leader s

ෆ්‍රන්සයේ කෑන් සිනමා උළෙලේ ‘කැමරා දෝ’ ඇගයීම ඇතැම් විට හදිසි අනතුරකින් සිනමාකරුවකු අතපත් විය හැකි ය. එය සිනමාකරුවකුගේ පළමු වෘත්තාන්ත කෘතිය පිණිස පිරිනැමෙන්නක් වන බැවින් අනුෂාංගික හික්මවීම් හරහා සිනමාපටය මෙන්ම සින්මාකරුවා ද,  කෑන් වෙත ළඟා විය යුතු සම්භාවිතාවක් පවතින්නාවූ බැවිනි.

නමුත් කෑන් උළෙලේ වසරේ විශිෂ්ටතම සිනමාපටයට පිරිනැමෙන ‘පැල්ම දෝ’ ඇගයීම අත්පත් කර ගන්නට නම්, සිනමාකරුවෙකු යහමින් තෙම්පරාදු වුණු කලාකරුවකු විය යුතු ය. 2025 වසරේ ‘පැල්ම දෝ’ හිමිකරගත් ඉරානක්කාරයා එහෙව් තැනැත්තෙකි. ජෆාර් පනාහී නම් ඔහු කෑන්හි පෙනී සිටියේ ‘එය හුදු ඇක්සිටෙන්ටුවක්’ (It was just an accident) ලෙස ඉංග්‍රීසිකරණය කරන ලද නාමකරනයක් සහිත සිනමා කෘතිය සමඟ ය. මා නැරඹුවේ ‘Un Simple Accident’ ලෙස ෆ්‍රන්ස නාමකරණය සහිතව ගෙවුණු ඔක්තෝබරයේ සිනමාහල්වලට මුදා හැරුණු ෆ්‍රන්ස උපශීර්ෂගත කෑන් උළෙලට ආසන්නම වර්ෂනයයි.

iaccident film
නවසිය හැටේ ඉපදුණු ජෆාර් පනාහී නම් මෙම දරුණු ඉරාන සිනමාකාරයාට ඉරානය යනු සිනමා නිර්මාණ පිණිස තහනම් කලාපයකි. ඉදින් මෙවන් පිටපතක් කෙසේවත් අනුමත වන්නේ නොවේ. නමුත් ඔහු කලාකරුවකු වන බැවින් සිනමාපටය ඉරානයේදීම රූගත කරයි. වධවේදනා විඳීම සහ හිරගතවීම ජීවිතයේ කිහිපවතාවක්ම භෞතකවම අත්විඳි ජෆාර් පනාහී සිනමාවට නඟන්නේ ම තමන්ගේ ආත්මීයත්වය බව නැවත වතාවක් මෙම ‘සිනමා අනතුර’ හරහා ඔහු සමස්ත ප්‍රේක්ෂාගාරයටම හඬගා සිටියි.

jafarජෆාර් පනාහී2010 වසරේදී මුලින්ම හිරගත කළ ජෆාර් පනාහී සය වසරක හිර දඬුවමකට යටත් කළ අතර විසි වසරක සිනමා තහනමකට ද ලක්කෙරුණි. එකී තහනම නොතකා සිනමාවේ නිරත වීම මත යළි 2022 දී යළි වධකාප්‍රාප්ත සිනමාකරුවා 2023 වසරේ පෙබරවාරියේදී නිදහස් කෙරුණේ ඔහු සිදුකළ මාරාන්තික උපවාසය නිසා මෙන් ම ඔහු නිදහස් කරන ලෙස බලකරමින් ජාත්‍යන්තරව පැන නැඟුණු විරෝධතා හින්දා ය.  

රාජ්‍ය මර්ධනය හමුවේ සිය සිනමා කලාකාරකම පවා නොදුන් මෙම ඉරාන සිනමාකරුවා 1995 සිට අද දක්වාම අතිශය සක්‍රීය නිර්මාණකරුවකු ලෙස ඉතා වැදගත් කලාත්මක සිනමා කෘති රාශියක් දායාද කළ දැවැන්තයෙකි. ඔහු මුලින්ම මගේ අවධානයට නතුවූයේ 2011 වසරේ තිරගත ‘This is Not a Film’ හන්දා  ය. එවන් නමකින් සිනමා පටයක් මුදා හැරීම වනාහී කෘතියකට වැඩි යමකි. සැබැවින්ම ජෆාර් පනාහී වනාහී සිනමාකරුවකුට වඩා වැඩි කෙනෙකි.

