leader s

නවකතාකරුවකු, චිත්‍ර ශිල්පියකු වගේ ම චිත්‍ර ගුරුවරයකු ද වන චන්දිමාල් ජයකොඩි ගේ තුන්වන නවකතාව වන ''අක්වැහි'' කෘතිය පසු ගිය 29වන දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරුණා.


එම අවස්ථාවේ කෘතිය පිළිබඳ මුඛ්‍ය දේශනය කළේ ලේඛකයකු මෙන් ම විචාරකයකු ද වන ජයසිරි අලවත්ත.

පහත පළ වන්නේ එම දේශනය ඇසුරෙන් සකස් කළ ලිපියක්.

න ජච්චා වසලෝ හෝති
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රාහ්මණෝ

මේ ගාථාව අන්තර්ගත වෙන්නෙ බුද්ධ නිකායේ සූත්ත නිපාතයේ වසල සූත්‍රයේ. මේ සූත්‍රයේ මේ ගාථාව විතරක් නෙවෙයි ගාථා 142ක් තියෙනවා. මේ 136වන ගාථාව. මම මේ ඝාථාව උපුටා ගත්තු තැන කිව්වෙ සමහර අය මෙය උපුටා දක්වන්නෙ ධම්මපදයේ තියෙන ගාථාවක් විදියට. ඒක වැරැදියි.

මොකක් ද මේ ගාථාවෙන් කියවෙන්නෙ?

 

buddha872342
උප්පත්තියෙන් කිසිවකු වසලයෙක් වෙන්නෙ නැහැ. උප්පත්තියෙන් කිසිවකු බමුණෙක් වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ කරන ක්‍රියාව යහපත් නම් බමුණෙක්. කරන ක්‍රියාව අයහපත් නම් වසලයෙක්. මෙතන දි බුදුන් වහන්සේ වසලයා යනුවෙන් භාවිත කරන්නෙ පහත් යැයි සම්මත ක්‍රියාවල නිරත වෙන කෙනා හඳුන්වන්න. බ්‍රාහ්මණයා යනුවෙන් භාවිත කරන්නෙ යහපත් යැයි සම්මත ක්‍රියාවල නිරත වන පුද්ගලයා හඳුන්වන්න. ඒ හැර මෙතන කිසිම ආකාරයකින් මිනිස්සු බෙදල වෙන් කරල තියෙන කුල පිළිබඳ කතාවක් නැහැ. නමුත් කුලය පිළිබඳ කරන කතාබහක දි අපි බොහෝ දෙනෙක් උධෘතයක් විදියට ගන්නෙ මේ ගාථාව.

කුල සාධකයේ පිළිබිඹුව

මම මෙතන දි මේ ගාථාව භාවිත කරන්නෙ චන්දිමාල් ජයකොඩි ලේඛකයා ගෙ අක්වැහි කෘතියේ ප්‍රධාන ම කතිකාව වෙන කුල භේදය නිසා. මම එහෙම කියන්නෙ කතුවරයාගේ දෘෂ්ටිය ඒක කියන විශ්වාසයේ ඉඳගෙන. හැබැයි ඔහු මේ කෘතිය තුළින් ඉස්මතු කරන්නෙ කුල භේදය පමණක් ම නෙවෙයි. මේ කෘතියේ කුල භේද කතිකාව අභිභවන දේශපාලන කතිකාවක් පවතිනවා. ඒ සමග ම බලය පිළිබඳ කතිකාවක් ද මතු කරනවා. ඒ අතර ම බුද්ධ පුත්‍රයින්ගේ ඒ කියන්නේ සංඝ පරපුරේ ධනාත්මක සහ ඍණාත්මක ක්‍රියාපටිපාටිත් අන්තර්ගත වෙනවා. මෙන්න මෙතනදි තමයි කුල සාධකය වඩාත් ඉස්මතු වෙන්නේ.

