පසුගිය සතිඅග අරුණ පුවත්පතේ මෙ වර පොත් ප්‍රදර්ශනයේ එළිදුටු, අළෙවි කළ සිංහල පොත්වල කවර මුල් කරගෙන කතාබහක් අරඹා තිබිණි.

ඒ සඳහා නිමිත්ත වී තිබුණේ දැන් දැන් ප්‍රකාශයට පත් වන සිංහල පොත්වල පොත් කවරයේ පොතේ නම, නැති නම් කතුවරයා ගේ නම ඉංග්‍රීසියෙන් යොදා තිබීම ය. ඉන්දික සංජීව විතාන වීසින් '"මේ පාර ආව ගොඩක් පොත් මදය සිංහල, පොත්ත ඉංගිරිසි"' මැයෙන් සම්පාදනය කරනු ලැබ තිබූ ඒ විශේෂාංගයෙහි මහාචාර්ය සඳගෝමි කොප්පරහේවා සහ පුෂ්පානන්ද ඒකනායක දක්වා තිබූ අදහස් ආස්වාදනීය ය.
මේ මහාචාර්ය සදගෝමි ගේ අදහස් ය:
"පොතකට වුණත් තියෙන්න ඕනේ ප්‍රමිතියක්. අක්ෂර වින්‍යාසයට වෙනම ම තියෙන්න ඕනේ. මගේ කිසිම පොතක මුල් පිටුව එහෙම නැහැ. කොහොම නමුත් පොතක ප්‍රකාශන ප්‍රමිතිය අපි ආරක්ෂා කරන්න ඕනෙ."
මහාචාර්ය ජේ. බී දිසානායක ගේ විකාරරූපි අකටයුතු
මහාචාර්ය ජේ. බී දිසානායක
ඉතා ම වැදගත් අදහස් ය. එහෙත් මේ ඊයේ පෙරේදා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය සැසියේ දී හඳුන්වාදීම් කෙරුණේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පමණක් වූ නිසා ඊට විරෝධය පා, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ඇතුළු පිරිසක් පිට ව ගිය බව අසන්නට ලැබිණි. කිරීමට නියමිත දේශනයට කරන හඳුන්වාදීම - නිවේදනය, පොතක නම් කවරය බඳු ය. මහාචාර්ය සඳගෝමි ගේ විශ්වවිද්‍යාලයේ ද පීඨයේ ද පොත්ත ඉංග්‍රීසියෙන් ය. අඩු ම තරමින් සිංහලයෙන් නො වේ ය. එදා එහි මහාචාර්ය සඳගෝමී වී දැ යි නො දනිමි.
ඒ වගේ ම මහාචාර්ය සඳගෝමි පොත් ඉංග්‍රීසි වීම ඉක්මවා ගොස් මදයේ ප්‍රමිතිය ගැන කරුණු දැක්වීම ගැන අප එ තුමාට කෘතඥ විය යුතු ය. එ තුමා විශේෂයෙන් ම පද බෙදීම ගැන කියා තිබිණි. දැන් පදයක් වුවත් තනි අකුරක් නම් වෙන් කිරීමේ අවශ්‍යතාවක් නැතැ යි කියමින්, තමන් ගේ පොත්වල එ සේ කරමින් සිංහල පද බෙදීම අවුල් ජාලයක් කර ඇත්තේ ද මහාචාර්ය සඳගෝමි තමා ගේ ද ආචාර්යවරු ය යි හරසර දක්වන මහාචාර්යවරුන් නොවේ ද? මහාචාර්ය ජේ. බී දිසානායක මේ විකාරරූපි අකටයුතු සිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවනට ලියන පත-පොතට සීමා නො කර කුඩා දරුවන් හට ද ඒ ආකාරයෙන් පත-පොත සම්පාදනය මොන තරම් අපරාධයක් ද?
අපරාධයක වින්දිතයන් වන අපි

ඇත්ත වශයෙන් ම අද සිංහල භාෂා භාවිතය ප්‍රමිතියක් නැති, නීතියක්-රීතියක් නැති විකාරයක් බවට පත් ව ඇත්තේ, තේරෙනවා නම් කොහොම ලියුවත් මොක දැ යි සමාජයට අනුශාසනා කළ මේ මහාචාර්යවරුන් නිසා ය. එක්දාස් නවසිය හැටේ දශකයේ දී එවකට අධ්‍යාපන ඇමැතී වූ ඊරියගොල්ල මැතිතුමා සමග එක් ව භාෂාප්‍රේමීන් සිංහලයට සම්මතයක් සැකසීමට දැරූ ප්‍රයත්නය කඩාකප්පල් කළෝ ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු ම ය. අද අපි සැම ඒ අපරාධයේ වින්දිතයෝ ය.
සිංහල පොතේ සිංහල නම ඉංග්‍රීසියෙන් යෙදීම ඉක්මවා, තමන් ගේ සිංහල පොත් සඳහා ඉංග්‍රීසියෙන් ම නම් තබන මොහාන් රාජ් මඩවල ගෙන් ඒ ගැන විමසූ විට, කියා තිබුණේ ''සිංහල භාෂාවට ඉංග්‍රීසි භාෂාව කොයිතරම් කවලම් වෙලා තියෙනවාද කියලා ජේ. බී. දිසානායක සර්ගෙන් අහලා බලන්න." කියා ය. කතාව ඇත්ත ය. ඇසිය යුත්තේ මේ පරිහානියට වගකිව යුතු "ජේ. බී. සර්ලා" ගෙන් ම තමා ය.
