පාස්කු ඉරු දින ප්‍රහාරය වන විට රාජපක්ෂ රෙජීමය ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් ගෙදර යවා තිබූ අතර මෛත්‍රි-රනිල් ප්‍රමුඛ ආණ්ඩුවක් බලයේ වීය.
ආරක්ෂක ලේකම් ධූරය හිමිව තිබුණේ ප්‍රසිද්ධ සිවිල් නිලධාරියෙකු වූ හේමසිරි ප්‍රනාන්දු වෙත වන විට SIS හි අධ්‍යක්ෂධුරයෙන් මේජර් ජෙනරාල් සුරේශ් සලේ ඉවත් කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඊට පත්කර තිබුණි.
අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳව ඇති වී තිබූ කනස්සල්ල පිළිබඳ ව අදහසක් ආණ්ඩුව වෙත නොවූ බව පැහැදිලි ය. මීට හේතු කාරණා තිබේ.
ලංකාවේ රාජපක්ෂ රෙජීමය බලය හොබවන විට සිදු වූ ඇතැම් ඝාතන, පැහැර ගැනීම් හා අතුරුදහන් කරවීම් පිළිබද ව (ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත වැනි.. ) විමර්ශනය කරනා බව හා ඒවායේ චූදිතයින්ට දඩුවම් කරන බව යහපාලන ආණ්ඩුවේ ප්‍රබල මැතිවරණ පොරොන්දුවකි. ඊට අනුව මේ අපරාධ පිළිබඳ ව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැවරෙයි.
මේ අපරාධ සඳහා ලංකාවේ බුද්ධි අංශ මැදිහත් වූ බව ප්‍රසිද්ධ මතයකි. ඒ අනුව මේ විමර්ශන කටයුතු බුද්ධි අංශවල අභ්‍යන්තරය විනිවිද යාම වැළැක්විය නොහැකිය. එයින් ඇති විය හැකි ගතිකයන් ගණනාවක් තිබේ.
මේ අපරාධ පිළිබඳ වවන විමර්ශනයක දී බුද්ධි අංශවල අභ්‍යන්තරය විනිවිද යත් නම්, එයින් ඒවායේ ඇතැම් රහස්‍යභාවය රැකිය යුතු හා අනාවරණය නොවිය යුතු කාරණා පිළිබඳව ද හෙළිදරව් වීම නොවැළැක්විය හැකිය. මීට අදාළ පුද්ගලයන්ගේ මේ අපරාධ සදහා ඇති සම්බන්ධය සොයා යෑමේ දී මතුවන්නේ මීට අදාළ වන මූලාශ්‍ර පමණක් නොවේ. ඊටත් වඩා එහා ගිය ඇතැම් මූලාශ්‍ර ඒ හරහා හෙළිදරව් වේ.
CID හි විමර්ශන කටයුතු කෙරෙන්නේ සාමාන්‍ය අපරාධ විමර්ශනයේ මූලික රාමුව තුල වීමත්, ඒවා මාධ්‍ය මත ප්‍රසිද්ධ වීමත් හරහා විමර්ශකයින් අඩිය තබන්නේ නොදන්නා ප්‍රදේශයකට වීම ස්වාභාවික ය. මින් ආරක්ෂක ව්‍යුහය තුළ සිදු විය හැකි තිගැස්ම ආණ්ඩුව විසින් හඳුනා ගත්තාදැයි සැක සහිත මුත්, ඒවාට ආණ්ඩුව මැදිහත් වූයේ ඒ කෝණයෙන් නොවේ.
විශේෂයෙන් ම මෙම බුද්ධි අංශ සාමාජිකයින් පිළිබඳ ව කරනු ලැබූ විමර්ශන කටයුතු කෙරෙහි ජනාධිපති මෛත්‍රිගේ බලපෑම හොද උදාහරණයකි.
සිංහල ජාතිකවාදීන් හා සංඝ සංස්ථාපිතය මේ සදහා මෛත්‍රි වෙත බලපෑම් කළ අතර ඉන් ප්‍රකට වූයේ වෙනත් දේශපාලනික කාරණාවකි. මේ අපරාධ සඳහා විමර්ශනයේ අවසාන “නූල අත දරන්නා” රාජපක්ෂවරුන් වී නම් ඒවා වැලැක්වීම මෙහි අරමුණ වූ අතර, ඒ මැදිහත් වීම “රණවිරු මතවාදයෙන්” වසා දැමීමට ඔවුහු සමත් වූහ. නමුත් මෛත්‍රි කළ යුතුව තිබුණේ අදාළ අපරාධ කෙරෙහි වන විමර්ශන තීව්‍ර කරනා ගමන් ඒ හා බැදුණු අනිකුත් මූලාශ්‍රවලට ඇතුළු වීම හෝ ඒවා ප්‍රසිද්ධ වීම වැලැක්වීමයි. ඒ සඳහා දැනුමක් හෝ සංයමයක් මෛත්‍රි පෙන්වූයේ නැත. ඔහු වටා සිටි කේවට්ටයන්ට එවැනි පරිචයක් නොවූ අතර සිදු වූයේ සියල්ල කොමඩියක් වීමයි.
