ලංකාවේ රාජ්‍යය ගොඩනැංවීමේ දී බ්‍රිතාන්‍යයන් විසින් එහි ඉහළ මාලය සදහා තෝරාගත් පුද්ගලයින් එක්කෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ අතර අනෙක් පසින් ඉහළ මධ්‍යම පාංතික ස්වදේශිකයෝ වූහ.
ඔවුහු සිය “ආශාව” නිසා එම තනතුරු බැබළවූ අතර ඒවායේ පරමාදර්ශ රැක්කහ. නිදහසින් පසු දශක 3ක් පමණ මේ තනතුරු පංතිමය පදනමින් බෙදී වෙන් ව තිබූ අතර ත්‍රිවිධ හමුදා හෝ පොලිස්පති පදවි සදහා ද එය බලපෑවේ ය. 

උතුරේ උත්සන්න වූ දෙමළ ජාතීන්ගේ අරගලය නිසා මේ ආරක්ෂක ව්‍යුහයේ නිලධාරී පැළැන්තිය පහළ පංති සදහා ද විවෘත විය. 70-80 දශකවල පවා කෙඩෙට් නිලධාරීන් ලෙස හෝ උප පොලිස් පරීක්ෂවරුන් ලෙස බඳවා ගත් නිලධාරී කණ්ඩායම්වල පිරිස 20කට අඩු වුව ද පසුව එය 100 ඉක්මවන ලදී.
 
 
මින් අදහස් කරන්නේ පංතිමය වශයෙන් වූ මේ බෙදීම නිවැරදි බව සනාථ කිරීම නොවේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ශික්ෂණය ලැබූ හා අදාළ තනතුරු සදහා පත්වීමේ දී ඒවා තුළ තිබූ පරමාදර්ශ රැකිය හැකි පිරිසක් බිහිකිරීමට රාජ්‍ය අසමත් වූ බවයි. තමන්ගේ විරුද්ධවාදීන්ට “කලවැද්දා” යනුවෙන් ආමන්ත්‍රණය කරන ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු බිහිවීමේ සම්භාවිතාවක් නැතිනම් ඇතිවන්නේ නැත.
 නීතිය අංග විකල කිරීම - වික්ටර් අයිවන්
 
සරත් නන්ද සිල්වා වැන්නෙකු නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ පද්ධතිය වෙත කරනු ලැබූ හානිය වික්ටර් අයිවන් විසින් මනාව පෙන්වා දී තිබේ. 
 
මෙය රාජ්‍ය තුළ අනිකුත් අංශවලට ද බලනොපාන්නේ නොවේ. සරත් නන්ද සිල්වා වැන්නෙකු නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ පද්ධතිය වෙත කරනු ලැබූ හානිය වික්ටර් අයිවන් විසින් මනාව පෙන්වා දී තිබේ. නමුත් ආරක්ෂක ව්‍යුහය මුහුණ දුන් අභියෝගවල තීව්‍රතාවය නිසා මේවා වඩා එළියට පෙනුණු අතර ඒවා අතර තිබූ නොගැලපීම් සමාජය වෙත වඩා නරක ආකාරයට කාන්දු විය. 

ශවේන්ද්‍ර් සිල්වා වැන්නෙකු ජනාධිපති ගෝඨාභය සමග පන්සල්, දේවාල හා නොයෙකුත් උත්සව අවස්ථාවන් සදහා සහභාගි වීමෙන් හමුදාපති තනතුරේ ඇති “සාරය” ඉවත් කරනු ලැබූ අතර සිය පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් තනතුර පාවාදෙන ලදී. ලෝකයේ කිසිම රටක හමුදාපතිවරයෙකු මේ ආකාරයෙන් සිය නිලයේ ඇති ගෞරවය දේශපාලනය තුළ දිය කරන්නේ නැත.

