළ රාජකරුණාගේ ඊලග කෘතිවලවත් ඒ න්‍යායික කතිකාවල එලිය නොලැබිනි”. (පිටුව 42, අවධාරණය මගේ).

එසේම තවදුරටත් මහාචාර්ය ආරිය රාජකරුණා පිළිබදව මෙසේ කියයි. “ ඔහුගේ අධ්‍යයන නිසා සිංහල ප්‍රබන්ධ කතාව ගැන බොහෝ ඓතිහාසික කරුණු ලේඛනගත වූ බව ගෞරවයෙන් සදහන් කළ යුතුය. එහෙත් ඔහු ලේඛනාගාරය හා මූලාශ්‍ර ගබඩාවේ ‘කරුණුමය ශක්තිය’ මිස න්‍යායික විශ්ලේෂන ශක්තිය පෙන්වන පර්යේක්ෂකයෙක් නොවීය” (පිටුව 42 - අවධාරණය මගේ). අමරකීර්ති තවදුරත් එහි කියන්නේ සිංහල සාහිත්‍ය අධ්‍යයන ක්ෂ්‍රෙත්‍රයේ ආරිය රාජකරුණා වැනි අයගේ තිබු  “මේ න්‍යායික පසුගාමීත්වය සහ දුගීභාවය අදටත් අඩු වැඩි වශයෙන් පවතින” බවයි.

ආරිය රාජකරුණා සම්බන්ධව මේ නිරීක්ෂනය නිවැරිද යන්න සොයා බැලීම ඒ විෂයේ ප්‍රාමාණිකයන්ට භාර කරමි. එහෙත් ආරිය රාජකරුණා විසින් මෙරට 19 වන් සියවසේ සහ 20 සියවසේ මුල් භාගයේ සිංහල භාෂා හා සාහිත්‍ය වර්ධනයන් සම්බන්ධව සිදු කළ එකතුකිරීම් සහ ජපන් සාහිත්‍ය සම්බන්ධව සිදුකළ ශාස්ත්‍රීය මැදිහත්වීම් පිළිබදව සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට අමරකීර්ති ගේ මේ විවේචනය පෙනෙන්නේ මා මුළින් කී ආකාරයෙන් ‘ප්‍රසංශාවෙන් එතූ අවජ්ජාව’ මතු කිරීමයි.

මේ කාරණයටම තවත් නිදර්ශනයක් මහාචාර්ය සරත්චන්ද්ර වික්‍රමසූරිය සම්බන්ධයෙන් අමරකීර්ති ගෙනෙන විවේචනයේද  ඇත. මහාචාර්ය සරත්චන්ද්ර වික්‍රමසූරිය යනු ඉංග්‍රීසි අංශයේ ඉගැන්වීම කරන අතර සිංහල නව කථාව සම්බන්ධයෙන් කෘති රචනා කළ සහ 19 හා 20 සියවස්වල මෙරට සාහිත්‍ය වර්ධනයන් පිළිබදව ඉතාමත් සාරගර්භ බුද්ධිමය සම්ප්‍රධානයක් සිදු කළ විද්වතෙකි. මවිසින් මෙම ලිපි මාලාවේ දෙවෙනි කොටසේ සදහන් කළාක් මෙන් විශේෂයෙන් ජෙම්ස් ද අල්විස් පිළිබදව ඔහු ලියා ඇති පත්‍රිකාව ඉතාමත් ඉහල ගනයේ පර්යේක්ෂන එකක් බව මගේ අදහසය. ඒ කෙසේ වෙතත් මෙතැන සරත්චන්ද්ර වික්‍රමසූරිය පිළිබදව අමරකීර්ති විමසන්නේ මා මුළින් කියූ ආකාරයෙන් ම ‘ප්‍රශංසාවෙන් එතූ අවජ්ජව’ හරහා ය.  

b456u6අමරකීර්ති මෙසේ කියයි. සරත්චන්ද්ර වික්‍රමසූරිය ලියු “නවකතා විවරණය (1963) කෘතිය එවකට ඉංග්‍රීසි භාෂාවෙන් පළව තිබු න්‍යායික කෘතිවල එන අදහස් සිංහල පාඨකයාට හදුන්වා දෙමින් සිංහල නව කථාව විශ්ලේෂනයට ගත් තැතකි. ඔහු එය කෙතරම් හොදින් කරනවාද යත්, 1961 වර්ෂයේදී පළවී ඒ වසරේම පේරාදෙණිය විශ්ව විද්‍යාල පුස්තකාලයට අත් පත් කර ගනුණු කෘතියක් වන කැතරින් ලෙවර් ගේ The Novel and the Reader කෘතිය ඉතා සමීපව ඇසුරු කරයි. ලෙවර් ගේ වැකි එලෙසින්ම සිංහලට නගන ඔහු එහිලා මූලාශ්‍ර දක්වන්නේ නැත. අද නම් පහසුවෙන් ලේඛන චෞර්යට හසුවන මේ කරුණ……  (පිටුව 43 - කලු අකුරින් අවධාරනය මගේ).