Un Simple Accident 2LesFilmsPelleas original scaled
ෆ්ලැෂ් බෑක් තොරොම්බල් එල්ලා නැති,  ඉතා කෙටි කාල පරාසයක් පුරා අඛන්ඩව දිවෙනා මෙම ‘Un Simple Accident’ නම් ‘සිනමා අනතුර’, ප්‍රස්තුත කරගන්නේ රාජ්‍ය සම්මත සම්භාව්‍ය අර්ථයෙන් බුද්ධි නිලධාරයෙක් වන ඉරාන රාජ්‍ය වධකයෙක් නොහොත් ‘හිරගේ වධකයෙක්’ සහ ඔහුගේ වධහිංසාවට ලක්වූ වින්ධිතයන් පිරිසක් අතර ඇතිවන සංසිද්ධියකි.

එක්තරාමය රාත්‍රියක මෙකී රෂීඩ් නම් ‘පෙග්-ලෙග්කාර’  මෙම ඉරාන වධකයා සිය ගැබ්බර බිරිඳ හා කුඩා දියණිය සමඟ මෝටර රථයක ගෙදර යමින් සිටිය දී අහඹු ලෙස යමක් හෝ යමෙක් වාහනයේ ගැටෙයි.  ‘බල්ලෙක්’ විය හැකි මෙම ‘නොසලකා හැරිය යුතු මට්ටමේ හුදු ඇක්සිඩෙන්ටුව’ කුඩා දැරියට විශාල කම්පනයක් වුව තාත්තාට ගාණක් වත් නැති මට්ටමේ සිම්පල් සංසිද්ධියක් බව පෙනෙන්නට තිබේ. ඉක්බිති එම මාර්ගයේ ආසන්නම ගැරෑජය වෙත ඔහු එළැඹෙන්නේ මෙම ‘සිම්පල් ඇක්සිඩෙන්ටුව’ නිසා ඇතිවුණු වාහනාබාධයට ප්‍රතිකර්මයක් ලබා දෙනු පිණිස ය.  තමන්ගේ අම්මා සමඟ ජංගම දුරකතනයෙන් කතා කරමින් සිටින වහීඩ් නම්  මෝටර් රථ කාර්මිකයා ගැරෑජයට පැමිණ සිටින තැනැත්තා ඉරාන හිර ගෙදරදී තමන් වධ බන්ධනයට ලක්කළ වධකයා බව හඳුනා ගනියි. ඉදින්  වහීබ් පළිගැනිමේ මොහොතකට අබිමුඛ වෙයි.  ඔහු කෙසේ හෝ මෙම වධකයා පැහැර ගන්නා අතර ඔහු පණපිටින් වළ දැමීමට පෙර මතුවන ‘ස්තිර වශයෙන්ම මේ ඔහුමදැයි යන උභතෝකෝටිකය’ විසඳා ගැනීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙයි. කෘතියේ සිනමාත්මක ආතතිය රැඳී ඇත්තේ කෙටි කාල පරාසයක් පුරා දිවෙන මෙම අනුමානය විසඳාගැනීම නොහොත් වධකයා සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය තුළ ය.