495005364 9743479609101161 4075015630405212709 nචන්දිමාල් ජයකොඩි

බුදුන් වහන්සේ වසල සූත්‍රයේ මොන විදියට දේශනා කරල තිබුණත්, කසළ ශෝධකයකු වුණ සුනීතට උන්වහන්සේ මොන විදියට සැලකුවත්, චණ්ඩාල කුලයට අයිතියි කියන සෝපාකට මොන විදියට සැලකුවත්, බුදුන් ගේ  පරිනිර්වාණයෙන් මෙපිටට බිහිවුණ බුද්ධ පුත්‍රයො අඩු කුලේ කියල සම්මත අයට එහෙම සැලකුවෙ නැහැ. කතුවරයා ඒ වාක්‍ය ඒ විදියට නොලියා වෙනත් ආකාරයෙන් ලියනවා. ඒ මෙන්න මේ විදියට.

 ''කිරාගේ පස්සෙන් යන පුංචි පුන්නියා දුටු හාමුදුරුවෝ ටික කාලෙකට පුන්නියාව පන්සලේ නවතාගත්තේ බෙහෙත් පිළියෙල කරන්නට උදව්වට ය. කිරා එයට මුළුමනින් ම තම කැමැත්ත ලබා දුන්නේ වෙද හාමුදුරුවන්ගෙන් සියලු වෙදකම පුන්නියාට ලබා දීමේ පරම අධිටනිනි. වසරකට ආසන්න කාලයක් පුන්නියා පන්සලේ සිටිය ද කැලෑ කොළ කඩනවා, කොටනවා විනා අකුරු සාස්තරේ හෝ වෙද සාස්තරය පිළිබඳ අල්ප මාත්‍රයක් ලබා නොදුන් අතර ලැගුම් ගේ තුළටවත් වද්දා නොගන්නට තරම් හාමුදුරුවෝ දැඩි ලෙස මානුෂික වී තිබුණි''

පිටු 17, 18

''පුන්නියා පන්සලේ නැවතීම පිළිබඳ තම පියාගේ වෙද සිහිනය මෙන් ම මවගේ පැවිදි සිහිනයක් ද තිබූයේ කවුරු කොහොම කුලමල මත තම ගම්වැසියන් හෙළා දැක්ක දබුද්ධ පුත්‍රයකු වන පරමා කන්දේ වෙද හාමුදුරුවෝ සියලු දෙනාට සම සිතින් මෙත් කරුණා බෙදන උතුමෙක් ලෙස සිතුවිල්ලක් තිබූ හෙයිනි.''

පිටුව 18

''බිම වැටී සිටි පුන්නියා තම දේහධාරී සිරුර කෙළින් කොට කිසිවකු දෙස නොබලා හාමුදුරුවන් අසලට ගොස් උන්නාන්සේගේ දෙපා මුල වැටෙන විට හාමුදුරුවෝ වැල්ලාගල ගල දෙස බලාගත්වනම බලා සිටියා විනා ආශිල්වාද මුඛය විවර නොවිණි''

පිටුව 49

අක්වැහි

අඩු කුලේ කියල සම්මත අයට පහත් ලෙස සැලකුවා විතරක් නෙවෙයි, අපි දන්නවා බුද්ධ ශාසනය පවා කුල භේදය අනුව විවිධ බෙදීම්වලට ලක් වුණා. බුදුන්ගේ පරිනිරිවාණයෙන් පස්සෙ මේ වෙද්දි ලෝකය මොන තරම් දියුණු වෙලා තියෙනව ද...? හැබැයි ඒ දියුණුව පවතින්නෙ භෞතික පාර්ශ්වයෙන් විතරයි නෙ... අධ්‍යාත්මික පාර්ශ්වයෙන් අපි එහෙම දියුණු වෙලා නැහැ; විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල් එහෙම දියුණු වෙලා නැහැ. එහෙම දියුණු වෙලා නම් අදටත් පුද්ගලයෙක් මහණ කරද්දි ඒ පුද්ගලයගෙ කුලයට ප්‍රමුඛත්වයක් දෙන්න වුවමනා නැහැ. අපි දන්නවා අදටත් ලංකාවේ මහා විහාරවල පවා නායක තෙරණුවන්ගෙන් පස්සෙ පන්සල බාර දෙන්න පැවිදි කරවා ගන්නෙ ඒ කුලයේ ම ගිහියෙක්. ඒ ගිහියා බොහෝ විට නායක තෙරණුවන්ගේ ඥාතියෙක්. එහෙම නොවුණා නම් ඒ බොහොම කලා තුරකින්.

