දකුණු ලෙබනනයේ පලාත්බද ප්‍රධාන නගරයක් වන නබාතේ (Nabatieh) වෙත ඊයේ (16) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, එහි නගරාධිපති ඇතුළු 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාළ ලැබූහ.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ එහි නගර සභා මූලස්ථානයටය. ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ දා සිට රාජ්‍ය ගොඩනැගිල්ලක් වෙත සිදු කළ බරපතලම ප්‍රහාරය මෙයයි. ලෙබනනය, ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර දැන් සමස්ත ලෙබනන රාජ්‍යය ඉලක්ක කොට එල්ල වන බව ඔවුහු පවසති.
නගරයේ අවතැන්වූවන්ට සහන සැලසීම පිණිස සහ නාගරික සේවාවන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා විශේෂ නගර සභා හමුවක් කැඳවා තිබූ අවස්ථාවෙක, ඊශ්‍රායලය හිතාමතාම එම ගොඩනැගිල්ල වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව භාරකාර අග්‍රාමාත්‍ය නජිබ් මිකාටි (Najib Mikati) පවසයි.
මේ අතර, ඊශ්‍රායල යුද ටැංකි සිය මුර කුළුණකට ප්‍රහාර එල්ල කළ බව ලෙබනනයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා (UNIFIL) පැවසූහ. දකුණු ලෙබනනයේ කෆාර් කේලා (Kfar Kela) හිදී ඊයේ එම ප්‍රහාර සිදු කර තිබේ. ඒ පිලිබඳ, ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
සිය ආරක්ෂාව පතා දකුණු ලෙබනන යුද පිටියෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා, එක්සත් ජාතීන්ගේ සාම හමුදා වෙත මීට පෙර දැනුම් දුන්නේය. රටවල් 50කින් සැදී 10,000 ක සාම සාධක බලකායක් ලෙබනන දේශසීමා ආරක්ෂාවේ යෙදී සිටී. ඊට ඉතාලි, ප්‍රංශ සහ ස්පාඥ්ඥ භටයින් 2500ක් ද ඇතුළත්ය.
සාමසාධක බලකායන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් මිත්‍ර සන්ධානයට අයත් එම රටවල් සහ ඊශ්‍රායලය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ද යම් අර්බුදයකට ලක් වෙමින් තිබේ. සාකච්ඡා පිණිස හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර කිසිසේත් අතර මග නොනවත්වන බව, උතුරු ඊශ්‍රායල දේශසීමා නිරීක්ෂණයේ යෙදුණු එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) පැවසීය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Mayor among 16 killed in Israeli strike on south Lebanon municipality building






