leader s

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර 'යුද්ධයේ කතාවට' ඇත්තේ, වසර 76ක ට නොඅඩු ඉතිහාසයකි.


පලස්තීනුවන් විසින් "නක්බා ( Nakba) හෙවත් "මහා ව්‍යසනය" යනුවෙන් හඳුන්වන, 1947 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය බිහි විය. එම වසරේම, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් රාජ්‍යයක් බවට ද ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ සමගම, සිය නිජ භූමිය සහ එහි අයිතිය යළි ඉල්ලා පලස්තීනය සටනට පිවිසියේය. ලොව පුරා වාමාංශික, විප්ලවීය ව්‍යාපාර රැසක් ඔවුන්ගේ සහායට එක්  වූහ. එම සියලු බලමුළු හා එක්ව, ඔවුහු ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ප්‍රහාර දියත් කළහ. ඔවුන්, නිදහස පිණිස සටන් වදින්නන් ලෙස තමන් හඳුන්වා ගත්තද, ඊශ්‍රායලය ඔවුන්  සියල්ලන් ත්‍රස්තවාදීන් ලෙස නම් කළේය.

ඊශ්‍රායලය පිළිගත් රාජ්‍යයක් වශයෙන් ස්ථාපිතව, වසර 29 ක ට පසු, ටෙල් අවිව් (Tel Aviv) අගනුවර සිට ප්‍රංශයේ පැරිස් (Paris) ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබූ එයාර් ෆ්‍රාන්ස් (Air France) ගුවන් සේවයට අයත්, මගීන් 239 දෙනකු රැගත් A300  එයාර් බස් මගී ගුවන් යානයක්, 1976 ජුනි 27 වන ඉරුදින, ග්‍රීසියේ ඇතන්ස් නුවරදී ත්‍රස්තවාදීන් විසින් පැහැර ගැනිණි. මගීන් අතර සිටි 83 දෙනකු ඊශ්‍රායල ජාතිකයෝ වූහ. ඒ සියල්ලෝ, ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට පත්වූහ.    

 එකල, යිට්සැක් රබීන් (Yitzhak Rabin) ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර, පෝලන්තයේ ඉපිද ඊශ්‍රායල පුරවැසි භාවය දිනා සිටි ෂිමොන් පෙරේස් (Shimon Peres) ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු  කෙළේය.

පලස්තීන විමුක්තිය උදෙසා ජනප්‍රිය පෙරමුණ (Popular Front for the Liberation of Palestine - PFLP) නම් සංවිධානයක් සහ බටහිර ජර්මනියේ වාමාංශික රැඩිකල් කඳවුරක් වූ, රතු හමුදාවේ (Red Army Faction) සාමාජිකයින් විසින් ගුවන් යානය  පැහැර ගැනීම සිදු කර තිබිණි. යට කී පලස්තීන සංවිධානයේ  සාමාජිකයින් දෙදෙනෙක් සහ බටහිර ජර්මානු  සංවිධානයේ සාමාජිකයින්  දෙදෙනෙක් ඊට එක්වූහ.

පලස්තීන විමුක්තිය උදෙසා ජනප්‍රිය පෙරමුණ නමින් හැඳින්වූ සන්නද්ධ කල්ලිය, පලස්තීන විමුක්ති සංවිධානය හෙවත් පී.එල්.ඕ. ( Palestine Liberation Organization - PLO) සංවිධානයට සහාය පිණිස සැදි, මාර්ක්ස් සහ ලෙනින්වාදී මත දරන සංවිධානයක් වූ අතර, 1964 සහ 1976 අතර සිදු කෙරුණු ගුවන් යානා මංකොල්ල කිහිපයකටම  සම්බන්ධ විය.

