නයිජීරියාවේ හටගත් දරුණු ජලගැල්මෙන් එහි ඊශානදිග ප්‍රදේශයේ මෙයිදුගුරි (Maiduguri) බන්ධනාගාරයට විශාල හානි සිදු විය.
බන්ධනාගාරයේ ආරක්ෂක තාප්ප කිහිපයක් පෙරලී යාමත් සමග එහි රඳවා සිටි සිරකරුවෝ 300ක පිරිසක් පලා ගියහ.
පලා ගිය රැඳවියන් අතරින් 7 දෙනකු එරට ආරක්ෂක ඒජන්සි මගින් යළි අත්අඩංගුවට ගෙන තිබේ. පැන ගිය අනෙකුත් සිරකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එරට බොර්නෝ (Borno) ප්‍රාන්තයේ අගනුවර, මෙයිදුගුරි වෙත දශක ගණනාවකට පසු බලපෑ දරුණුතම වර්ෂාපතන සහ ගංවතුර තත්ත්වය මෙය බව පැවසේ. ධාරාණිපාත වර්ෂාපතනයත් සමග, වේල්ලක් පිටාර ගැලීමෙන් ජලගැල්ම හටගෙන තිබේ.

ජලගැල්මෙන් රජයේ සත්වොද්යනයකට ද හානි සිදු විය. එහි සිටි කිඹුලන් සහ සර්පයින් ගංවතුර ඔස්සේ විපතට පත් ප්‍රදේශ කරා ඇදී එමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
ජලගැල්මෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනකුවත් මියගොස් ඇතැයි එරට හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මිලියන ගණනක පිරිසක් අවදානමට ලක්ව සිටී. විපතට පත් නයිජීරියානුවන් සිය දහස් සංඛ්‍යාවක් අවතැන් කඳවුරු වෙත යොමු කර තිබේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Nearly 300 prisoners escape Nigerian prison after floods






