යුක්‍රේනයට එරෙහි ප්‍රහාර පිණිස උතුරු කොරියාව කුලී හේවායන් එවා ඇතැයි එරට ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy)
චෝදනා කරයි. ඔවුන් යුක්‍රේනයේ රැඳී සිටින රුසියානු හමුදා හා එක්ව තම රටට එරෙහිව සටන් වදින බව ජනාධිපතිවරයා කියා සිටී. එම තත්ත්වය මත, මිත්‍ර සන්ධාන හමුදා සහයෝගිතාව පිලිබඳ දෙවරක් සිතා බැලීමට සිදුව ඇතැයි ද ඔහු පවසයි.
උතුරු කොරියානුවන් රුසියානු හමුදා හා එක්ව ඇති බවට දකුණු කොරියාව උපුටා දක්වන යුක්‍රේන ජනපතිවරයාගේ ප්‍රකාශ ක්‍රෙම්ලිනය තරයේ ප්‍රතික්ෂේප කරයි.
රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින මිත්‍ර සමාගම උතුරු කොරියාවට තව දුරටත් ශක්තිමත් රාජ්‍යයක්ව නැගී සිටීමට පිටුවහලක් බවත්, සිය රාජ්‍යය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා සමග යුක්‍රේන භූමිය මත, ඊට එරෙහි අවි දැරීමට තරම් ඔවුන් බලවත්ව සිටින බවත් සෙලෙන්ස්කි කියා සිටී. එබැවින්, මෙය, යුක්‍රේන යුද පෙරමුණට, මිත්‍ර සන්ධානයෙන්, අවි සහ වෙනත් යුදාධාර ඉක්මවූ සහායයක් අත්‍යවශ්‍යම මොහොතක් බව ඔහු අවධාරණය කරයි.
යුක්‍රේනයේ සිටින රුසියානු හමුදාවන්ට සහාය පිණිස උතුරු කොරියානුවන් එක්වී ඇති බවට අනුමාන කිරීමට තරම් සාක්ෂි ඇතැයි මුලින්ම ප්‍රකාශ කළේ, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යූං ( Kim Yong-hyun) ය. රුසියාවට එරෙහිව එල්ල කරන ලද යුක්‍රේන හමුදා ප්‍රහාරවලින්, උතුරු කොරියානු හමුදා නිලධාරීන් කිහිපදෙනකුම ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා ඇතැයි ඉකුත් දා එරට පාර්ලිමේන්තු සැසිවාරයකදී ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව, සෙලෙන්ස්කි උදක්ම අයැද සිටින්නේ, සිල්ලර යුද අවි සම්පාදනයෙන් ඔබ්බට ගිය පිරිස් බලයකි. හරියටම කියතොත්, ඔහු මේ අසන්නේ, එක්සත් ජනපද හමුදා ඊශ්‍රායලයට සහාය පිණිස යැවීමට හැකිනම්, තමන් වෙනුවෙන් එසේ නොකරන්නේ මන්ද, යන්නය.
රුසියානු හමුදාවන්ට සහාය පිණිස කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හොර රහසේ පිටත් කර හැරීමේ ජාවාරමක් ද පසුගියදා අනාවරණය කෙරිණි. රුසියානු යුද පෙරමුණෙහි අසීරුතාවට පත් ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනකු විසින් යොමු කළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයෙහි ද සංසරණය විය. රුසියානු හමුදාවන්ට එක් වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනකු එහිදී ජීවිතක්ෂයට පත්වූ බවද වාර්තා වේ.
(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත විසිනි)
Zelenskiy says North Koreans fighting with Russians in Ukraine