 බටහිර ජර්මනියේ, රතු හමුදාව 1968 දී බිහි වූ වාමවාදී සංවිධානයකි. එහි මූලාරම්භය,1960 දශකයේ ජර්මානු විශ්වවිද්‍යාල අරගල තෙක් ඇදී යයි. ඔවුහු,  බටහිර ජර්මනිය යනු, නාසි කාලීන ෆැසිස්ට් කඳවුරක් ලෙස නම් කළහ. බටහිර ජර්මනියේ, රතු හමුදාව එරට බැංකු මංකොල්ල සහ  බෝම්බ පිපිරීම් රැසකට වගකිවයුතු ත්‍රස්ත සංවිධානයක් ද වෙයි.    

ඊශ්‍රායලයේ, කෙන්යාවේ, බටහිර ජර්මනියේ සහ තවත් ස්ථාන කිහිපයක අපරාධ සහ  ත්‍රස්ත චෝදනා මත රඳවා සිටි සිය සටන්කරුවන් 53 දෙනකු නිදහස් කරන ලෙස බල කරමින් ඔවුහු  එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානා මංකොල්ලය සිදු කළහ.

පැහැර ගැනීමෙන් අනතුරුව, ඔවුහු ගුවන්යානය උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ වෙත රැගෙන ගියහ. එවකට උගන්ඩාවේ ජනාධිපති, ෆීල්ඩ් මාර්ෂල් ඉඩි අමින් ය. එන්ටැබේ ගුවන්තොටුපොළේ දී, මුල් සැලසුම්  පරිදි තවත් කොල්ලකරුවන් තිදෙනෙක් එම පැහැර ගැනීමට එක්වූහ. ඊට ඉඩි අමින් ගේ පූර්ණ සහාය ද හිමි විය.

එන්ටැබේ වෙත පැමිණීමෙන් පසු, ඊශ්‍රායලය සහ ඉඩි අමින් අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව, ප්‍රාණ ඇපයට පත් යුදෙව්වන් හැර ඉතිරි මගීන්ගෙන් කොටසක් නිදහස් කෙරිණි.  

අනතුරුව, ත්‍රස්ත ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දක්වන බව අඟවමින්, ගුවන් යානා මංකොල්ලයෙන් හරියටම දින හතකට පසු, එනම්, 1976 ජුලි මස 03 වන දින, ඊශ්‍රායලය, ඉතිරි ගුවන් මගීන් මුදාගැනීම පිණිස, ගුවන් යානා පැහැරගැනීම් පිලිබඳ ලෝක ඉතිහාසයේ අති බිහිසුණු සහ දැවැන්තම හමුදා  ක්‍රියාන්විතය දියත් කළේය. ඊශ්‍රායල කොමාන්ඩෝ භටයින් සහභාගී වූ එම මෙහෙයුම, ඔපරේෂන් තන්ඩර්බෝල්ට් (Operation Thunderbolt) නම් විය.

ඊශ්‍රායල කැබිනට්ටුව විසින් මෙහෙයුම අනුමත කිරීමත් සමග එහි ජය පරාජය පිලිබඳ අනුමානයෙන් රාජ්‍යය, දැඩි අවදානමකට ලක් විය.    

එරට ගුවන් හමුදාවට අයත් හර්කියුලිස් සී-130එච් ( Hercules C-130H ) වර්ගයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා හතරක් මෙහෙයුමට එක් කෙරිණි.  

ඊශ්‍රායල කොමාන්ඩෝ භටයෝ 100 දෙනෙක් එහි ගමන් කළහ. මෙහෙයුමට, ගුවන් මගින් රැගෙන ගිය බෙන්ස් වර්ගයේ කාර් රථයක් ද ඇතුළත් විය. එම  කාර් රථය එක් කෙරුණේ උපක්‍රමික වශයෙනි. එය ඉඩි අමින් නිතර ගමන් කළ මෝටර් රථය මෙන් වෙස් ගැන්වූවකි.

