කලාපීය සහයෝගිතා ප්‍රවර්ධනය උදෙසා, චීනයේ තීරයක් සහ මාවතක් ව්‍යාපෘතිය (BRI) තව දුරටත් පුළුල් කළයුතු බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් (Shehbaz Sharif) අවධාරණය කරයි.
එරට පැවති, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) 2024 රාජ්‍ය නායක හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
යුරෝ - ආසියානු ආරක්ෂක සහ දේශපාලන ආර්ථිකයන්ගෙන් සැදුම් ලත් එම සංවිධානය 2001 වසරේ බිහි විය. එහි මෙවර සැසියට, සත්කාරක පාකිස්ථානය, චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 11ක් සහභාගී වෙයි.
චීන ජනපති ෂී ජින්පින් ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක තීරයක් සහ මාවතක් වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර ව්‍යාපෘති, කලාපීය සහයෝගිතා ප්‍රවර්ධනය උදෙසා තව දුරටත් පුළුල් පරාසයක ක්‍රියාත්මක කළ යුතු බවත්, ප්‍රවාහන හා දුම්රිය මාර්ග මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු ජාල ගත සබඳතා ඔස්සේ එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට යායුතු බවත්, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී පැවසීය. අග්‍රාමාත්‍ය ෂරිෆ් එහි මෙවර සැසියේ සභාපතිවරයා ද වේ.

තීරයක් සහ මාවතක් ව්‍යාපෘතිය, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක වියදමින් ක්‍රියාත්මක වැඩසටහනකි. මීට දශකයකට පමණ පෙර චීන ජනපති ෂී ජින්පින් ගේ මූලිකත්වයෙන් ඇරඹි එය, ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව ගොඩ බිමින් සහ මුහුදින් යා කෙරෙන ගෝලීය යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකය.
චීන - පාකිස්ථාන ආර්ථික කොරිඩෝව එම ව්‍යාපෘතිය යටතේ පාකිස්ථානයේ ක්‍රියාත්මක ප්‍රධාන සමාජ-ආර්ථික වැඩසටහනකි. ඒ යටතේ, පාකිස්ථානයේ මාර්ග සහ අධිවේගී මාර්ග, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධනය වෙනුවෙන්, චීනය ඩොලර් බිලියන ගණනින් ආයෝජන සිදු කරයි.
ලෝක ජනගහනයෙන් 40%ක් වාසය කරන්නේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය දරන රටවලය. මෙවර සැසියට චීන අග්‍රාමාත්‍ය ලී කියැඞ් (Li Qiang) ඇතුළු සාමාජික රටවල් 07 ක අග්‍රාමාත්‍යවරු සහභාගී වෙති.
ඉන්දියාවේ විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයශංකර් (Subrahmanyam Jaishankar) ද ඊට එක්ව සිටී. ඉන්දීය විදේශ අමාත්‍යවරයකු, දශකයකට පසු පාකිස්ථානයට පැමිණි පළමු අවස්ථාවද මෙය යි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Pakistan PM Sharif calls for expansion of China's Belt and Road Initiative