මේ විමර්ෂනය තුළ අමරකීර්ති උත්සාහ ගන්නේ සරත්චන්ද්ර වික්‍රමසූරියගේ කෘතියෙන් සමාජයට සිදු වූ බලපෑම විශාල බවත් එම බලපෑමේ ගෞරවය ලෙවර් ට යායුතු බවත් ය. ඔහු තවත් තැනක කියන්නේ සරත්චන්ද්ර වික්‍රමසූරියගේ “ඒ ලේඛන චෞර්ය පිළිබද කාරණය පසෙකින් තැබුවත්” වැනි යෙදීම ය. සරත්චන්දර වික්‍රමසූරියගේ කෘතිය පිළිබද පලල් විමර්ෂනයක් මගින් අමරකීර්ති මතු කරන තර්කයේ සත්‍ය අසත්‍යභ්හවය විමසීම ඉතාමත් වැදගත් කාර්යකි.

Martin Wickremesinghe 860x580

අමරකීර්ති එතනින් නවතින්නෙ නැත. ඔහු ඊලගට කියන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ද මේ වගේම ඊ එම් ෆෝස්ටර්ගේ Aspects of the Novel (1927) කෘතිය භාවිතා කර ඇති බවයි. ඔහු මෙසේ කියයි. “වික්‍රමසූරිය විසින් කැතරින් ලෙවර්ගේ කෘතිය භාවිතා කෙරෙන ස්වරූපයෙන්ම වික්‍රමසිංහ කෘති කීපයකදීම ෆෝස්ටර් ගේ කෘතිය” (පිටුව 48) භාවිතා කර ඇති බවයි. මෙහිදී සදහන් කළ යුතු කාරණයක් වන්නේ වික්‍රමසිංහයන් පිළිබදව අමරකීර්තිගේ මූළික විග්‍රහය නිෂේධනාත්මක එකක් නොවන බවය.

එහෙත් මේ ආකාරයේ ‘ප්‍රශංසාවෙන් එතු අවජ්ජාව’ පැත්තෙන් බලන විට විකමසිංහයන් ද වැටෙන්නේ ‘ලේඛන චෞරත්වයේ’ කෝදුවටමය. ඊලගට අමරකීර්තිගේ විවේචක අක්ෂය ගමන් කරන්නේ තවත් සිංහල මහාචාරවරයෙක් වූ ඒ වී සුරවීර වෙතය. සුරවීරගේ නවකථා නිර්මාණය හා අවබෝධය (1971) කෘතිය සම්බන්ධයෙන් අමරකීර්තිගේ ස්ථාවරය වන්නේ “න්‍යායික අවබෝධය අතිනුත්, ලේඛකයෙකු ලෙස ඔහු පල කොට ඇති කුසලතාත් අනුව පෙනෙන්නේ විකල්ප - යථාර්තවාදී ප්‍රවනතා පිළිගන්නා සුලු සාහිත්‍ය විග්‍රහයක් ඔහු තුළ නොවු බවයි” (පිටුව 51).

මා මෙයින් කියන්නේ මෙතෙක් සිටි ශාස්ත්‍රවන්තයින් පිළිබදව වත්මන් විෂය මහාචාරයවරයෙකුට විවේචනයක් නොතිබිය යුතු බවක් නොවේ. නමුත් ක්ෂ්‍රේත්‍රයේ සිටි බොහෝ  දැවැන්තයන් පිලිබදව සිදුකරන මේ ‘ප්‍රශංසාවෙන් එතූ අව්ජ්ජාවේ’ විචාරය මගින් පෙනෙන්නේ තමන් ගේ වපරිය තුළ වෙනෙකෙක් නැත යන මානසිකත්වය බව මගේ අදහසය.

පශ්චාත් යටත්විජිත අවකාශයක භාෂාව, සංස්කෘතිය සහ අන්‍යයතාව  

Cover2 2
මේ දේශනයේ සමාලෝචනය තුළ මූළික වශයෙන් මතු කරන කාරණා කීපයක් තිබේ. ඒවා ඉතාමත් පළල් සංවාදයක් සදහා අවකාශය විවර කරන ඒවා බව ප්‍රකාශ කළ යුතුය. ඒවා අතරින් සමහර කරුණු පිළිබදව ලෝකයේ බොහෝ රටවල තිබෙන ශාස්ත්‍රීය සංවාදය මෙරට තුළ මතු නොවීමේ ගැටලුවක් තිබෙන බව සැබෑවක් ය.