නාවික හමුදාව හා ගුවන් හමුදාව මේ තත්ත්වයෙන් යම්තරමකට ගැලවුණු නමුත් “ලුතිනන්” කෙනෙකුට සැලියුට් කරන හමුදාව ලෙස නාවිකයන්ට බැදුණු අපහාසාත්මක ව්‍යංග්‍යය ඔවුන් මැඩලූයේ අපහසුවෙනි. යෝෂිත රාජපක්ෂ විෂයෙහි නාවිකයන් මුහුණ දුන් අපහසුව පිළිබඳ ව උදාහරණ ඕනෑ තරම් තිබේ. එය රාජපක්ෂ රෙජීමය විසින් නාවිකයන්ට කරනු ලැබූ විශාල හානියකි. අන්තර්ගතයන් විසින් ආකෘති විකෘති කිරීම පිළිබඳ ව එය නරක උදාහරණයකි.

පොලීසිය සම්බන්ධයෙන් එය නරක ම අන්තය දක්වා ගමන් කර තිබේ. අදාළ මැතිවරණ කොටඨාසයේ ආණ්ඩු පක්ෂ සංවිධායකගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියෙන් තොරව අදාළ ප්‍රදේශයේ පොලීසියේ ස්ථානාධිපතිවරයාට පත්වීමේ හැකියාවක් නැත. එයට දක්ෂතාවය හෝ අවංකභාවය පිළිබඳ ව නීර්ණයන් නැත.

ගාලුමුවදොර අරගලයෙන් පසු මේ පත්කිරීම්වලින් 150කට අධික සංඛ්‍යාවක් කෙරී ඇත්තේ දේශපාලනික උමනාවන් මතයැයි පොලිස්පතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට එහි අදුරු පැතිකඩ ඔබට තේරුම් ගත හැකිය.
 
මෙහි දී ඔබට මගහැරී යන සංකීර්ණ තත්ත්වයක් ද මේ තුළ ම තිබේ. 1977 වනතුරු එකල, මෙකල වෙමින් ආ ලාංකීය දූපත් රාජ්‍යය ජේ.ආර්. විසින් ලෝකය හා බද්ධ කරන ලදී. එයින් සිදු වූ ආපතිකම දෙය නම් රාජ්‍යය පැරණි ආකාරයෙන් පවතිද්දී ධනවාදී සමාජ මොඩලය ලංකාව ආක්‍රමණය කිරීමයි.
ව්‍යුහාත්මක ලෙස ජේ.ආර්. රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කළේ ආර්ථික ක්ෂේත්‍රයේ වන විට ඊට අහිමි ව යන්නේ දේශපාලනය තුළ කළ යුතු වූ ප්‍රතිව්‍යුහගත කිරීමකි. එය පංතිමය ගැටුමකින් ජාතීන් අතර ගැටුමක් දක්වා පොලා පනින විට එය සිය වාසිය සදහා සියලු ම දේශපාලන ව්‍යාපෘතීන් භාවිත කලා හැරෙන්නට ඉන් මිදී ලාංකීය රාජ්‍යය අලුතින් ගොඩනැගිය හැකි ව්‍යුහාත්මක ඛණ්ඩනයක් කිසිවෙකු ලකුණු කළේ නැත. එසේ ලකුණු කිරීමට තැත් කළ කුඩා දේශපාලනික කණ්ඩායම් පවා ඒ තුළ ම තිබූ පුද්ගලික අගතීන් නිසා දියවී ගියහ. 

රාජ්‍යය විසින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව මිලිටරි විසදුමකින් විසදීමට දරනු ලැබූ උත්සාහය ප්‍රමුඛ වූ අතර එය අවසන් වූ සැණාන් එයින් වසා දමා තිබූ ධනවාදී මොඩලයේ සමාජ සම්බන්ධතා මතුපිටට ඒම නොවැළැක්විය නොහැකි විය. වෙනත් වචනවලින් කියන්නේ නම් ජාතීන් අතර ගැටලුව හරහා වළලා තිබූ පංතිමය ගැටුම නැවත මතු වූ අතර එය සිදු වන්නේ පැරණි අර්ථයෙන් නොවන බව ද අප තේරුම් ගත යුතුය.
 
