ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා ශිගේරු (Ishiba Shigeru), උතුරු කොරියාව විසින් පැහැර ගත් ජපන් ජාතිකයින්ගේ පවුල් සාමාජිකයින් හමු විය. ජපන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (16) එම හමුව සිදු කෙරිණි.
පැහැර ගැනීමට ලක්වූ සියලු දෙනා යළි ගෙන්වා ගැනීමට ඉක්මන් පියවර ගන්නා බව එහිදී ඔහු ප්‍රකාශ කළේය. ඉෂිබා, ජපන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, එම පවුල් සාමාජිකයින් හමු වූ පළමු අවස්ථාව මෙයයි.
පැහැර ගැනීම්, එරට ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පැහැරගැනීමට ලක්වූවන්, ඉන් මුදා ගැනීමට තවත් වැඩි කල් බලා සිටිය නොහැකි බවත්, ඒ වෙනුවෙන් එම පවුල් වෙනුවෙන් කළ හැකි උපරිමය ඉටු කරන බවත් ඔහු පැවසීය. එම සාධනීය පියවර සාක්ෂාත් කර ගැනීම පිණිස දෙරටේ නායක හමුවක් හැකි ඉක්මනින් පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
උතුරු කොරියාව විසින් පැහැර ගැනීමට ලක්වුවන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලදී තමන් හමුවූ 13 වන ජපන් අග්‍රාමාත්‍යවරයා මේ බව ඊට එක් වූ පැහැරගැනීමට ලක්වූ පවුල් කණ්ඩායමේ නායක, යොකොටා තකුයා (Yokota Takuya) අග්‍රාමාත්‍ය ඉෂිබා ශිගේරු හමුවේ ප්‍රකාශ කළේය.
පැහැරගැනීමට ලක් වූවන්ගේ දෙමාපියන් ජීවත්ව සිටියදී, තව දුරටත් අතුරුදන්ව ඇති එම පුද්ගලයින් කඩිනමින් යළි ගෙන්වා ගැනීමට කටයුතු කිරීම, ජපන් රජය සතු වගකීමක් බව තකුයා ජපන් අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා සිටියේය. ගැටලුව විසඳීම පිණිස දෙරටේ සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවීමේ, අග්‍රාමාත්‍ය වරයාගේ යෝජනාව තම කණ්ඩායම එකහෙළා ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියේය. එමගින් ගැටලුව විසඳීම පිණිස තව දුරටත් කල් මැරීමට උතුරු කොරියාවට අවස්ථාව හිමිවන බවත්, අවසන ඵලදායී විසඳුමකින් තොරව, එය නොවිසඳාම අවසන් කිරීමට උතුරු කොරියාව කටයුතු කරනු ඇති බවත් ඔහු පැවසීය.

එබැවින්, ගැටලුවට එකම විසඳුම් වශයෙන් පවතින, ජපාන-උතුරු කොරියා සමුළුව හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙස, එම හමුවට සහභාගී වූ පැහැර ගැනීමට ලක්වුවන්ගේ පවුල් සාමාජිකයෝ, ජපන් අග්‍රාමාත්‍යවරයාට බල කර සිටියහ.
උතුරු කොරියානු රහස් ඒජන්තවරුන් විසින්, 1970 සහ 1980 අතර කාලය තුළ ජපන් ජාතිකයින් 17 දෙනකු පැහැර ගැනීමට ලක් විය. 2022 වසරේ, ඉන් 5 දෙනකු නිදහස ලබා යළි පැමිණි අතර 17 දෙනකු තවමත් ආගිය අතක් නැතැයි ජපන් රජය පවසයි.
(NHK ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
PM Ishiba meets with families of Japanese abducted by North Korea | NHK WORLD-JAPAN News






