හිටපු සංස්කෘතික ඇමැති කෙනෙක් මිලියන ගණන් වියදම් කොට තමන්ගේ ආසනයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් කිසි ප්‍රයෝජනයකට නො ගෙන ජරාවාසකර දැමූ අන්දම හිටපු පාලකයින්ගේ උජාරු නාස්තිකම් ගැන උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී මතක් කළේය.
සංස්කෘතික පුරවැසියන් බිහිකිරීමේ වැඩ පිළිවෙළක අංග
මෙවැනි ආළාපාළු සංස්කෘතික මධ්‍යස්ථානයක් කලක් අනුරාධපුරයේ ද තිබුණ බව මට මතක ය. ප්‍රශ්නය වන්නේ ඒවා ඉදිකිරීම නොව ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අපට වැඩපිළිවෙළක් නැතිවීම ය. කොළඹ හැරනේනට අනෙකුත් ප්‍රධාන නගරවල අපට කලාගාර නැත. ප්‍රාදේශිය වසයෙන් කලා හා සංස්කෘති කටයුතු ප්‍රවර්ධනය කරන කලාකරුවන්ට අත හිත දෙන වැඩ පිළිවෙළක් ද නැත.
කලාකෘති රස විඳීම ද ඇතුළුව ප්‍රාදේශියව චිත්‍ර ශිල්පීන්, සංගීත ශිලුපීන්, නර්තන ශිල්පීන් ඩිජිටල් කලාකරුවන් පුහුණු කිරීමට දිරිමත් කිරීමට අපට වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. ඇතැම් රටවල මේ කටයුත්ත කරන්නේ මහ නගර සභා බඳු පළාත් පාලන ආයතන මගිනි. සිය පුරවැසියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට චිත්‍ර ශිල්පය, අත්කම්, විසිතුරු වැඩ නොමිලේ ඉගෙන ගැනීමට, ප්‍රවර්ධනය කිරීමට ඇතැම් එවැනි නගර සභා කටයුතු කරන අන්දම දැක ගත හැකි ය. සති අග පැවැත්වෙන එවැනි පංති බොහෝවිට මෙහෙයවනු ලබන්නේ ස්වේච්ඡා උපදේශකයන් විසිනි. එවැනි වැඩ පිළිවෙළකට නගරබද පෞද්ගලික අංශයේ ද සහාය ලබාගත හැකි ය. සිය පුරවැසියන්ගේ ශක්‍යතා වැඩිකිරීම පමණක් නොව එවැනි කටයුතුවලින් සංචාරක කර්මාන්තයට ප්‍රාදේශියව දිය හැකි දායකත්වය ද පළාත් පාලන ආයතනවල මහජන සේවාවක් බවට පත් කළ හැකි ය. එය සංස්කෘතික පුරවැසියන් බිහිකිරීමේ වැඩ පිළිවෙළක අංගයක් විය හැකි ය.
ජනාධිපතිවරයාගේ කතාවට අතිරේකව මේ සටහන ලිවීමට මා පෙළඹ වූ චිත්‍රකලා කෘති රසවිඳීමෙන් ලැබෙන මානසික සුවය පිළිබඳව විද්‍යාඥයින් විසින් කළ පර්යේෂණයක් අරභයා බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත් පතේ පළවූ ලිපියක මෙසේ සඳහන් වී තිබුණි.
කලාගාර වෙත යෑම ඔබට හිතකර ය...
"කලාවට සිත් සතුටු කළ හැකි බව ප්‍රසිද්ධ කරුණකි. නමුත් එය ශරීරය සන්සුන් කිරීම අලුත් දෙයකි. ලන්ඩනයේ කිංග්ස් කොලෙජ් (King’s College) විසින් කරන ලද අධ්‍යයනයක දී, සහභාගිවන්නන්ට සංවේදක (sensors) සවිකර, 19වන සියවසේ පශ්චාත් හැඟීම්වාදී (post-impressionist) ශිල්පීන් වන: වැන් ගෝ, තුලූස් ලෝට්‍රෙක්, මැනේ සහ ගොගෑන් ගේ විශිෂ්ට කෘති දෙස බැලීමට සැලැස්වී ය. කණ්ඩායමෙන් අඩක් කලාගාරයේ දී මුල් කෘති ද, අනෙක් අඩ විද්‍යාගාරයක දී පිටපත් ද නැරඹූහ. ප්‍රතිඵල පැහැදිලි විය; කලාගාර වෙත යෑම ඔබට හිතකර ය; එය ආතතිය දුරු කරයි; හෘද රෝග අවදානම අඩු කරයි සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි..."
