leader s

අද අළුයම ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායලය පවසයි.


ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් බලගණයේ, ගුවන් දාම ප්‍රහාර ත්‍රිත්වයක් අද අළුයම ටෙහෙරාන් අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශ ගිගුම් දෙවමින් ක්‍රියාත්මක විය.  

ඉරාන වේලාවෙන් පෙ.ව. 2 පසුවත්ම, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ආරම්භ කෙරිණි.    

දෙපැයක් පමණ අඛණ්ඩව එල්ල කෙරුණු ප්‍රහාර, ඉරාන අවි සහ මිසයිල නිෂ්පාදනාගාර සහ හමුදා මූලස්ථාන ඉලක්ක කර එල්ල කළ බව, ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

ඊට ප්‍රති ප්‍රහාර එල්ල නොකරන ලෙස ඊශ්‍රායලය, ඉරානයට තරයේ, "තර්ජනය" කර සිටී.

එරට ඉලාම් (Ilam), ඛුසෙස්තාන් (Khuzestan) සහ  ටෙහෙරාන් (Tehran) හි පිහිටි ආරක්ෂක මධ්‍යස්ථාන වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව ඉරානය තහවුරු කළේය.

එහෙත්, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින්, ඊශ්‍රායල ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත්, සිය ආරක්ෂක භටයින් දෙදෙනෙක් පමණක් ජීවිතක්ෂයට පත්වූ බවත්, ඔවුහු පවසති. ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිදු වූ හානිය සීමාසහිත බව එරට මාධ්‍ය ද අද ප්‍රකාශ කළේය.  

ඉරානයේ ට්‍රක් රථ මිසයිල නිෂ්පාදනාගාරයකට සහ සෑම් මිසයිල (surface-to-air missile (SAM) - භූමියේ සිට ගුවනට එල්ල කරන මිසයිල) මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කළ, සිය ප්‍රහාරක ජෙට් යානා සියල්ල, නිරුප්‍රදිතව ආපසු පැමිණි බව ඊශ්‍රායලය කියයි.

අද, කිසිදු ඊශ්‍රායල ප්‍රහාරයක් ඉරාන තෙල් සංචිත හෝ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර නැතැයි, එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. එවැනි ඉලක්ක වෙත කෙරෙන කිසිදු පහර දීමකට, එක්සත් ජනපදය සහාය නොදක්වන බව ජනපති ජෝ බයිඩන් මීට පෙර, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත දන්වා යැවීය.

මැද පෙරදිග ගැටලුව සම්බන්ධයෙන් දෙරට අතර හමුදා ක්‍රියාන්විත මෙතෙකින් අවසන් කළ යුතු බව සහ අද ඊශ්‍රායල ප්‍රහාරයට, ඉරානය පෙරළා පහර දීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු බව ඇමෙරිකාව තදින් අවවාද කර සිටී.

ඉරානය එම උපදෙස් පිළිනොගන්නේ නම්, ඊශ්‍රායලය ආරක්ෂා කිරීමේ මිත්‍ර සන්ධානයේ පූර්ණ වගකීම සියතට ගන්නා බවද,  ඇමෙරිකාව පවසයි.

ප්‍රති ප්‍රහාර නොදක්වන ලෙස ඉරානයට තරයේ අවවාද කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් (Keir Starmer) ද අද පැවසීය.

ඊශ්‍රායල ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ (UN) නීති උල්ලංඝනය කිරීමක් බව ඉරානය කියා සිටී.

 ප්‍රහාරයට සාපේක්ෂ ප්‍රතිචාර දැක්වීමේ පූර්ණ අයිතිය තමන් සතු බවත්, ඒ අනුව, සිය ප්‍රමාද දෝෂය වෙනුවෙන්, ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවන බවත්, ඉරානය පවසයි.

ඊශ්‍රායල ප්‍රහාරය, ඉරානයේ ස්වෛරීත්වයට මෙන්ම, ජාත්‍යන්තර නීතියටද සම්පූර්ණයෙන් පටහැනි බවට, සෞදි අරාබිය විසින් ද ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

ඉරානයේ ප්‍රතිචාර දෙස දැන් ලොවම විමසිල්ලෙනි. යම් හෙයකින්, ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා ඛමේනි හෝ නව ප්‍රතිසංස්කරණවාදී ජනපති මසූද් පෙසෙෂ්කියාන්, ප්‍රති ප්‍රහාරයෙන් වැළකී සිටීමට අවනත නොවුණහොත්, එය, සමස්ත මැද පෙරදිග කලාපයේ මතු නොව, බහුතර ගෝලීය භෞමික අඛණ්ඩතාවේ ද, අවසානයේ ආරම්භය වනු නොඅනුමානය.    

නවතා දමන ලද ඉරාන ගුවන් ගමන්, එරට වේලාවෙන් අද උදෑසන 9 ට යළි ආරම්භ කෙරිණි.

ඉරාකයද තාවකාලිකව නතර කළ සිය ගුවන් ගමන් නැවත ආරම්භ කළේය.

(Reuters සහ Aljazeera ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්