තුෂාරි මානවඩු කිවිඳියගේ නොහොත් ඉපැරිණි මිත්‍රවරියගේ අභිනව කවිපොත ‘සිහින ඇහිඳිමු ගැන ලියන්නට මැදියම් රැයෙහි ඉස්මත්තේ හිස් පිටුව දිගහැර සිටිද්දීම වට්සැප් පණිවිඩයක නාදයකින් ඊට බාධාවක් ඇති විය. පණිවිඩය ද ඉපැරණි මිත්‍රවරයකුගෙනි.
ඔහු එවන පණිවිඩ හැම නිතරම ඉතා වැදගත් කලා සාහිත්‍ය තොරතුරු උපුටන ඈ වූ කරුණු වලින් සුපෝෂිත වන්නේ වෙයි. ෆ්‍රන්ස නවකතාකාර මාසෙල් පූස්ට්ගේ ‘අල්බෙයාතීන් දිස්පර්යු’ නවකතාවේ පළමු පරිච්ඡේදයෙන් ගත් උපුටා ගැනීමක් ලෙස සලකුණු කරමින් සහ එකී උපුටනය සැකෙවින් විග්‍රහ කර තිබූ, මෙකී පණිවිඩ ය මුළුමනින්ම උපුටන්නේ නම් මෙබඳු ය.
"පිරිමින්ගේ ජීවිතවල ගැහැනියකගේ වටිනාකම තීරණය වන්නේ, ඇය සතුට ගෙන දෙන දෙයක් වෙනුවට, ශෝකයේ මෙවලමක් වීමෙනි. කිසිම ගැහැනියකව හිමි කර ගැනීම, ඇය අපට දුකක් ගෙනදීමෙන් හෙළි කරන සත්‍යයන් හිමි කරගැනීමට වඩා වටින්නේ නැත."
පූස්ට්ගේ මේ උපුටා ගැනීමෙන් කියවෙන්නේ ශෝකය තුළින් ලැබෙන වටිනාකම ගැහැණියකගේ පැවැත්ම සමග සම්බන්ධ වන ආකාරයයි. සතුටට වඩා ශෝකය වටින්නේ ඇයි? පුරුෂයාට අනුව, ගැහැණියකගෙන් ලැබෙන ශෝකය, සතුටට වඩා වටින්නේ එය ජීවිතයේ ගැඹුරු සත්‍යයන් අවබෝධ කර ගැනීමට උපකාරී වන නිසාය. ගැහැණියක නිසා ඇතිවන ශෝකය තුළින්, මිනිසාට ජීවිතයේ රහස්, සත්‍යයන් සහ ගැඹුරු හැඟීම් පිළිබඳව අවබෝධයක් ලැබෙන බව මෙහිදී කියවෙනවා.
සමස්තයක් ලෙස ගත් කල, පූස්ට් පවසන්නේ ගැහැණියක, සතුටට වඩා ශෝකයේ මාර්ගයෙන් ජීවිතයට වටිනාකමක් ගෙන දිය හැකි බවයි. එමගින් ජීවිතයේ ගැඹුරු සත්‍යයන් අවබෝධ කර ගැනීමට හැකි වන බව ඔහුගේ අදහසයි.
(උපුටනය අවසන්)

මා ඉදිරියෙහි වන මෙම ‘සිහින ඇහිඳිමු’ නම් කෘතිය පාදක කරගනිමින් මෙකී පූස්ට් උපුටනය එහි විලෝමයවැ ප්‍රතිරචනා කළහොත් එය මෙම කෘතියට අදාලව මෙසේ කියවා ගත නොහැක්කේ මන්ද?
"ගැහැනුන්ගේ ජීවිතවල පිරිමියකුගේ වටිනාකම තීරණය වන්නේ, ඔහු සතුට ගෙන දෙන දෙයක් වෙනුවට, ශෝකයේ මෙවලමක් වීමෙනි. කිසිම පිරිමියකව හිමි කර ගැනීම, ඔහු අපට දුකක් ගෙනදීමෙන් හෙළි කරන සත්‍යයන් හිමි කරගැනීමට වඩා වටින්නේ නැත."