රාජ්‍ය තුළ එක්, එක් අංශවල ඇතිවිය හැකි ගැටුම් වළක්වාලිය හැකි සැකැස්මක් තිබිය යුතු වුව ද, ලංකාවේ ඒ සැකැස්මවල් පුද්ගල අගතිවලින් වැසී තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි එහි ඉහළ මාලයේ අයවලුන් දේශපාලන ලෝකය වෙත පා තැබූ විට මේ තුලනය බිද වැටෙයි. ආරක්ෂක ව්‍යුහයේ පවතින තුලනය තුළ කිසිවෙකු අහිංසක හෝ කුඩාදරුවන් නොවේ. ඒ සියලු දෙනා ම තමන් කරනා දේ පිළිබඳ ව වැටහීමක් ඇති වැඩිහිටියන් ය. තමන්ගේ කාර්‍ය රාජ්‍ය ය ආරක්ෂා කිරීම නම් ඊට එහාට ගොස් එහි බලය පිළිබඳ ව සිහින දැකීම භයානක අන්තයකි. හමුදා කුමන්ත්‍රණ පිළිබඳ ව කතා එන්නේ එතැනිනි.
ප්‍රංශයේ චාල්ස් ඩිගෝල්ගෙන් පසු යුරෝපය මේ මිල්ටරි අංශවලට දේශපාලනය වෙත ඇතුල් වීම අහුරා තිබේ.
ඉන්දියාව සාර්ථක ලෙස එය අනුගමනය කරයි. අභ්‍යන්තර සිවිල්-යුද ගැටුමක හමුදා යාන්ත්‍රනය රණවිරුවන් ලෙසින් අභිෂේක කළ විට ඉන් ලැබෙන ප්‍රතිඵලය සරත් ෆොන්සේකා හෝ ගෝඨාභය වීම පිළිබඳව පුදුම විය යුතු නැත.
ලංකාවේ වාමාංශික මෝඩයන්ගේ දෘෂ්ටිවාදය මේ සමග බැදී පැවතීම එහි සංකීර්ණත්වය ප්‍රකට කරවයි.
රාජ්‍යය ආරක්ෂා කිරීමේ දී එහි කටයුතු සිදුවන්නේ අපි හිතන ආකාරයේ සුමට හෝ විවෘත ආකාරයෙන් නොවේ. ඒවාට බුද්ධි අංශ සම්බන්ධ වන්නේ මූලික නීතිරීති මත පරායත්තව ද නොවේ. මූලික නීතිරීති උල්ලංඝනය කළ හැකි ව්‍යුහාත්මක සැකැස්මකින් තොරව ඒ සදහා බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ ද නැත.
2019 වර්ෂයේ දී ඩුබායි හෝටලයක් තුළ හමාස් සංවිධානයේ මූල්‍ය පරිපාලකවරයා ඝාතනය වී තිබී මලසිරුර සොයා ගන්නා ලදී. ඒ පිළිබඳව CCTV කැමරා පද්ධතිය හරහා දීර්ඝ විමර්ශනයක් කරනු ලැබූ අතර වගකීම ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය වෙත බැරකෙරුණි. යුරෝපයේ රටවල් කිහිපයක් හරහා ඩුබායි වෙත පැමිනණන ඒජන්තවරු හමුවන්නේ ඩුබායිවල ජනාකීර්ණ සාප්පු සංකීර්ණයක් තුළ ය. ඔවුහු අදාළ හෝටලයේ විවිධ වූ කාමර ලබාගන්නා අතර ඝාතනයෙන් පසු හමාස් නායකයාගේ මළසිරුර සොයාගන්නා විටත් ඒ ඒජන්තයින් සියලු දෙනා ඩුබායිවලින් පිට වී අවසන් ය. නමුත් ඒජන්තයින්ගේ ගමන් බලපත්‍ර හෝ වෙනත් සාක්ෂි මත ඔවුන් කවුරුන්දැයි නිශ්චිත හදුනා ගැනීමක් කිරීමට විමර්ශකයින් සමත් වූවේ නැත. ආගමන විගමන නීති හෝ මූලික මානව හිමිකම් පිලිබදව ඇති නීති හෝ රාජයන් වල ස්වෛරීභාවය පිළිබඳ ව ගරුකිරීම් ඝාතකයන්ට අදාළ නොවී ය. අවසාන අර්ථයෙන් ඔවුහු ඊශ්‍රායල් රාජ්‍ය ආරක්ෂා කර තිබේ.
ලංකාවේ බුද්ධි අංශය ද ඇතළත්ව ආරක්ෂක ව්‍යුහය තුළ රාජ්‍ය යට ඇති පක්ෂපාතීත්වය ආණ්ඩුව කෙරෙහි මාරුවී තිබේ. බලය හොබවන්නන්ගේ අතකොලු බවට පත්වන විභවයක් ඒ තුළ තිබේ. ඊට අවශ්‍ය කරන ඇකඩමික් – න්‍යායාත්මක වර්ධනයක් හෝ ආයතනික පද්ධතියක් ලංකාව තුළ ස්ථාපිතව නැත.
හමුදා අංශ යම්කිසි විදේශීය මිල්ටරි ඇකඩමියාව කෙරෙහි යොමු කරවීමක් ඇතිමුත් එය ද ඉන්දියානු හා පාකිස්ථානු බලපෑමෙන් ස්වායත්ත නැත. පොලීසිය නම් එහි නරක අන්තය වෙත ම තල්ලු වී තිබේ. පොලිස් ඇකඩමියක් පිහිටුවීම පිළිබඳ ව ඇති අදහස මියගොස් ඇති අතර කිසිදු පුහුණු කිරීම පිළිබඳව පුහුණුවක් නැති උපදේශකයන් අතින් එහි පුහුණුවීම් ක්‍රියාත්මකය. මෙහි ඇතැම් පුහුනුකරුවන්ගේ මුළු සේවා කාලය ම පොලිස් අභ්‍යාස විදුහල්වල ගෙවා ඇති අතර ක්ෂ්‍රේත්‍රයේ සිදුවන වෙනස් වීම් පිළිබඳ ව ඔවුහු නොදැනුවත් ය.
මතු සම්බන්ධයි…..
(carbonnews.lk)
සබැඳි ලිපි: