ජපානයේ කගොෂිමා (Kagoshima) ප්‍රදේශය හරහා හමායන ෂන්ෂන් (Shanshan) සුළි කුණාටුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයකු අතුරුදන් වී තිබේ.
පවතින දැඩි සුළං සහිත වර්ෂාපතනය හේතුවෙන් එහි ගුවන් ගමන් ද අවලංගු කර ඇත.
ප්‍රදේශය පුරා විදුලිය ඇණහිට ඇතැයි ද වාර්තා වේ. විදුලිය විසන්ධි වීම් හේතුවෙන් නිවාස 250,000 ක ට අධික සංඛ්‍යාවක ගෘහස්ත කටයුතු සියල්ල අඩාලව පවතී. පවතින අයහපත් කාලගුණික තත්වය හේතු කොට එහි ටොයෝටා සහ නිසාන් මෝටර් රථ කර්මාන්ත ශාලා හි මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඊයේ (28) උදෑසන තත්පරයට මීටර 55 ක හෙවත්, පැයට කිලෝ මීටර 198 ක වේගයෙන් හමා යන චණ්ඩ මාරුතය, නිරිතදිග ජපානයේ ක්‍යුෂු (Kyushu) දිවයිනෙහි පිහිටි සත්සුමසේන්දායි (Satsumasendai) නගරයෙන් ප්‍රදේශයට ඇතුළු විය.
දීර්ග කාලයක ට පසු ජපානයට බලපෑ දරුණුතම කුණාටු තත්වය මෙය බව පැවසෙන අතර, ප්‍රදේශ කිහිපයක මිලියන ගණනක ජනතාවට පදිංචි ස්ථාන වෙතින් වහා ඉවත්වන ලෙස ලෙස දැනුම් දී තිබේ. සුළි කුණාටුව ප්‍රදේශයෙන් ඉවත්වීම ඉතා මන්දගාමීව සිදුවන බැවින්, දැඩි වැසි සහිත කාලගුණ තත්වය දීර්ඝව පවතිනු ඇතැයි එරට කාලගුණ බලධාරීහු ප්‍රකාශ කරති.

කුණාටුව හේතුවෙන් මියසාකි (Miyazaki) නගරයේ නිවාස, ගොඩනැගිලි ඇතුළු දේපල රැසක් හානියට පත්ව ඇතැයි එරට එන්. එච්. කේ. (NHK) රූපවාහිනිය පවසයි.
ඉදිරි දින කිහිපය ඇතුලත කුණාටුව, තෝකියෝ (Tokyo) අගනුවර ඇතුළු මධ්‍යම සහ නැගෙනහිර ජපානයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍යුෂු හි දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර තිබේ. එරට, ආනා (ANA Holdings) සහ ජපන් ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් ගමන් වාර 600ක් පමණ ද අත්හිටුවා ඇත.

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Millions evacuated as typhoon slams Japan's Kyushu, halting flights and factories






