ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීන් වන මාරිමුත්තු සතිවේල් පියතුමා සහ ජීවන්ත පීරිස් පියතුමා ප්‍රමුඛ සිවිල් ක්‍රියාධරයන් පිරිසක් 2026 අප්‍රේල් 7 වැනි අගහරුවාදා ජනාධිපතිවරයාට එම පොරොන්දුව සිහිපත් කර ඇත්තේ " ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය මගින් පොරොන්දු වූ පරිදි, දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 10 දෙනෙකු කොන්දේසි විරහිතව නිදහස් කිරීම සම්බන්ධවයි " හිසින් යුතු සන්දේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙමිනි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් පිළිබඳ ගැටළුව දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් වන අතර, දේශපාලන විරුද්ධවාදීන්, ක්‍රියාකාරිකයන් සහ මාධ්‍යවේදීන් සිය ගණනක් හදිසි නීතිය සහ/හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින නියමයක් නොමැතිව රඳවා තබා ඇති ආකාරයත් අත්සන් 324 ක් සහිතව ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළ එම ලිපිය මගින් මතක් කර දී තිබේ.
" 1970 සහ 1980 දශකවල ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම් දෙකෙහි සිට, වසර 30 ක් පුරා පැවති ජනවාර්ගික ගැටුම දක්වා ද, එයින් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු මුස්ලිම් ප්‍රජාව අසාධාරණ ලෙස ඉලක්ක කරමින් මර්දනය කරන ලද අවස්ථාව දක්වා ද, මෑතක සිදුවූ මහා ජන අරගලයෙන් පසුව ද, රජය විරෝධතා සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා 'ත්‍රස්ත නීති' සහ හදිසි නීති රෙගුලාසි ආයුධයක් කර ගත්තේය. "
ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි මංජුල ජයසිංහ විසින් එම සන්දේශය බාර ගත් බව මාධ්‍යවේදීන්ට දැනුම් දුන් ජීවන්ත පීරිස් පියතුමා එහිදී වැඩි දුරටත් සදහන් කළේ ජාතික ජන බලවේග රජය විසින් මේ දක්වාම ඉටු කර නැත්තේ එම පක්ෂය විසින් මැතිවරණ දෙකකදීම ජනතාවට ලබා දුන් පොරොන්දුවක් බවයි.
"දේශපාලන සිරකරුවන් තවමත් 10 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සිරගතව ඔවුන් අවුරුදු 15, 16, 20 ප්‍රමාණයන් වලින් තාමත් අත්අඩංගුවේ පවතිනවා. ඔවුන්ගෙන් දෙදෙනෙක්ට චෝදනා රහිතව තාමත් සිරබත් කමින් සිටිනවා. මේ ජාතික ජනබල ආණ්ඩුව බලයට පත් වෙද්දි දුන්නු මැතිවරණ පොරොන්දුවක් තමයි දේශපාලන හිරකරුවන්ව නිදහස් කරනවායි කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, ජනාධිපතිවරණයේදීත් ඔවුන් දුන්නු පොරොන්දුවක්. අවුරුදු එක හමාරක් වෙන්න එනවා ඒ පොරොන්දුව තාමත් සම්පුර්ණ කරලා නැති කඩකිරීමක් තමයි ජනතාව විදිහට අපිට පේන්න තියෙන්නේ."
ජනාධිපති අනුරකුමාර දිසානායක වෙත යොමු කළ එම සන්දේශය මගින් පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටි දෙමළ දේශපාලන සිරකරුවන් අතරින් ඉතිරිව සිටින 10 දෙනාගෙන් දෙදෙනෙකු වන, 2009 වර්ෂයේ අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගන්නා ලද, සෙල්වරාජා කිරුබාකරන් සහ තම්බයියා ප්‍රගාෂ් යන දෙදෙනාට එරෙහි නඩු තවමත් විභාග කෙරෙමින් පවතින බවයි.
"මෙය සිර දඬුවම් නියම කිරීමටත් පෙර, ඔවුන්ගේ ජීවිතයේ දශක දෙකකට ආසන්න කාලයක් සිරගත කර තැබීමකට සමාන වේ! තමන්ගේ නඩු විභාග කර අවසන් වන තුරු බලා සිටින ඔවුන්ට ඔවුන්ගේ සම්පූර්ණ තරුණ කාලය සහ වැඩිහිටි කාලයෙන් වැඩි කොටසක් අහිමි වී ඇත."