පූස්ට් මැවූ ‘අතුරුදන් අල්බෙයාතීන්’ පදනමේ තබාගෙන ඉදින් මම තුෂාරි මානවඩු කිවිඳියගේ සිහින ඇහිඳිල්ලෙහි වන දෘෂ්ටිවාදී ආස්ථානය කවරාකාරදැයි විමසන්නට අවසර පතමි. ‘සිහින ඇහිඳිමු’ කෘතිය අභිනව වුව, මගේ පරම්පරාවේ මගේ සමකාලීන කිවිඳයක වන තුෂාරි මානවඩු තිස් වසරකට පමණ පෙරාතුව අපට සම්මුක වූයේ දේශපාලන විභවයක් සහිත කලා-සංස්කෘතික පරිශ්‍රයන් තුළ ය. අපට අභිමුඛ වන්නට පෙර සිටිම ඇය සාහිත්‍යයික් රචනා උත්පාද කළ බවත්, මොනිකා රුවන් පතිරණ බඳු විශ්මිත් කිවිඳියක් සේම අපේ පරම්පරාවේ පුරෝගාමී කිවිඳියක වූ විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි ඇසුරේ ඔවුන්ගෙන් කාව්‍යමයත්වය පිළිබඳ ගුරුහරුකම් ලැබූ බව කෘතියේ ‘සිහින සැමරුම’ නම් පූර්විකා සටහනේ අවධාරණය කරයි. නමුත් කිවිදයක ලෙස ඇය මෙම සමකාලීන මොහොතට අභිමුඛ වන්නේ මේ දැන් ය. ඇය දන්නා නමුත් ඇය පිළිබඳ ඉතිහාසය නො දන්නා අලුත් පරම්පරාවල සාහිත්‍ය සමාජයට තුෂාරි මානවඩු යනු පොත් ප්‍රකාශනයෙහි පෙලහර පානා, නූතනවාදී සංවාද අතර කැපී පෙනෙන එ මෙන්ම කලා-සාහිත්‍යයික වපසරියේ සුපෝෂිතයකුගේ ‘මැතිණිය’ යි.
‘’නිමෙන්නට
මොහොතකට පෙර වුවද
දිවි පහන
ආදරේ තෙල් දියෙන්
පිරිමදින්නේ කවුද?’’
මෙබඳු රිඳුම් දෙන හැඟුම් ‘සිහින’ තුළ ඇත ද, කාලය විසින් ඇගේ කාව්‍යමයත්වය සූරා කන ලද්දෙන්දෝ සමස්ථයක් වශයෙන් ගත් කල කෘතිය සැලකිය යුතු කාව්‍යමය රිදුම්දීමක් ජනිත කරන්නට සමත්වන්නේ නැත. ඉදින් සෞන්දර්ය ප්‍රීතිය ජනිත කරන්නට ඇගේ කවි සමත් වන්නේ නැත. කොටින් ම උපුටා පෙන්වන්නට තරම් රූපක ශක්තියකින් හෙබි උපුටන ඇහිඳගත් සිහින තුළ නැත. එසේ වන්නේ වන නමුදු පවා ඇගේ කෘතිය මිත්‍ර පර්ශද් අතර රඳවන්නේ සසළවනසුළු ආතතියකි. ඉදින් එබැවින් මෙකී කෘතිය මඟහැරි යා නොහැකි මැදිහත්වීමක් පතයි.

කෙසේ වතුදු කෘතියෙහි ප්‍රේරණය බඳු ඇගේ අවිඥානයේ මුද්‍රාව නොහොත් ඇගේ ආත්මීයත්වය රඳන එකම එක බරපතළ කාව්‍යමය උපුටනයක් තිබේ. මට නම් කෘතියේ කාව්‍යමත්වය රඳා පවතින එකම තැන එතැන ය. ඇය සොයා පහදාගෙන යා යුතු ගමන පවතින නිර්මාණ ධාරිතාව පවතින්නේ එතැන ය. කොන්දේසි විරහිතව ප්‍රේම කළ අවදියෙහි දෑත් පටලවාගෙන සිටීම මත රන් හුයෙකින් දෑත් පැටලීම අතිපිහිතවුණු පසු ජීවිතය කවරාකාර වේද? මේ බලන්න!
බුර බුරා වෙඩි තබන
මහා යුද පිටියක් ය’’
මෙය පිටු 130ක් පුරා මනරම්ව මුද්‍රිත කාතියකි.. ඉන් පිටු 105ක කවි 89කි. සමාජ සංසිද්ධීන් හා ඒකාබද්ධ වන්නට ඇය ඇතැම් කවියක පෙරබිමට පැමිණිය ද, නොස්ට්‍රැල්ජියානු අතීත නිමේෂ හා ඒකාත්මික වන්නට ඇතැම් තැනක ධ්‍යානගතවූව ද, අති බහුතරයක් ලිවීම් තුළ ඇවිලෙන්නේ අහිමිවුණු ප්‍රේමය හා ජීවිතය පිළිබඳ තවමත් අඛන්ඩව පවතින අවිනිශ්චිත මනස ය. එය, ව්‍යාකූල දෙගෙඩියාවකි. තමන්ගේ ජීවිත ස්ථාවරය පිළිබඳ අඩමානයකි. කෘතියෙහි ප්‍රවිශ්ඨ කවියම මෙකී සමස්ථය හකුළා පෙන්වන කැටපතිකි. විශාල කාලෙකට පසු අත පත් වූ කවි සපුව ඇය සිපගන්නේ මෙයාකරව ය.
‘’දරා ගනු බැරි හදට
තනි මකා ඔබ ආවෙ
කුණු, දැලි, මකුළුදැල්
ගසා යළි සිප ගනිමි’’
තුෂාරි මානවඩු කිවිඳියට ස්වකීය ‘කම්බැක්භාවය’ විශද කළ හැක්කේ ද, සලකුණු කළ හැක්කේ ද, නූතනත්වය සහ කාව්‍යමයත්වය සොයා පහදා ගැනීම තුළින් ම පමණකි. කිසියම් කිවිඳියක් තමන් කවි ලියා ඇත්තේ උයන ගමන්ද, පිහන ගමන් ද, රෙදි හෝදන ගමන්ද, දරුවන් නළවන අතරේද නො එසේ නම් සම්භෝග සම්පත්තිය අතරේ ද යන්න වැදගත් සාධකයක් ලෙස බාර ගත හැක්කේ ලියූ කවිය ප්‍රබල කවියක් වී නම් පමණකි. තුෂාරි මානවඩු මිත්‍රවරියගේ ‘සිහින ඇහිඳිමු’ පුනරාගමනය මිත්‍රයකු ලෙස උත්කර්ෂවත් සංසිද්ධියක් වන්නේ, බරපතළ කවියක් සොයා ගත යුතු මඟකට අවතීර්ණ වනු පිණිස ඇය ප්‍රකට කරන ධෛර්යය නිසා මිස, එහි බරපතළ කවි ඇති නිසා නොවේ. එවන් ව්‍යාජ වර්ණනා ඔස්සේ ඇය සනසන්නට වෑයම් කිරීම ඇගේ ඉදිරි ගමනට සිදුකරන මිත්‍රද්‍රෝහී වීමකි.
ලෙස්ලී බැක්ස්ටර් සහ බාර්බරා මොන්ට්ගෝමෙරි 1988 දී එළිදැක්වූ ‘සම්බන්ධී අපෝහකය’ යනු අඹු-සැමි බඳු අතිශය සමීප පුද්ගලයන් අතර වන අන්තර්පුද්ගල සන්නිවේදනයේ ආතතීන්, අඬදබර, මුරණ්ඩු-ප්‍රතිවිරෝධී පරස්පර ප්‍රතිචාර හෝ අන්තර් ප්‍රතිචාර දැක්වීමට ඇති නැමියාව පිළිබඳ විග්‍රහ කෙරන සිද්ධාන්තයකි. මෙහිදි දෙදෙනා සිදුකරන්නේ ‘ජීවිතය යනු විවෘත ආත්මභාෂණයක් වන අතර, ප්‍රතිවිරුද්ධ අපේක්ෂාවන් වෙනුවෙන් සහ අන්තර් සන්නිවේදනයේ ඇතිවන අවශ්‍යතා නිසා, දෙදෙනකු අතර යම් යම් ඝට්ටනයන් අත්දකින්නට ලැබේ’ ය යන මිහයිල් බඛ්තීන්ගේ අපෝහකය පිළිබඳ සිද්ධාන්තය විස්තාරණය කිරීමකි. මා සිතන්නේ තුෂාරි මානවඩු කිවිඳිය ‘සිහින ඇහිදිමු’ යැයි කරන යෝජනාව කියවා ගන්නට මෙකී සෛන්ධාන්තික ප්‍රවේශය අතිශය වැදගත් විය හැකි බවයි.
අපෝහකය පිළිබඳ මුලික ම ඉගැන්වීම්වලදී දැක්වෙන මූලිකම තර්කනය කුටුම්භය තුළ කියවා ගතහොත් කුට්ම්භයේ ප්‍රතිරෝධය පවතින්නේ බාහරින් නොව එය තුළ ම ය. ප්‍රේමය පිළිබඳ සාධනීය ව්‍යුහයක් ලෙස කුටුම්භය ගතහොත් නිශේධනීය පදනම පවතින්නේ ඒ තුළ ම ය. එබැවින් එය කිකලෙකවත් පරිපූර්ණත්වය අත්පත් කරගන්නේ නැති අතර එය විනාශය කරා මෙහෙවනු ලැබෙයි. ආදරයේ ප්‍රකාශනයක් ලෙස විවාහය සහ ඉක්බිති ගොඩනැඟෙන කුටුම්භය ගතහොත් අපෝහකය තුළ එය විනාශය කරා යා යුතු අතර දෙදෙනෙකු අතර වන සම්බන්දය වෙනත් මුහුණුවරකින් ජනිත විය යුතු ය. නමුත් එසේ වන බවක් සාධනය කර පෙන්වන්නට පුළුවන්කමක් නැත.
ඇගේ කෘතියේ මූලාරම්භයේ කාව්‍යමය හික්මීමකින් රඳවා ඇති ‘පිදුම’ යළි මෙසේ මගේ ලියැවිල්ලේ අතුරමි.
‘’දුර ආකාසයේ රන් තාරකා වන්
රෑ ගගනතේ සඳ පෑයුවා වන්
විඳි වේදනා හද සිනහ අතුරන්
දුක බෙදා ගන්නා දිවිය මනරම්
මා නෙළූ මේ සිහින ඇහිඳන්
දිගු ජීවිතේ මගේ සරා සඳ වන්
ඔබට මිස වෙන කාට පුද දෙන්’’
තුෂාරි මානවඩු කිවිඳය මෙසේ යළි ‘කුටුම්භයේ අපෝහකය’ වෙත අප කඳවන්නී ය. ‘දුක බෙදා ගන්නා දිවිය මනරම්’ යැයි උත්කර්ෂවත්වැ කියමින් ඇය මෙසේ පිදුමෙන් පුද දෙන්නේ සිය වල්ලභයා ය. එසේ නම් ඇය සොයා යන ජීවිතය කුමක්ද? ඇයට පස් විසි වසරක් පුරා අත් හැරුණා යැයි පැවසෙන ජීවිතය කවරක් ද? ‘’මම මාව සොයා ගත යුතු යැ’ යි කියමින් ඇය පරසක්වල ගසන ජීවන සංසිද්ධිය කුමක්ද? එය කුටුම්භය විය හැකි ද? ඇය ජීවිතය යැයි සොයන්නේ ඇය නොදන්නා දෙයකි. ඇය හඹා යන්නේ ද, ඇහිඳගන්නේ ද ඇයට පවා ප්‍රත්‍යක්ෂ නැති සිහිනයන් ය.
එය ඇත්තකි. මා සිදුකරන ලද්දේ ද එය ම ය.
මෙම සටහන ලියන නන්දන වීරසිංහ කිවිසුරු ‘තුන් පෙති හතර පස්පෙති’ කෘතියෙහි බහා තැබූ මෙම සුප්‍රකට කවිය මා තුෂාරි මානවඩු සමකාලීන මිත්‍ර කිවිදිය වෙත යළි අබිමුඛ කරමි.
‘’රාත්‍රිය ඉඩහරී
සෑම නිවසකම
ඇතුළු එළියට’’
(සටහන | මංජුල වෙඩිවර්ධන)Journalist/Writer
http://www.jdslanka.org/
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි)