අමරකීර්ති සිය දේශනය පුරාවට පෙන්නුම් කරන එක් ආස්ථනයක් වන්නේ මෙරට පශ්චාත් යටත් විජිත සමාජ අවකාශය තුළ අනන්‍යතාව හා දේශීය අව්‍යාජත්වය සොයා යන ඒකමානීය ජාතිකත්වයක් නිර්මානය වී ඇති බවත් අධිපති කතිකාව තුළ සිංහල භාෂාව, සාහිත්‍ය හා සංස්කෘතික සම්බන්ධ මැදිහත්වීම් නියෝජනය කරන්නේ එම ඒකමානීය ජාතිකත්වය (One diamentional)’ බවත් ය. මේ නිර්වචනය මගේ එකක් මිස ඔහුගේ එකක් නොවේ.

නමුත් මේ දේශනය පුරා දිවෙන චින්තනමය හුය වන්නේ එවැනි එකක්‍ ය. ‘අව්‍යාජ සංස්කෘතියක තිබේ යන විශ්වාසය, ජාතිකමය සාරයක් තිබේ යන විශ්වාසය වැනි දේවල්  මත අධිපති සංස්කෘතියේ ගතිකත්වයක් හෙවත් මූලකෘත එළඹුමක් (Primodial approach) මෙරට පශ්චාත් යටත්විජිත අවකාශය අවුල් කර ඇති බව මේ තර්කයේ පදනමයි. අමරකීර්ති සිංහල භාෂාව සහ සාහිත්‍ය මත තබා විභාග කරන්නේ තවත් සමහර උගතුන් ඉතිහාසය, දේශපාලනය, සංස්කෘතික අධ්‍යයනයන් වැනි විෂයය්න් තුළ තබා පැහැදිලි කරන්නට උත්සාහ කරන මේ තර්කයයි.

මා මේ ලිපි මාලාවේ මුළින් ප්‍රකාශ කළාක් මෙන් මගේ අදහස වන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති වැනි අයවලුන් කරන්නේ මෙරට අනෙකුත් සියලු ප්‍රපංචයන් පිළිබදව විචාර න්‍යායෙන් (critical theory) බලන ගමන් මෙරට යටත් විජිත පාලනයට එරෙහි 18,19,හා 20 සියවස් වල මෙරට මතුවූ ව්‍යාපාරයන් දෙස යථානුභූත්වාදීව (positivistic approach)  බලන බවයි. මෙරට නූතනවාදී ඉතිහාසකරණයේ තිබෙන මේ තත්වය භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ කතිකාව තුළ ද ඒ ආකාරයෙන්ම මතු කිරීම මෙම දේශනය පුරා ඇදී ඇති චින්තනමය පදනම බව මගේ අදහ්සය.

18,19,20 යන සියවස්වල යටත්විජිත අවකාශයේ බල දේශපාලන කථිකාවක් ලෙසින් සිංහල ජාතික අනන්‍යතාව, සිංහල භාෂා ජාතිකානුරාගය, බෞද්ධ ශාසනය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රයන් හි පැවති ‘විරෝධයේ හා ප්‍රතිසංස්කරණ’ දේශපාලනය එම අවකාශයෙන් ඉවතට ගෙන විභාග කිරීම හරහා මතු වන්නේ හුදු සමාජයට පිටින් තිබෙන විචාරයක් මිස සමාජය සමගින් ගමන් කරන ඇතුලත්වීම්වාදී එකක් නොවේ.

මහාචාර්ය ලියන්ගේ අමරකීර්තිගේ මෙම දේශනය තුළ ‘නොගත යුතුව තිබු මං සහ ගත් මං’ පිළිබදව සිදුකරන ඉදිරිපත් කිරීම තේරුම් ගත යුත්තේ ඉහත සදහන් යටත්විජිත විරෝධී දේශපාලනය පිළිබදව අප සිදුකරන ‘කියවා ගැනීමට’ සාපේක්ෂකව වන අතර ඔහු සදහන් කරන සමහර ‘ගත යුතුව තිබු මං’ යනු යටත් විජිත දේශපාලනයෙන් ගැලවීමේ මං අවහිර වන ඒවා මිස විවර වෙන ඒවා නොවන බව අවසාන වශයෙන් යෝජනා කිරීමට කැමැත්තෙමි.

(සටහන | මහාචාර්ය චරිත හේරත්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(උපුටා ගැනීම - අනිද්දා පුවත්පතින්..)

සබැඳි ලිපි :

ප්‍රාචීනවාදයද? යටත්විජිත විරෝධයද? - අමරකීර්ති ට චරිතගේ පිලිතුරේ දෙවෙනි කොටස

අමරකීර්ති ට අභියෝගයක් ; සාහිත්‍ය දේශනයේ ‘ගතයුතු’ දේ සහ ‘නොගත යුතු’ දේ ! | චරිත හේරත්

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්