පොතෙන් නොකියවෙන කතාව

දැන් ඔයාල හිතනව ඇති අක්වැහි පොත ගැන කතා කරන්න ආපු මම මොනව ද මේ කතා කරන්නෙ කියල. මේ පොත නොකියවපු අය එහෙම හිතන එක සාධාරණයි. නමුත් කියවපු අය එහෙම හිතන එකක් නැහැ කියල මම විශ්වාස කරනවා. මොකද මම ආවෙ පොතේ කතාව කියන්න නෙවෙයි. පොතෙන් නොකියවෙන කතාව කියන්න. මොකද අපි කියවා ගන්න ඔ්නෙත් ඒ කතාව නිසා. ඊළඟට මම අර කියාපු දේශපාලන කතිකාවට ම අයිති තවත් කොටසක් කතුවරයා මේ පොතේ මතු කරනවා. ඒ තමයි දේශ ප්‍රේමය කියන කොටස. කතුවරයා ඉතාම සූක්ෂම විදියට සැබෑ දේශ ප්‍රේමියා කියන්නෙ කවුද සහ ඊනියා දේශ ප්‍රේමියා කියන්නෙ කවුද කියල මේ කෘතිය තුළ මතු කරනවා. ඒ වගේ ම ඒ සැබෑ ම දේශ ප්‍රේමියාගේ අවසන් ඉරණම මොකක් ද කියලත් කතා කරනවා.

ඒ... මෙන්න මේ විදියට

''හ්ම්... අන්තිමට ඌත් නෑ උඹත් නෑ. ඕකුන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙවෙයි. මේකේ අයිතිකාරයෝ ඕකුන් කියා කියවගන්ට ඕනකම විතරයි''

පිටුව 71

akwehi1
බලය රැක ගැනීම වෙනුවෙන් වසල ක්‍රියා

ඊළඟට කතුවරයා මතු කරණ තවත් විශේෂ කතිකාවක් තමයි බලය. බලයට පත් පුද්ගලයා සාම්ප්‍රදායිකත්වය කියන මල පුඩුවට අහුවෙලා බලය ලබාගන්න සහ ලබාගත් බලය රැක ගන්න කරන තුච්ඡ වැඩ ගැන කතුවරයා කතා කරනවා.

අපි දන්නවා ධාතුසේන රජතුමා, ඒ කියන්නෙ කාෂ්‍යප ගෙ තාත්තා... ඔහුට පවා කාෂ්‍යප ගෙ අම්මව අත්හරින්න සිද්ධ වෙන්නෙ බලය රැක ගන්න වුවමනා නිසා; බලයේ රැඳී සිටින්න වුවමනා නිසා ඔහුට ඒ රාජකීය නොවන බිරිඳ අත්හරින්න වෙනවා; අත්හැරලා රාජකීය යැයි සම්මත කාන්තාවක් විවාහ කරගන්න වෙනවා. එතනදි වුනත් ඒ අමානුෂික තිරණය ගන්න කියල බල කරන්නෙ කවුද...? ධාතුසේන රජතුමාට ඒ බලපෑම කරන්නෙ මහා වංස කතුවර මහානාම හාමුදුරුවෝ. මේ සත්‍ය යථාර්ථය ඉතා හොඳින් ම සාකච්ඡා කරපු රූපවාහිනී නිර්මාණයක් තියෙනවා. ඒ තමයි ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ''සී රජ'' රූපවාහිනී නිර්මාණය. පුළුවන් නම් ඒ නිර්මාණය නරඹන්න.

 



මේ කතාවෙ, පරංගි හමුදාවෙන් එහෙමත් නැතිනම් ආක්‍රමණික පෘතුගීසි හමුදාවෙන් රට බේර ගන්න කැප වුණ, රාජ්‍යත්වයට පත්වුණ පුද්ගලයාට පවා සටන් ශිල්පය ලබා දුන්න සහ ඔහුගේ සහායක සටන් ශිල්පියාට එරෙහිව කටයුතු කරන්න රජුට සිදු වෙනවා.

කතුවරයා ඒ සිද්ධිය සටහන් කරන්නේ මේ ආකාරයට.