කිලෝ මීටර 4000 ක දුරක් පියාසර කිරීමෙන් අනතුරුව, 1976 ජුලි මස 03 දා මධ්‍යම රාත්‍රිය ආසන්නයේ, උගන්ඩාවේ, එන්ටැබේ ගුවන්තොටුපොළ වෙත ළඟාවී, පැයක් ගතවන්නට මත්තෙන්, ඊශ්‍රායල කොමාන්ඩෝ භටයෝ, එහි ප්‍රාණ ඇපයේ රඳවා සිටි ඉතිරි ගුවන් මගීන් 103 දෙනකු සාර්ථකව මුදාගනිමින් කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපොළ හරහා, යළි ඊශ්‍රායලය වෙත පැමිණියහ.

ගුවන් යානා මංකොල්ලයට එක් වූ සන්නද්ධ ත්‍රස්තවාදීන් 07 දෙනාම එන්ටැබේ දී ඝාතනය කෙරිණි. එක් ඊශ්‍රායල භටයකු ඇතුළු ප්‍රාණ ඇපයේ සිටි මගීන් තිදෙනකුද එහිදී ජීවිතක්ෂයට පත් වූහ. උගන්ඩා හමුදාවේ 45 දෙනෙක් ද මිය ගිය පිරිසට ඇතුළත්  වූහ.  

මෙහෙයුම සිදු කිරීමට අණ දුන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යිට්සැක් රබීන් ඊට නොසැලෙන නායකත්වයක් ලබා දුන්නේය. හමුදා මෙහෙයුමට අත ඔසවා අනුමැතිය පළ කළද, ඊශ්‍රායල - පලස්තීන අර්බුදයේ තිරසර විසඳුමක් පිණිස සාකච්ඡාවෙන් තොර අන් මගක් නැතැයි අග්‍රාමාත්‍යවරයා ඉඳුරා විශ්වාස කළේය. සිය ධුර කාලය තුළ,  ඒ උදෙසා ඔහු වෙසෙස් මෙහෙවරක් ද ඉටු  කළේය.

ඒ අනුව, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාම ගිවිසුමක් අත්සන් තැබීමෙන් පසු,1995 දී මූලධර්මවාදී යුදෙව්වකුගේ වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට  පත්විය.

ඔහුගේ අවෑමෙන්, ෂිමොන් පෙරේස්, දෙරට අතර සාම ක්‍රයාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කළේය. 1995 සිට 1996 දක්වා වසරක කාලය ඔහු එරට අග්‍රාමාත්‍ය ලෙස ද කටයුතු කළේය. ඔහු 2016 දී අභාවප්‍රාප්ත විය.

 පැහැරගත් එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගී ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමට සිදුකළ, එන්ටැබේ හමුදා ක්‍රියාන්විතයෙන් ජීවිතක්ෂයට පත් එකම ඊශ්‍රායල කොමාන්ඩෝ භටයා වූයේ, ලුතිනන් කර්නල් යොනතන් නෙතන්යාහුය. (Lt.Col. Yonathan Netanyahu) ඒ අන් කිසිවකු නොව, වත්මන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ එක කුස උපන් සොයුරාය.  

සිය ආදරණීය සොයුරාගේ මරණයත් සමග, බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) දේශපාලනයට පිවිසි අතර, 1996 දී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේය. 1999 තෙක් ඔහු ධුරයේ රැඳී සිටියේය. ඔහුගේ දෙවන අග්‍රාමාත්‍ය ධුර කාලය එළැඹියේ  2009 දීය. 2021 තෙක් ඔහු එහි කටයුතු කළේය.  

යොනතන් නෙතන්යාහුට දිවි අහිමි කරමින් එන්ටැබේ මෙහෙයුම සිදු කෙරුණු, එම පැරණි ගුවන්තොටුපොළේ, 2012 දී, ඊශ්‍රායලය සහ උගන්ඩාව එක්ව විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි. එවක ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරය දැරූ බෙන්ජමින් නෙතන්යාහු ද සිය සොයුරා සිහිකරනුවස් ඊට එක්විය. එහිදී ත්‍රස්තවාදය පිටුදකිමින්, ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙරට නායකයින් විසින් නව ගිවිසුම් වෙත එළැඹිණි.  