just an Accident
‘නෝ මෑන්ඩ්ස් ලෑන්ඩ්’ එකක් බඳු පසුබිමක සිය දෘෂ්ටාන්තයේ කේන්ද්‍රීය දර්ශන තලය ගොඩනඟානා ගන්නා සිනමාකරුවා සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ උන්නැහේ එනකං’ නම් විශිෂ්ට ‘විකාර රූපී’ නාට්‍ය කෘතිය සිනමා කෘතිය සමඟ අබිමුඛ කරන්නේ ‘ජීවිතය හා මරණය’ පිළිබඳ දැවැන්ත දාර්ශනික ප්‍රවාදයක ප්‍රේක්ෂාගාරය ගිල්ලවමිනි. කෘතියෙහි එන වධකයාගේ ‘ටෝචර්කරණයට’ ලක්වුණු ‘කැමරාකාරියක’ වන ශිවාට ‘පූර්ව මංගල ඡායාරූපකරණ’ ක්‍රියාවලියක නිරත වෙමින් සිටියදී මෙම වධකයා සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලියට එක්වන්නට සිදුවන්නේ ඇය රූ ගත කරමින් සිටි ‘මංගල ජෝඩුව’ ද සමඟින් ය. ඔවුන්ගේ ජීවන ඉතිහාසය ද වධ බන්ධනය හා ගැටගැහී පවතින්නක් ම වන බැවිනි. මෙම සිනමා කෘතියට බෙකටියානු විකාර රූප සත්කාර අනුහස ලබා දීමේ නිර්මාණාත්මක  ප්‍රවේශය සිනමාකරුවාගේ මෙම සිනමාරූපී ‘මංගල ගවුම’ හරහා වඩා තීව්‍රව නැඟෙයි.

හිස් භූමිය වෙත එළ‍ඹෙන සියල්ලන් අතර තීව්‍ර වන, වධකයා ඝාතනය කළ යුතු ද නැද්ද යන සංවාදය කෙමෙන් වඩා බරපතළ දාර්ශනික ප්‍රවේශයකට එළඹෙයි.

‘’මේක නරාවළක්’’ එකෙක් කියයි.

‘’මේක යුද්ධයක්’ තවෙකෙක් පවසයි.

‘’අපි උන් වගේ නෙමෙයි, අපි ඝාතකයො නෙවෙයි’’ තවත් එකෙක් පපුව විවෘත කරයි.

‘’අපි මුව අතෑරියොත් මූ අනිවාර්යෙන්ම අපව ආයෙත් කොටු කර ගන්නවා’’ තවෙකෙක් තර්ක කරයි.

දැඩි සිනාමාත්මක ග්‍රහණයකට මෙන්ම තැති ගැන්මකට අප නතු කර ගන්නා මෙම ‘හදිසි අනතුර’ මෙකී විවාදය අතරතුර වධකයාගේ ජංගම දුරකතනයට එන ඇමතුමක් නිසා වෙනස් ම මානුෂීය මානයක් කරා එළඹෙයි. එසේ ගොඩනැඟෙන විසල් ඥානන ක්‍රියාවලිය නිසා, භෞතිකවම කවර අන්දමේ වින්දිතයකුව උන්න ද, කලාකරුවෙකු සතු ආත්මීය ගැඹුර මෙන්ම නිර්මාණත්මක ගැඹුර කවරාකාරදැයි අතිශය තීරණාත්මක ලෙස නිරූපණය කරන නිර්මාණයක් ලෙස ‘මෙම සිනමා අනතුර’ විඳ ගන්නට අපට අවස්ථාව ලැබේ.

iran 11

එසේම මෙය,  කවර වාරණයක් යටතේ වුව කලාකාරයකු හුස්ම ගන්නේ කලාව තුළමැයි විශද කළ සිනමා අද්දැකීමකි.  වාරණය යනු ඉරාන පාලනය තුළ සාමාන්‍යකරණය වූ අසමාන්‍ය පීඩා ගෙන දෙන ක්‍රියාවලියකි. 1979 සිදුවූ ‘ඉරාන විප්ලවයෙන්’ පසු මූලිකව ම පුවත්පත් මාධ්‍ය ද පසුව ගුවන්විදුලි සහ රූපවාහීනි මාධ්‍ය ලෙස ද ක්‍රමයෙන් මෙම ‘අදහස් වාරණ’ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම ඇරඹුණු අතර මේ වල විට එය සමාජය පුරා ඔඩුදුවන ලද පිළිකාවෙකි. දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ  (RSF) සංවිධානය ශ්‍රේණිගතකිරීම් ක්‍රියාවලියට භාජනය කර ඇති රටවල් 180ක් අතුරින්  ‘අදහස් ප්‍රකාශකිරීමේ නිදහසට එරෙහිවීම’ (World Press Freedon Index) පිළිබඳ  රාජ්‍යයමය පීඩාවෙන් 176වැනි තැන පසුවන්නේ ඉරානය යි. මෙම සංවිධානය විසින් ඉරානය හැදින්වෙන්නේ,  සාහිත්‍ය-කලාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන් හට, ලෝකයේ රටවල් අතර පවතින  ප්‍රධාන එළිමහන් මෙන්ම භෞතික සිරකඳවුරු පහෙන් එකක් ලෙස ය.

