ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත දිග්ගැසෙනු දැකීම සිය අභිප්‍රාය නොවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) පවසයි.
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ගන්නා නව සාධනීය පියවර හමුවේ, ඊශ්‍රායලය ඊට අනුකූල විය යුතු බව ඔහු ඊයේ (24) පැවසීය. එමෙන්ම, ඊශ්‍රායලය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත්, එහි අනිසි ප්‍රති විපාක පිලිබඳ ඉරානය වෙත පැහැදිලි පණිවුඩ යවා ඇතැයි ද ඔහු කියා සිටියේය.
ඔක්තෝබර 01 දා ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලබා දෙන බව ඊශ්‍රායලය කියා සිටී. හිස්බුල්ලා ත්‍රස්තයින් සමග ගැටුම් අවසන් කිරීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රධානී රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කළද, ඒ පිලිබඳ වැඩි විස්තර කිසිත් ප්‍රකාශ කර කර නැත.

ලෙබනනයේ, බීරුත් අගනුවර වෙත ඊයේ පස්වරුවේත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව රොයිටර්ස් සඳහන් කරයි.
ගාසා සටන් විරාමයක් පිලිබඳ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර නව සාකච්ඡා දෝහා හිදී ආරම්භ කෙරේ. ඊශ්‍රායල මොසාඩ් බුද්ධි ප්‍රධානී ඩේවිඩ් බාර්නියා (David Barnea) ලබන ඉරිදා (27), ඒ වෙනුවෙන්, කටාර් රාජ්‍යය වෙත පිටත්වේ. එහිදී ඔහු, එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් (William Burns) සහ කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

මේ අතර, ඊජිප්තු රාජ්‍ය ආරක්ෂක දූත පිරිසක්, එරට කයිරෝ නුවරදී හමාස් නායකයින් හමු වූහ. ගාසා හි සටන් විරාමයක් පිණිස නව ප්‍රයත්න වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය පිලිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)