2022 දී බෙන්ජමින් නෙතන්යාහු තෙවන වරටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් විය. එතැන්සිට අද දක්වා, ඊශ්‍රායලයේ අයෝමය නායකත්වය ඔහුය. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැන්, කිසිදු සාම සාකච්ඡාවක් නැත.

වත්මන, අතිශය භයංකර කලාපීය යුද්ධයක් තෙක් මේ දිග්ගැස්සී ඇත්තේ, එක මව් කුස පිළිසිඳගත් සොහොයුරු පෙම ද?

 

පසු වදන :

එම ඊශ්‍රායල කොමාන්ඩෝ මෙහෙයුමෙන් පසු කෝපාවිෂ්ට වූ ඉඩි අමින්, ඊශ්‍රායල  හමුදාවන්ට සහාය දැක්වීම පිලිබඳ සැක පිට, ඔහුගේ හමුදා ප්‍රධානියා ලවා, උගන්ඩා හමුදා භටයින් 14 දෙනකු අත්අඩංගුවට පත් කළේය. හමුදා ප්‍රධානියා සිය පිස්තොලයෙන්ම වෙඩි තබා ඉන් 12 දෙනකු ඝාතනය කළේය.  මෙහෙයුමට කෙන්යාව දැක්වූ සහායට පළි ගැනීමක් ලෙස, උගන්ඩාවේ වෙසෙන කෙන්යානුවන්  මරා දැමීමට ඉඩි අමින් අණ කළේය. ඒ අනුව, උගන්ඩා හමුදා,  එන්ටැබේ ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය ඇතුළු, එරට රැඳී සිටි කෙන්යානුවන් 245 දෙනකු ඝාතනය කළහ.  

මේ මොහොතේ, ඊශ්‍රායල - පලස්තීන ගැටුම අධ්‍යයන කරන මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා විසින් නැරඹිය යුතු අගනා සිනමා නිර්මාණයකි. එය, එන්ටැබේ මෙහෙයුම පිළිබඳව ග්‍රෙගරි බර්ක් ( Gregory Burke) විසින් රචානා කොට, ජොසේ පඩිල්හා (José Padilha) විසින් අධ්‍යක්ෂණය කරන ලදුව 2018 වර්ෂයේ මාර්තු 16 දා තිරගත වූ 'සෙවෙන් ඩේස් ඉන් එන්ටැබේ' (7 DAYS IN ENTABE)  චිත්‍රපටය යි.

එය, දෙබස් කෙරෙහි යළි යළිත් සාවධාන වෙමින්, අධ්‍යයන ප්‍රවේශයකින්, සෙමෙන් කියවිය යුතු විශිෂ්ඨ  සිනමා කෘතියකි.


(සටහන: හ ර් ෂ  උදයකාන්ත)
e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



 

jonathan ne ලුතිනන් කර්නල් යොනතන්  නෙතන්යාහු 
nethanyahuයොනතන් නෙතන්යාහු සිය දිවි පුදමින්,  එන්ටැබේ  මෙහෙයුම සිදු කළ එම  පැරණි ගුවන්තොටුපොළේ දී ඊශ්‍රායලය සහ උගන්ඩාව එක්ව, 2012 දී සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයට එක්ව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු
w3543 සොයුරු යොනතන්  නෙතන්යාහුගේ සොහොනට බුහුමන් දක්වන  අගමැති නෙතන්යාහු අතුළු පවුලේ උදවියr5tw45 එන්ටැබේ මෙහෙයුමට යොදා ගත් බෙන්ස් රථයaser3.'සෙවෙන් ඩේස් ඉන් එන්ටැබේ' (7 DAYS IN ENTABE) චිත්‍රපටයේ රූපරාමුවක්



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්