''හෘද සාක්ෂියට අනුව රජුට ඒම තීරණයට ඒමට නොහැක. තම ආරක්ෂාවට පරංගි බලකොටුවට පලා යාමට පෙර සිට ම තමා අසල සිට මල්ලව හටන් පිළිබඳව තමාට ද පුහුණු කළ මේ හටන් කරුවන් දෙදෙනා මුල සිට ම සළ කී දේ රජුගේ සිහියට නැගේ.ඒහෙත් අනෙක් පසින් රාජ තාන්ත්‍රික ගෞරවය හා තම පැවැත්ම පිළිබඳ තීරණයකට ළඟා විය යුතු ය.''

පිටු 130, 131

රජතුමාගේ තිරණය කතුවරයා සටහන් කරන්නෙ මේ විදියට.

''හොඳා... මේ වංචනිකයින් දෙදෙනා අපේ කුල ගෞරවයට මහා නින්දාවක් අපහාසයක් කළා වගේ ම මේ රටට මහා ලොකු සේවයක් කළා. මං පුද්ගලිකවත් එම ක්‍රියාවන් ගැන දන්නවා. සභාවේ සියලු මතවලට ගරු කරමින් මම අණ කරනවා පුන්නියා සහ දෙබල් ගුරුන්නාන්සේ යන දෙදෙනාට කිසිදු රාජ්‍ය ගෞරවයක් නොමැතිව වහාම පිටව යන ලෙසත්, නැවත කිසිදු දිනක මෙවන් අපහාසාත්මක ක්‍රියාවන්වලට අසුවුවහොත් මරණ දණ්ඩනය නියම කරන බවටත්''

පිටුව 131

raja

රජතුමා ඇයි මෙහෙම තීරණයක් ගන්නෙ...? ඒ කුලය නමැති සාධකය පදනම් කරගෙන. මේ බලපෑම එන්නෙ කුලීන කියල සම්මත වුණ පාර්ශ්වයෙන්. යම් ආකරයකින් රජු ඒ පියවර නොගත්තා නම් බොහෝ විට රජුට එරෙහිව පවා කුමන්ත්‍රණ සිදු වෙන්න ඉඩ තිබුණා. එතනදි බලවත් වෙන්නෙ රජු නෙවෙයි. එක්කො රාජකීය නීතිය විදියට පවතින නීතිය; එහෙමත් නැතිනම් නිලධාරි පෙළැන්තිය.

මතක නෙ පසුගිය කාලෙ අපේ රටේ යුද සෙන්පතියට අත්වුණ ඉරණම...?

අද පවා මේ තත්ත්වය වලංගුයි. සමහර පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මේ අදහසට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි යථාර්ථය.

වීරයින් බවට පත් නොවූ කුලහීනයින්

අතීතයේ සහ වර්තමානයේ පවතින සමානකම් නිසියාකාරයෙන් ම අවබෝධ කරගන්න නම්, අක්වැහි ඉතා මධ්‍යස්ථව කියවන්න ඔ්න. කතුවරයා මේ ලියන්නෙ 16වන සියවසේ අග බාගයේ කතාවක්. ඒ කියන්නෙ අපේ රට පර දේශක්කාර පාර්ශ්ව දෙකකට මැදිහත් වෙලා තිබුණ යුගයක්. කතුවරයා ඒ යුගයේ ලංකාවේ පාලක පෙළැන්තියේ හැසිරීම් රටාව පවා මතු කරනවා. ඒ සඳහා ඔහු ලොකු වෙහෙසක් දරන්නෙ නැහැ. නමුත් ඇතැම් ඡේදයකින් ලොකු කතාවක් කියන අවස්ථා තියෙනවා.

 

nilame with kasthana prasanna weerakkody
මගේ අදහස නම් කතුවරයා මේ ඉදිරිපත් කරන්නෙ ‌ඓතිහාසික කතාවක සංක්ෂිප්තයක්. මම දන්නෙ නැහැ ඒකට හේතුව මොකක් ද කියල. කොහොම වුනත් මේ කතාව මීට වඩා විස්තීර්ණව ප්‍රබන්ධ කරන්න පුළුවන් කතාවක්. නමුත් කතුවරයා ගේ අභිප්‍රාය වෙලා තියෙන්නෙ මොකක්ද කියන කාරණය සලකද්දි මට දැනෙන්නෙ පීඩිත කුලයේ යැයි සම්මත ප්‍රජාව රට ජාතිය ආගම වෙනුවෙන් සිය ජීවිත පූජා කරත්, ඒ අය කවදාවත් විරයො වෙන්නෙ නැහැ කියන එක; ඒ අයට විරයො වෙන්න උසස් යැයි සම්මත කළ පරම්පරාව ඉඩ තබන්නෙ නැහැ කියන එක.