පුද්ගල නිදහස සහ දේශපාලන අයිතීන් ක්‍රියාත්මකවන මාත්‍රාව සලකා බැලෙන ‘ෆ්‍රීඩම් හවුස්’ ශ්‍රේණිගත කිරීම්වල (Freedom House Index) ඉරානය සලකුණු කර ඇත්තේ ‘නිදහස අහිමි’ භූමියක් ලෙස ය.

අන්තර්ජාල පරිහණය ඉරාණය තුළ අතිශය දැවැන්ත ලෙස වාරණය කෙරී පවතී. ෆේස්බුක්, එක්ස්, ඉන්ස්ටග්‍රෑම්, යූ ට්‍යුබ්, බ්ලොගර් පමණක් නොව නෙට්ෆ්ලික්ස් පවා ඉරානය තුළ භයානක ප්‍රතිපල අත්පත් කර දෙන අවකාශයන් ය. ඉරානය තුළ අන්තර්ජාලයට පිවිසිය හැක්කේ රාජ්‍ය යාන්ත්‍රණයේ සීමා සහිත කිරීම් සියල්ලටම යටත්ව ය. ඉතා මෑතක සිදුවූ හදිසි ඊශ්‍රායෙල් ප්‍රහාරය සමයේ ඉරානය විසින් ‘වට්ස්ඇප්’ පවා ගලවා දමන්නැයි ඉරාන වැසියන්ට නියෝග කෙරුණේ ඒ මගින් ඊශ්‍රයෙලයට තොරතුරු යනවා ය යන අනුමානය පෙරදැරිව ය.

ශ්‍රී ලංකාවේ අප දැන් එළැඹෙමින් සිටින්නේ කවියක් ලීවද, ගුටිකන්නට, මඩ කන්නට සහ ටොපි කන්නට සිදුවන රටකට ය. විග්‍රහ, විවේචන නො ඉවසන දේශපාලන යාන්ත්‍රණයක ග්‍රහණයට ක්‍රමයෙන් රාජ්‍ය නතු වෙමින් පවතී. දැනට සමාජ මාධ්‍ය අතිශය සක්‍රීයව පවතිතත් දේශපාලන යානත්‍රණයේ වරප්‍රසාද, වරදාන සහ අනුග්‍රහයන් මත අදහස් ප්‍රකාශනයට එරෙහි ‘මර්ධන බලකායන්’ නිදහසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව යථාර්ථයක් ලෙස බාර ගැනීමට අපට සිදුවේ.

අදහස් ප්‍රකාශ කිරීම්වලට එරෙහි රාජ්‍යයන් වර්ගීකරණය කෙරෙන විධිමත් ශ්‍රේණිගත කිරීම්වල පතුළේ, අඳුරු අගාධයේ පවා පවතින රටවල මනුෂ්‍යත්වය කවරාකාර ස්වරූපයක් ගනිත්දැයි විමසා බලන්නට ඔබ අනිවාර්යෙන්ම ජෆාර් පනාහීගේ ‘ඇක්සිඩෙන්ටුව’ අත්විඳ එය ‘හුදු තවත් එක් ඇක්සිටෙන්ටුවක්’ පමණක්දැයි’ විමසා බැලිය යුතු ය.

තමන්ව වධහිංසාවට භාජනය කළ නමුත් තමන් විසින් මානුෂීය අර්ථයෙන් අභයදානය ලැබදුන් ‘පෙග්-ලෙග්කරුවා’ ස්වකීය කෘත්‍රිම පය අද්දමින් තමන් පසුපසින් එන හඬ තමන්ට ම ඇසෙන්නට පෙර,  හැකි පළමු අවස්ථාවේ ම මේ සිනාමාමය හදිසි අනතුර විදගත යුතු යැයි මම ඔබට යෝජනා කරමි.


(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්