“ඔබ කලා කෘතියක් අත්විඳින විට, ඔබ එය දකිනවා පමණක් නොව, ඔබට එය දැනෙනවා,” කලා ඉතිහාසඥ කේටි හෙසල් (Katy Hessel) ඇගේ ‘කලාත්මක දිවියක් ගත කරන්නේ කෙසේද’ (How to Live an Artful Life) නම් නව ග්‍රන්ථයේ එලෙස ලියුවා ය.
“අපට කළ හැකි හොඳම දෙය නම් ඒ සමඟ කාලය ගත කිරීමයි.” ඇත්ත වශයෙන්ම, වත්මන් වියරු ලෝකය තුළ අපට හිඟව ඇත්තේ කාලය යි. නමුත් මෙය කලාවේ චිකිත්සක බලයේ ප්‍රධාන අංගය බව පෙනේ. කලාගාර යනු නිහඬ, චින්තනශීලී ස්ථාන වේ. අපි අන්තර්ජාලයේ සැරිසැරීම (scrolling) නවතා සැබවින්ම නිරීක්ෂණය කිරීමට පටන් ගනිමු. අයිරිස් මර්ඩොක් (Iris Murdoch) ලියා ඇති පරිදි: “ශ්‍රේෂ්ඨ කලාව විමුක්තිදායක ය, එය අප නොවන දේ අපට දැකීමට සහ ඉන් සතුටු වීමට අපට හැකියාව ලබා දෙයි.”
ශරීරය සඳහා සංස්කෘතික ව්‍යායාමයක්
නිර්මාණශීලිත්වය කෘත්‍රිම බුද්ධියට (AI) බාහිරින් පවරන (outsourced) යුගයක, කලාගාර අපව මානව ප්‍රතිභාව (human genius) සමග මුහුණට මුහුණ ගෙන එයි. වැන් ගෝගේ ‘කන වටා වෙළුම් පටියක් සහිත ස්වයං ප්‍රතිමූර්තිය’ හි පින්සල් පහරවල තීව්‍රතාවය අප දකින විට, ඒ පිටුපස ඇති වේදනාව අපට දැනේ. ඕඩන් (Auden) ‘Musée des Beaux Arts’ හි අපට මතක් කර දෙන පරිදි, ශ්‍රේෂ්ඨ සිතුවම් අපට මිනිස් දුක ගැනත්, ඊට අප දක්වන එදිනෙදා උදාසීනත්වය ගැනත් උගන්වයි.
ව්‍යායාම කරන ලෙසත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්නා ලෙසත් අපට උපදෙස් දෙනු ලැබේ. වෛද්‍යවරුන් ඉක්මනින්ම දේශීය කලාගාරයක් හෝ කෞතුකාගාරයක් නැරඹීමට නිර්දේශ කරනු ඇත්ද? එංගලන්තයේ “බිඳ වැටෙන සංස්කෘතික යටිතල පහසුකම්” ශක්තිමත් කිරීම සඳහා රජය මේ වසර මුල දී ලබා දුන් පවුම් මිලියන 270 ක අරමුදල් පැකේජය පිළිගත යුතු දෙයකි. නමුත් කිංග්ස් කොලෙජ් අධ්‍යයනය පිටුපස සිටි කණ්ඩායම “ශරීරය සඳහා සංස්කෘතික ව්‍යායාමයක්” ලෙස හැඳින්වූ දෙයට සැමට ප්‍රවේශය ඇති බව සහතික කිරීමට තවත් බොහෝ දේ කළ යුතු ය. කලාව ජාතියේ ආර්ථිකයට පමණක් නොව එහි සෞඛ්‍යයට ද අත්‍යවශ්‍ය වේ. ඔබට විද්‍යාව සමඟ තර්ක කළ නොහැකි ය."
(සටහන | විජයානන්ද ජයවීර)
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක
( උපුටා ගැනීම - Wijayananda Jayaweera ගේ ෆේස්බුක් පිටුවෙන්..







