අළු යටින් පිබිද එන ෆීනික්ස් කුරුල්ලා මෙන් හමාස් සංවිධානය යළි නැගී සිටිනු ඇතැයි රටින් පලාගොස් සිටින එහි හිටපු නායක ඛලෙඩ් මෙෂාල් (Khaled Meshaal) පවසයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නවතම යුද ගැටුමට වසරක් පිරෙන මොහොතේ, සිය සංවිධානය බරපතල අභියෝග සහ පසුබැසීම් රැසකට මුහුණ දී සිටියද, නව සටන් සගයින් බඳවා ගැනීම් සහ අවි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කරයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර 'යුද්ධයේ කතාවට' ඇත්තේ, වසර 76ක ට නොඅඩු ඉතිහාසයකි.

පලස්තීනුවන් විසින් "නක්බා ( Nakba) හෙවත් "මහා ව්‍යසනය" යනුවෙන් හැඳින්වෙන, 1947 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය බිහි විය. එම වසරේම, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් රාජ්‍යයක් බවට ද ප්‍රකාශයට පත් කෙරිණි. ඒ සමගම, සිය නිජ භූමිය සහ එහි අයිතිය යළි ඉල්ලා පලස්තීනය සටනට පිවිසියේය. ලොව පුරා වාමාංශික, විප්ලවීය ව්‍යාපාර රැසක් ඔවුන්ගේ සහායට එක් වූහ. එම සියලු බලමුළු හා එක්ව, ඔවුහු ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ප්‍රහාර දියත් කළහ. ඔවුන්, නිදහස පිණිස සටන් වදින්නන් ලෙස තමන්ව හඳුන්වා ගත්තද, ඊශ්‍රායලය ඔවුන් සියල්ල ත්‍රස්තවාදීන් ලෙස නම් කළේය.

හමාස් සංවිධානයට ඇත්තේ, ඇතිවෙමින්, නැතිවෙමින් යළි නැගෙන අයුරේ චක්‍රාකාර ඉතිහාසයක් බව 68 හැවිරිදි මෙෂාල් පවසයි. එය අදියර වශයෙන් පවතින්නක් බවත්, ඒ සියලු අදියරහිදී, අරමුණ වෙනුවෙන් දිවිපිදුවන් රැසක් සිටින බවත් ඔහු කියා සිටී. එම පරාජයන්හිදී, වරින් වර සංවිධානයේ යුද ශක්තියද බිඳී වැටිණි. එහෙත්, ඒ සෑම අවස්ථාවකම දෙවියන්ගේ ආශිර්වාදයෙන්, පලස්තීන ආත්මීය ශක්තිය, ෆීනික්ස් කුරුල්ලා මෙන් යළි නැගී සිටි බව ඔහු ප්‍රකාශ කරයි.
මෙෂාල්, 1997 දී ඊශ්‍රායල ඝාතන තැතකින් දිවි ගලවා ගත්තෙකි. 1996 සිට 2017 තෙක් හමාස් සංවිධානයේ නායකයාව සිටි ඔහු, ශරීරයට වස එන්නත් කිරීම මගින් ඝාතනය කිරීමට ඊශ්‍රායලය ගත් උත්සාහය ව්‍යර්ථ විය.
හමාස් සංවිධානය, ඔක්තෝබර් 07 ප්‍රහාරයට වසරක් පිරෙන ඊයේ (07) ද, ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සියල්ල සාර්ථකව ගුවනේදී විනාශ කළ බව ඊශ්‍රායලය පවසයි.

වත්මන, අඛණ්ඩව ලත් පසුබෑම හේතුවෙන් සිය සංවිධානය සතු පතරොම් සහ අවි සංචිත විශාල වශයෙන් විනාශව ගියද, ඒවා කඩිනමින් අලුතින් නිෂ්පාදනය කිරීමට පියවර ගනිමින් සිටින බවත්, කැපවී සටනට සූදානම් තරුණ යුදකාමීන් අඛණ්ඩව සංවිධානයට බඳවා ගනිමින් සිටින බවත් මෙෂාල් කියයි. දශක තුනකට ආසන්න කාලයක් හමාස් සංවිධානයට නායකත්වය සැපයූ ඔහු පිළිබඳව පලස්තීනය දැඩි විශ්වාසයක් තබා සිටී. ඔහු පවසන දෑ පිලිබඳ හරය, අන්තිම සටන්කරුවා තෙක් හමාස් සංවිධානය යුද්ධය අත්නොහරින බව යයි, මැද පෙරදිග යුද විශේෂඥයෝ පවසති.

යුද්ධය අවසන් කිරීමෙන් පසු, ගාසා තීරයට කුමක් කරන්නේද යන්න පිලිබඳ නිසි සැලසුමක් ඊශ්‍රායල විසින් මෙතෙක් ඉදිරිපත් කර නැත. එය, හමාස් සංවිධානයට යළි නැගී සිටීමට "හොඳ අවස්ථාවක්" බව විශේෂඥ මතයයි.
මේ වනවිට, ගාසා තීරයේ යටිතල පහසුකම් සියල්ල විනාශ වී ඇත. එය තෙරක් නොපෙනෙන යුද සුන්බුන් වලින් පිරී පවතී.
පසුගිය වසරේ ඔක්තෝබර 07න් පසු ඇරඹි ගැටුම් වලින් පලස්තීනුවන් 42,000ක් මරු වැළඳ සිටිති. එම සංඛ්‍යාව තව තවත් ඉහළ යමින් පවතී.

හමාස් යනු තවදුරටත් සංවිධිත උපක්‍රමික බලකායක් නොවන බව ඊශ්‍රයලය පවසයි. ඒ අනුව, එය තැන තැන විසිරුණු සුළු ගරිල්ලා කණ්ඩායමක් තෙක් ලඝු කොට තිබේ. ගාසා තීරයේ දී ගැටුම් වලින් ජීවිතක්ෂයට පත් 17000ක ට අධික පිරිසක් හමාස් සටන් කරුවන් බව ඊශ්‍රායලය කියයි. ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් 350 දෙනකු පමණද එම ගැටුම්වලින් මියගිය බව ඔවුහු පවසති.

නෙතන්යාහු රජය ඊශ්‍රයලයේ සිටින තෙක්, සාමය උදා නොවන බව මෙෂාල් ප්‍රකාශ කරයි. සිය නිජබිම් ඊශ්‍රායල ජනාවාසව පවතින තාක්, ගාසා තීරය කල් මරමින් පසුවන කාල බෝම්බයක් බව ඔහු කියා සිටී.
ගාසාවේ සාමය නැති කළේ තමන් නොව, කලාපයේ ආරක්ෂාවට ද තර්ජනයක්ව, ඊශ්‍රායලයේ විනාශය පිණිස උපන් හමාස් සංවිධානය බව ඊශ්‍රායලය පවසයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Exclusive: Hamas will rise 'like a phoenix' from the ashes, leader-in-exile says