වැරදිකරුවන් බවට පත්ව සිටියද, ඉතිරි රැඳවියන් අට දෙනා වසර පහළොවකට (15) අධික කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් වසර තිහකට (30) ආසන්න කාලයක් සිරගතව සිට, පොලිසියේ, බන්ධනාගාර නිලධාරීන්ගේ සහ අනෙකුත් රැඳවියන්ගේ කුරීරු වධහිංසා සහ හිරිහැරවලට ලක් වී, අත්තනෝමතික ප්‍රමාදයන් සහ කාර්ය පටිපාටිමය දෝෂ වලින් ද වීඩාවට පත්ව සිටින බව එම සන්දේශය වැඩි දුරටත් අවධාරණය කරයි.
දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සමීප පුර්වාදර්ශයක් සිහිපත් කර දීමටත් සිය සන්දේශය මගින් සිරකරුවන්ගේ ඥාතීන්, වෘත්තීය සමිති, සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම බෞද්ධ භික්ෂුන් හා පුජකවරුන්ගෙන්ද සැදුම්ලත් එකතුව විසින් කටයුතු කර ඇත.

"මෙම කාර්යය සඳහා පූර්වාදර්ශයක් නොමැතිවා නොවේ. 1977 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත (1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන්ට එරෙහි නඩු විභාග කිරීමට භාවිතා කරන ලද නීතිය) යටතේ දඬුවම් විඳිමින් සිටි සියලුම ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්ට පොදු සමාවක් ප්‍රකාශයට පත් කළේය."
රාජ්‍ය මර්දනය සෘජුවම අත්විඳ ඇති මෙම රජය, තම වැඩිහිටි ජීවිතයෙන් අඩක් දැනටමත් බන්ධනාගාරය තුළ ගත කර ඇති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින ඉතිරි දෙමළ රැඳවියන් 10 දෙනාට ද ඒ හා සමාන කොන්දේසි විරහිත නිදහස් කිරීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා සහගතව ඉහත විස්තර කර ඇති කරුණු සැලකිල්ලට ගනිමින් පහත සදහන් ඉල්ලීම් ඔවුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
01. සංහිඳියාව ඇතිකිරීම සඳහා වන වැදගත් පියවරක් ලෙස සහ ජාතික ජන බලවේග රජයේ මැතිවරණ පොරොන්දුව ඉටුකිරීමක් ලෙස, දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 10 දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස,
02. පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ ඇතුළුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අනෙකුත් සියලුම රැඳවියන්ගේ නඩු සමාලෝචනය කර කඩිනම් කරන ලෙස සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම රැඳවියන්ට එරෙහිව චෝදනා ගෙනු කරන ලෙස, නැත හොත් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස,
03. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින, ඇතැම් අය වසර 15 ක් දක්වා සිරගත කර සිටීමෙන් පසුව, සියලුම චෝදනාවලින් නිදහස් කර ඇති රැඳවියන් සියලු දෙනාට සාධාරණ සහ සමානුපාතික ලෙස වන්දි ලබා දෙන ලෙස,
04. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන ලෙස සහ එතෙක් එම පනත භාවිතා කිරීම වහාම තහනම් කරන ලෙස,
05. යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ ඉල්ලා අස්කර ගන්නා ලෙස සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්තවාදී නීති හඳුන්වා නොදෙන බවට පොරොන්දු වන ලෙස.
LTTE කිය හංවඩු ගසා දේශපාලන සිරකරුවන් අවුරුදු 15, 20,30 තියාගෙන සිටීමෙන් කිසිවෙකුටත් යුක්තියක් ඉෂ්ට නොවන බව මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළ ජීවන්ත පීරිස් පියතුමා එහිදී හෙළි කර තිබුනේ මෙම දේශපාලන සිරකරුවන්ගෙන් කිහිප දෙනකු මේ වන විටත් සිය ජීවිතයට සමු දී ඇති බවයි.

"මේ දේශපාලන සිරකරුවන් 10 දෙනා ඔවුන්ව නිදහස් කරන්න. හේතුව ඔවුන් තුන්දෙනෙක් විතර දැනටත් මරණයට පත් වෙලා තියෙනවා අත්අඩංගුවේදිම. මෙය මානුෂිකත්වයට, මනුෂ්‍යත්වයට එරෙහි පාපයක්. ඉතින් ඒ නිසා මේ කොන්දේසි විරහිතව අපි කරන ඉල්ලිම සහ බලාපොරොත්තුව තමයි දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්න."
එසේ නිදහස් කිරීමට නොහැකිනම් ඒ සදහා හේතු විමසීමට සාකච්ඡාවක්ද ඉල්ලා සිටි බව ජීවන්ත පීරිස් පියතුමා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කළේය.




