උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා (Beit Lahiya) නගරයේ නේවාසික ගොඩනැගිල්ලක් වෙත ඊයේ එල්ල (29) කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 93 දෙනකු මරුමුවට පත්විය.
ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. මියගිය පිරිස අතර කුඩා ළමුන් 20 දෙනෙක්ද වෙති.
විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සහ මහමග වැටී සිටින තුවාළකරුවන් වෙත ළඟාවීම දුෂ්කර බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම සුන්බුන් අතර මළසිරුරු සහ අතුරුදන්වූ තවත් පිරිස් සිටියහැකි බවද එහි සඳහන්ය.
ප්‍රහාරය පිලිබඳ ඊශ්‍රායලය කිසිත් ප්‍රකාශ කර නැත. එහෙත්, එය අතිශය ව්‍යසනකාරී එකක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලයෙන් ප්‍රශ්න කළ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක, මැතිව් මිලර් (Matthew Miller) ප්‍රකාශ කළේය. ඉකුත් තෙමස ඇතුළත, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කළ අතිශය දරුණුතම ඒකල ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ද ප්‍රකාශ කළේය. ප්‍රහාරය පිලිබඳ, විනිවිද බවින් යුත් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඔවුහු බල කර සිටිති.
ඊශ්‍රායල ප්‍රහාරය කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කර තිබේ.

ප්‍රහාරයෙන් විනාශයට පත් සිව් මහල් ගොඩනැගිල්ල අසල මළ සිරුරු විශාල සංඛ්‍යාවක්, රෙදිකඩින් ඔතා තැන්පත් කර තිබු අතර, මළ සිරුරු කොටස් විනාශ වූ ගොඩනැගිල්ල මත තැන තැන එල්ලා වැටෙමින් ඇතැයි, සිද්ධිය පිලිබඳ වාර්තා කරමින් රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
අනතුරට පත් පිරිස් සොයා ප්‍රදේශවාසීන් වහා සහායට පැමිණ ඇතැයි රොයිටර්ස් සඳහන් කළේය.
ගාසා තීරයේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන්වූ විශාල සංඛ්‍යාවක් එම ගොඩනැගිල්ලේ නවාතැන්ගෙන සිටි බව වාර්තා වේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