කුඩා දූපත් රාජ්‍යයක් විශාල රාජ්‍ය සේවයකින් නඩත්තු වීමේ දී පංතිමය ගැටලුව වෘත්තීමය ගැටලු ලෙස මතුවීමත් කම්කරු අරගල වෘත්තීමය අරගල ලෙස පොළා පැනීමත් හා ඒවා වාමාංශික මෝඩයන් විසින් භාර ගැනීමත් අපේ දෛනික පුරුද්දකි.
ආරක්ෂක ව්‍යුහය ද මෙම වෘත්තීය තත්ත්වය තුළ වූ ගැටීමට මුහුණ දෙන්නේ වෙනත් ආකාරයකට ය. රාජ්‍යය වෙනුවෙන් මෙතෙක් කල් ඉටු කරනු ලැබූ මිලිටරි වැඩකොටස තුළ ජාතීන් අතර තිබූ බෙදා වෙන්කිරීම තිබුණා වුව ද තත්ත්වය පුළුල් චිත්‍රයක් කෙරෙහි මාරු වී තිබේ.

ආරක්ෂක අංශ 'ගෝඨාගෝ ගම'ට කඩාපනී
සිංහල ත්‍රිවිධ හමුදාවක් හා පොලීසියක් මුහුණ දුන් දෙමළ අරගලයෙන් විතැන්ව ආරක්ෂක ව්‍යුහය රාජ්‍ය වෙනුවෙන් පෙරමුණට කැදවද්දී එයට ජාතීන් පිළිබඳ ව අදහස අහිමි වෙයි. ගාලුමුවදොර දී ආරක්ෂක ව්‍යුහය අසාර්ථක වෙමින් යන්නේ ඊට මේ සාධකය ද බල පෑ නිසා ය. තමන්ගේ ගිනි අවිය එල්ල කරන්නේ තමන්ගේ ජාතියේ( සිංහල) සතුරෙකුට නොවන බව මින් පැන නගින අදහසයි. එයට ඉහළ මාලයේ නිලධාරී තන්ත්‍රයේ දේශපාලනික උමනාවන් බද්ද වූ පසු ලැබිය හැක්කේ ලිබියානු ආදර්ශය පමණකි. රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙන්නේ මෙතැනට ය.

මේ හරහා ආරක්ෂක ව්‍යුහය කෙරෙහි රාජ්‍යයේ ප්‍රතිපත්ති වෙනස් මගක් ගනී. බොහෝ දෙනෙකුගේ ගැටලුව වන නරක හා අසාර්ථක මිල්ටරි නායකයින් තවදුරටත් රකින්නේ ඇයි ද ? යන ප්‍රශ්නයට පිළිතුරු මෙහි තිබේ.
 
සමකාලීන ලංකාව තුළ සමාජයෙහි ඇති වී ඇති ගතිකයන් තියුණු ලෙස පරීක්ෂා කිරීමේ දී ඊට මුහුණ දිය හැකි ආරක්ෂක ව්‍යුහය “හොද” වී වැඩක් නැත. යහපත් මිනිසුන්ගෙන් වැඩ ගැනීමේ යුගය අවසන් ව ඇත. රටක ජීවත් වන ජනතාවගේ ජීවන විලාසිතාවන්ට අනුව රාජ්‍ය නැවත සැකසෙමින් තිබේ. රනවිරුවන් ලෙසින් උත්කර්ශයට නංවන ලද මිල්ටරිය ම නැවත මුරබල්ලන් ලෙසින් භෞතීස්ම කෙරෙමින් ඇත. ඒ හරහා රාජ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ව වන අදහස ජාතිකත්වයෙන් ඉවත් කරමින් තිබේ. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි කෙනෙකුට පොහොට්ටු දේශපාලඥයින් වඩා කැමති වන්නේ ඔහු “හොද” නිසා නොව “නරක” නිසා ය. එවැන්නන්ගෙන් තොරව නරක ජනතාවක් පාලනය කිරීමේ ක්‍රමයක් ලංකාව තුළ සැකසී නැත.
ජේ.ආර්. වෙතින් අහිමි වූ දේශපාලනික වැඩසටහන රනිල්ටත් අහිමි වෙනවානම් ආරක්ෂක ව්‍යුහය පාලනය කරනු ඇත්තේ ” හිනාවෙන සර්පයින්” විසින් වීම අනිවාර්‍යතාවයකි. එහි සමරූපය ඔබත්,මාත් වීම ද නියතයකි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්