ඒ විතරක් නෙවෙයි...

ඒ පීඩිත කුලය වෙනුවෙන් පෙනී හිටපු බුද්ධ පුත්‍රයින් පවා ඝාතනය කරන්නට තරම් කුලීනයො ම්ලේච්ඡයි කියන එක.

කතුවරයා වාක්‍ය දෙක තුනකින් මේ ඛේදවාචකය පිළිබිඹු කරනවා.

''අපේ අයියණ්ඩි... ගංතුලානේ කතාවෙන්නෙනං හාංදුරුවෝ කැටුං ගෙහුං ඇත්තෙ පරංගියා නෙමේලු.''

''එහෙනං...?''

''ඔන්නොය හිංගල කට්ටියක් ම ඇවිදින් හාන්දුරුවොන්ට විනේ කැටුවයි කියල තමයි කියන්නෙ..."


පිටුව 108

කවුද හාමුදුරුවො මේ ආකාරයට අතුරුදන් කරන්නෙ...? උසස් කුලයේ යැයි සම්මත, සිංහල බෞද්ධ ගොවිගම කුලයේ අය.

මොකක් ද ඒකට හේතුව...?

dfb7afb9e44e6cc8c888070666333a35
කුලහීන යැයි සම්මත දෙදෙනෙක් පන්සලේ නවත්වාගෙන, තවත් කුලහීන යැයි සම්මත පිරිසකට සටන් පුහුණු කර, ඔවුන් සටනට යවා, සටන ජයග්‍රහණය කිරීම. මේ ජයග්‍රහණය කරන්නෙ ඓතිහාසික සටනක්; ඒ කියන්නෙ දන්තුරේ සටන. කතුවරයාගේ ප්‍රකාශයට අනුව මේ කුලහීන පිරිස නොහිටින්න දන්තුරේ සටන සිංහලයින්ට දිනන්න ලැබෙන්නෙ නැහැ.

මේ කාරණාවලින් කියවෙන්නෙ මොකක් ද...?

ඒ කාරණය අදටත් වලංගු නැද්ද...?

 

අදටත් සිංහල, බෞද්ධ, ගොවි ත්‍රිමූර්තිය තමයි රටේ බලය අත්පත් කරගන්නෙ සහ ඒ ත්‍රිමුර්තියට අවශ්‍ය ආකාරයට තමයි ලංකාව කියන දූපත පාලනය වෙන්නෙ.

මම මේ කියන්නෙ රට අභ්‍යන්තර තත්ත්වය. භූ දේශපාලනික වශයෙන් ගත්තොත් තත්වය මීට වඩා හුඟක් වෙනස්. නමුත් රටේ පහළ කුලයේ යැයි සම්මත පිරිස තවමත් ඉන්නෙ පහළ ම තමයි.

අදට ද බලාත්මක කුල සාධකය

ඒක එහෙම නෙවෙයි කියනව නම් මම ඒ අයට අභියෝග කරනවා. මැතිවරණයකදි ඒ ඒ පක්ෂ ඒ ඒ පළාත වෙනුවෙන් ඉදිරිපත් කරන නාම යෝජනා බලන්න; ඒ නම් සහිත පුද්ගලයින්ගේ කුලය ගැන හොයල බලන්න; පුවත්පත්වල පළ වෙන මංගල දැන්විම් බලන්න. පන්සලක මහණ කරගන්න වුවමනා ගිහි පාර්ශ්ය පිළිබදව පළ කරන දැන්වීම් බලන්න.

ඒ නිසා අක්වැහි කියවපු සහ කියවන අයට මම යෝජනා කරනවා කතුවරයා නොලියා ලියපු, නොකියා කියපු මෙන්න මේ කතාව කියවා ගන්න කියල. එතකොට තමයි මම කලින් සඳහන් කරපු: සමාජ, දේශපාලන කතිකාව මතු කරගන්න පුළුවන් වෙන්නෙ. යළිත් කියනවා නම්, කතුවරයා නොලියපු කතාව කියවා ගන්න පුළුවන් වෙන්නෙ.

(සටහන | බද්ධාංජලී පටිභාණී)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්