leader s

ලෙබනනයේ බීරූත් (Beirut) නුවර වෙත ඊයේ (24)  එල්ල වූ ඊශ්‍රායල ගුවන් මිසයිල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙක් ජීවිතක්ෂයට

පත් වේ.

සිය ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නායක ඉබ්‍රහිම් ඛුබේසි (Ibrahim Qubaisi) ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ බව හිස්බුල්ලා සංවිධානය අද තහවුරු කළේය. ඔහු, හිස්බුල්ලා  මිසයිල සහ රොකට් ප්‍රහාර බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස   කටයුතු කළේය. දෙරට  දේශ සීමාවලට ඉහළ අහසේ  දිගින් දිගටම   රොකට් වෙඩි හුවමාරු  ක්‍රියාත්මකයි.

උද්ගතව ඇති නවතම ගැටුම් සමථයකට පත් කළ හැක්කේ, එක්සත් ජනපද මැදිහත්වීමකට පමණක් බව ලෙබනනය කියා සිටී. ඉකුත් සඳුදා (23) ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් මේවන විට, ලෙබනනයේ කුඩා දරුවන් 50 දෙනකු ඇතුළු 569 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් 1835 ක ට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

ඊශ්‍රායලය හා ලෙබනනය අතර  යුද තත්ත්වයක් ප්‍රකාශ වීමත් සමග, ගාසා ගැටුම් නව මානයකට යොමුව තිබේ. ඒ හේතුවෙන්, සමස්ත මැද පෙරදිග කලාපයම අස්ථාවර වීමේ දැඩි අවදානමක් මතුව පවතී.

ලෙබනනයෙන් වහා ඉවත්වන ලෙස, එහි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට බ්‍රිතාන්‍ය රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ. ඒ අනුව, ඔවුන් ඉවත් කර ගැනීමේ කටයුතුවලට සහාය පිණිස 700 ක හමුදා බලකායක් සයිප්‍රස් (Cyprus ) බලා  පිටත් කර යවා ඇත.

නවතම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද රැස්වේ. ලෙබනනය තවත් ගාසාවක් බවට පත් වනු දැකීම කිසිවකුගේ අපේක්ෂාව නොවන බව එහි මහ ලේකම්, අන්තෝනියෝ  ගුටෙරෙස් (Antonio Guterres) පැවසීය. වහා සන්සුන් වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) විසින් ද විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ. යුද තත්වය උත්සන්න වුවහොත්, රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකට සූදානම් බව ඔහු පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ලෙබනන විදේශ අමාත්‍ය අබ්දුල්ලා බෞ හබීබ් (Abdallah Bou Habib) ගේ දැඩි අප්‍රසාදයට ලක්  වී තිබේ.  එය අපේක්ෂා කළ තරම් "සැර" ප්‍රකාශයක් නොවන බව හෙතෙම පවසයි. ඇමෙරිකාවේ, නිව් යෝර්ක් නුවර පැවති  විශේෂ ජාත්‍යන්තර සාම සම්මේලනයකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  විශ්වාසනීයත්වයෙන් තොර බවත්, එහෙත්, ලෙබනනයේ එකම ගැලවුම්කරුවා ඇමෙරිකාව පමණක් බවත් ඔහු පැවසීය. ලෙබනන අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ  එක්සත් ජනපද නිලධාරීන් හමුවීමට නියමිතය.  

නව ගැටුම් හට ගැනීමත් සමග දකුණු ලෙබනනයෙන් පලා ආ, අවතැන්වූ දහස් සංඛ්‍යාවක පිරිසක්  බීරූත් නුවර පාසල් හා අනෙකුත් ගොඩනැගිලි තුළ තාවකාලිකව රැඳී සිටිති.   ස්වේච්ඡා සහන කණ්ඩායම්, එම පිරිස් වෙත  පානීය ජල බෝතල, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් සිටිති.  

ගැටුම් හේතුවෙන්, මේ වන විට, ලෙබනනයේ පමණක් මිලියන අඩකටත් වැඩි පිරිසක් අවතැන්ව  සිටිති.

කලාපය ඇතුළු සමස්ත ගෝලීය ප්‍රජාව  තවත් ලෝක යුද අවදානමකින්  ගලවා ගැනීමට නම්, ඊශ්‍රායලයේ සැහැසිකම් නතර කිරීම පිණිස,    ලෙබනනය වෙත එල්ල කෙරන ප්‍රහාර    වහා නතර කිරීමට   සහ ගාසා තීරයේ තිරසර  සටන් විරාමයක් උදෙසා කටයුතු කිරීමට  ජාත්‍යන්තර ප්‍රජාව වහා මැදිහත් විය  යුතු බව, ඉරාන ජනපති මසුද් පෙසෙෂ්ඛියාන්   (Masoud Pezeshkian) ප්‍රකාශ කරයි.

ඊශ්‍රායල ප්‍රහාර  හමුවේ, හිස්බුල්ලා සංවිධානය හෙම්බත්ව, අඩපණව ඇති බව පවසන, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගැලන්ට් (Yoav Gallant),   ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව අවධාරණය කරයි. හිස්බුල්ලා ත්‍රස්තයින් ඊශ්‍රායලය වෙත සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් මුනිවත රැකීම පිළිබඳව, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනා කළේය.

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Amid Israel-Hezbollah strikes, Lebanon says only US can stop fighting

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්