ඊශ්‍රායලය වෙත ඉරානය ඊයේ (01) බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරත්ම අවට ගුවන් කලාපයේ රැඳී සිටි සිවිල් ගුවන් යානා රැසකට ගුවනේ අතරමං වීමට සිදු විය.
සිය ගමනාන්ත වෙත පියාසර කරමින් සිටි එම ගුවන් යානා සියල්ලට "හිස් ලූ ලූ අත" හරවා යාමට සිදු වූ බව 'ෆ්ලයිට් රාඩාර් 24' (FlightRadar24) ගුවන් ගමන් සිතියම් නිරීක්ෂක සේවය උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි. ඒ අනුව, ගුවන් කලාපයට පිවිස සිටි ගුවන් යානා රැසකට, උතුර සහ දකුණ බලා හරවා යාමට සිදුවිය. ගුවන් යානා වැඩි සංඛ්‍යාවක් කයිරෝ සහ ස්තාන්බුල් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්වීම් සිදු කෙරිණි.
එම හේතුවෙන්, තුර්කියේ ස්තාන්බුල් සහ අන්තල්‍යා ඇතුළු වෙනත් ආසන්න ගුවන්තොටුපොළ රැසක අධික තදබදයක් හටගත් අතර, අමතර ගුවන් යානා තවදුරටත්, දකුණුදිග වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමටද සිදු විය.
උද්ගත හදිසි තත්ත්වය මත, ඊයේ, මැදපෙරදිග ඩුබායි, දෝහා සහ අබු ඩාබි වෙත පියාසර කරමින් තිබූ, එමිරේට්ස්, බ්‍රිතාන්‍ය ගුවන් සේවය, ලුෆ්තන්සා මෙන්ම, කටාර් ගුවන් සේවයට අයත් යානා 80ක් පමණ, කයිරෝ සහ වෙනත් යුරෝපීය ගුවන්තොටුපොළ කිහිපයක් වෙත හරවා යවා තිබේ.
අර්බුදකාරී ගුවන් කලාපය මගහැරීම පිණිස ගුවන් සේවා රැසක් තාවකාලිකව සිය ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පියවර ගත්හ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
Israel-Iran Live Updates: Netanyahu says Iran 'will pay' for missile attack