පුෂ්පානන්ද ඒකනායක ද කවරය ඉංග්‍රීසි වීමට එරෙහි ව අදහස් දක්වා තිබුණේ මෙසේ ය:
'ෆොන්ට් මාස්ටර්' සහ 'ක්ලීන් ශ්‍රී ලංකා'
"අපි පොතක් ලිවුවා ම ඒක අපේ භාෂාවෙන් අපේ අකුරුවලින් මුද්‍රණය කරන්නේ අපේ අයට කියවන්න. එතකොට දැන් අලුත් පොත් බහුලව නිර්මාණය වෙනවා අන්තර්ගතය සිංහලෙන් - සිංහල අකුරෙන් තිබ්බට පීටකවරය ඉංග්‍රීසි අකුරු දාලා. මොකක්ද මේකෙ පරමාර්ථය. මේක කිසිසේත් අර්ථවත් හෝ නිර්මාණාත්මක වැඩක් නෙමෙයි.
"ඉතින් මට හිතෙන්නෙ දැන් ලියන සමහර කතුවරුන්ගෙයි, පිටකවර කරන ශිල්පීන්ගෙයි තියෙන මේ හීනමානයක් අනුවයි මේ වැඩේ වෙන්නෙ."
මේ පුෂ්පානන්ද ගේ අවංක අදහස් බවට සැකයක් නැත. ඔහු පරිගණක භාවිතය සමඟ සිංහල අක්ෂර යාවත්කාලීන කිරීමට ලබාදී ඇති දායකත්වයට අපේ නොමඳ පැසසුම හිමි වේ. ඒ වගේ ම දැනට ද නිර්මාණය කරනු ලැබ ඇති අවුල්-වියවුල් සිංහල භාෂාව ප්‍රයෝජනවත් ලෙස භාවිතයට යෙදවීමට කෙතරම් බාධකයක් ද යන්න ගැන ද ඔහුට මනා අවබෝධයක් ඇත. මීට දශක කීපයකට පෙර, පරිගණක භාවිත කරන්නන් වෙනුවෙන් විද්‍යුත් සිංහල පද කෝෂයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, සිංහල භාෂා භාවිතයෙහි ප්‍රමිතියක් නොමැති වීමේ, නීතියක්-රීතියක් නොමැති වීමේ බරින් ඔහු මිරිකුණු බව මතක ය.
ඒත් පුෂ්පානන්ද ඔබ දකින හීනමානයෙන් පෙළිම පොත් කවර සම්බන්ධයෙන් පමණක් ද? හුරුබුහුටි පරිගණක සිංහල අක්ෂර අපට දායාද කළ ඔබේ ආයතනයේ නම 'ෆොන්ට් මාස්ටර්' වූයේ ඇයි? ඔබේ අදහස් පාඨකයා වෙත ගෙනගිය අරුණ පත්තරයේ ප්‍රකාශක 'ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්' වී ඇත්තේ ඇයි? මේ ආණ්ඩුවේ - සිංහල ග්‍රාමීය උගත් තරුණයන් නායකත්වය දෙන මේ ආණ්ඩුවේ - පළමු ප්‍රධාන ව්‍යාපෘතිය 'ක්ලීන් ශ්‍රී ලංකා'' වූයේ ඇයි?
සිංහල අකුරෙන් ලියැවී ඇති සිංහල නොවන හැඟීම්
අපි අප දෙපට හැරෙමු. අපේ උත්සවයක පැමිණීමේ ලේඛනයක බහුතරයක් තමන් ගේ නම, ලිපිනය ලියන්නේ සිංහලයෙන් ද? ඉංග්‍රීසියෙන් ද? අපි බහුතරයක් අස්සන් කරන්නේ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? අප උදේට එකිනෙකාට සුබ පතාගන්නේ කෙසේ ද? ආදරය! ඔව්, අප ආදරය කරන්නේ සිංහලයෙන් ද? අපේ වාමාංශික ව්‍යාපාරයේ බොහෝ නායකයන් ගේ සේ ම ජාතික ව්‍යාපාරයේ බොහෝ නායකයන් ගේ ද ආදරය සුදු කාන්තාවන්ට හිමි වීම හුදු අහඹුවක් ද? අමරසේකර ගේ 'ප්‍රේමයේ සත්‍ය කතාව' යළි කියවමු ද? '
අරුණ' සාකච්ඡාවට ගෙන තිබුණේ මදය සිංහල වූ පොත්වල කවරයේ නම් ඉංග්‍රීසියෙන් යොදා තිබීම ය. ඇත්තට ම මදය සිංහල ද? හරි, හරි, මදය සිංහල අකුරෙන් තමයි. ඒත් ඒත්, සිංහල අකුරෙන් ලියැවී ඇත්තේ සිංහල හැඟීම් ද?
ප්‍රශ්නය මදය සිංහල වී පොත්ත ඉංග්‍රීසි වීම ද? නැතිනම් තත්ත්වය ඊට දරුණු ද? සිංහල අපේ මදයේ සිංහලකම තාම රැකී තිබේ ද? නැති නම් සිංහලයන් අද වන විට හදවතෙන් ම කුණු වූ ජාතියක් බවට පත් වී අවසන් ද?
(සටහන | ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය /
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී







