leader s

සුපිරි බලවතා වීමේ අරමුණින් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩිනම් කරන බව උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un) පවසයි. ඒ අනුව, සතුරු උපද්‍රවයකදී න්‍යෂ්ටික අවි යොදා ගැනීමට පසුබට නොවන බව ඔහු කියා සිටී.

ඇමෙරිකාවේ සළුවට  මුවා වී, උතුරු කොරියාව සතුව කිසිදු න්‍යෂ්ටික අවියක් නැතැයි කියමින්, කලාපයේ ආරක්ෂාව තර්ජනයට ලක් කිරීම පිලිබඳ ඔහු දකුණු කොරියානු නායක යූන් සුක් යෝල් ( Yoon Suk Yeol) හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය  කළේය. දකුණු කොරියාව, එක්සත් ජනපදය සමග පවතින සමීප සබඳතා ද ඔහුගේ දැඩි විවේචනයට ලක් විය. 

කිම් ජොං උන් ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති  විශේෂ උත්සවයකට එක්වෙමින් පසුගිය දා ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.

 

උතුරු කොරියාව ප්‍රථම වරට ප්‍රහාරක ඩ්‍රෝන ශක්තිය පෙන්වයි

සිය අභිමතය සුපැහැදිලි බවත්, ඕනෑම සතුරු ප්‍රහාරයකට එරෙහිව උපරිම හමුදා ශක්තිය යොදන බවත්, ඒ තුළ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තීරණය නොවෙනස්ව ගැබ්ව පවතින  බවත් උතුරු කොරියානු නායකයා පවසයි.

දශක ගණනක ඉතිහාසයකට හිමිකම් කියන න්‍යෂ්ටික වැඩපිළිවෙළක් උතුරු කොරියාව සතුය. රට තුළ න්‍යෂ්ටික අවි රැසක්  තැනීමට තරම්  විකිරණ ද්‍රව්‍ය  ඔවුන් සතුව පවතී. මේ වන විට, උතුරු කොරියාව විසින් භූමිය අභ්‍යන්තරයේ  න්‍යෂ්ටික  අත්හදා බැලීම් හයක් සිදු කර තිබේ. 

පසුගිය සතියේ, දකුණු කොරියාව, බැලස්ටික් මිසයිල සහිත සිය පූර්ණ යුද ශක්තිය පිළිබිඹු කෙරෙන හමුදා සංදර්ශනයක්  පැවැත්වීය. ඊට, ඇමෙරිකානු ගුවන් ප්‍රහාරක යානාද  එක්විය. උතුරු කොරියාව,  ඉන් දැඩි නොසතුටට පත්  වී සිටී.

 

පාටි වෙනුවට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල

රට තුළ න්‍යෂ්ටික සබ්මැරීනයක් නිෂ්පාදනයට ද උතුරු කොරියානු නායකයා විසින් උපදෙස් ලබා දී තිබේ. එය තවමත් නිෂ්පාදනයේ  මුල්  අදියරේ පවතින බව වාර්තා වේ. යාත්‍රාව, න්‍යෂ්ටික බලයෙන් පණ ගැන්වෙන්නක්  ද නැත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. එපමණකින් නොනැවතී, න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි  සබ්මැරීන ඩ්‍රෝන යානයක් නිපදවීම කෙරෙහිද එරට අවධානය යොමු කර සිටී.

2018 පැවති සහයෝගිතා සමුළුවකදී උතුරු සහ දකුණු කොරියානු නායකයෝ, දෙරට අතර ඉන්පසු කිසිදු යුද්ධයකට අර අඳින්නේ  නැති බවට සහ නව සාම යුගයක ඇරඹුමක් උදෙසා  ගිවිස ගත්හ. උතුරු කොරියානු නායකයාගේ නවතම අදහස් දැක්වීමත් සමග, එම ගිවිසුම අහෝසී වී යා  හැකි බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. 

(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර: 
North Korea's Kim Jong Un wants to speed up becoming a nuclear superpower


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්