නීති විරෝධී ලෙස පසු අස්වනු පිදුරු ගිනි තැබූ උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගොවීන් 16 දෙනකු පමණ රජය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමගින්, නව දිල්ලිය ඇතුළු අවට ප්‍රදේශයේ, ළඟ එන ශීත සෘතුව හමුවේ, වායු දූෂණය සිදු කිරීම පිලිබඳ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වී වගාවෙන් පසු, ගොවි බිම් හිස් කර, නව වගා කටයුතු පිණිස සූදානම් කිරීමට පිදුරු සහ වෙනත් වගා ශේෂ ගිනි තැබීම ඉන්දියාවේද සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නකි.

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර සෑම වසරකම, මෙම කාලසීමාව තුළ උග්‍ර වායු දූෂණයක් පවතී.

පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල සිට එන, විවිධ ඉදිකිරීම්, කර්මාන්ත සහ මෝටර රථ විමෝචන හේතුවෙන් හට ගැනෙන අහිතකර දුහුවිල්ල සහ දුමාරය, ශීත සෘතුව එළඹීමත් සමග ඉහළ ඝන වායු ස්ථරවල සිරවී පැවතීම ඊට හේතුවයි.
ස්විට්සර්ලන්තයේ වායු සමීක්ෂණ (IQAir) වාර්තාවකට අනුව, නව දිල්ලිය පිට පිට සිව් වතාවක් ලොව වැඩිම වායු දූෂණය සහිත අගනගරය ලෙස හඳුනාගෙන තිබේ. ඊට කෙටි කාලීන පිළියම් ලෙස, කඩින් කඩ පාසල් වසා දැමීම සහ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීම සිදු වේ.

මෙම වසරේ පමණක් හර්යානා ප්‍රාන්තයේ කයිතාල් ප්‍රදේශයේ, අනීතිකව පිදුරු ගිනි තැබීම් පිලිබඳ චෝදනා 22 ක ට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇතැයි ද වාර්තා වේ.
අත්අඩංගුවට පත් සියලු ගොවීන් ඇප මත මුදා හැරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Sixteen farmers arrested for burning crop waste as pollution rises in north India






