නයිම් ඛසෙම් (Naim Qassem) සිය නව නායකයා බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසයි. ඒ බව ඔක්. 29 දා නිවේදනය කෙරිණි.
කෙසේවුවද ඊශ්‍රායලය පවසන්නේ එය "තාවකාලික" බවයි.
හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායක, හසන් නස්රල්ලා, මීට මසකට පමණ පෙර, ඊශ්‍රායලය විසින් ඝාතනය කෙරිණි. "ඕක තාවකාලික පත්කිරීමක්. දුරදිග පවතින එකක් නොවේ," යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) එක්ස් (X) පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය.

ඉරාන සහාය හිමි, හිස්බුලා සංවිධානයේ, ෂුරා (Shura) සභාව විසින්, 71 හැවිරිදි ඛසෙම් සිය මහ ලේකම් ලෙස පත් කරගත් බව ද මීට පෙර, ප්‍රකාශ විය.
1991 දී එම සංවිධානයේ එවක මහ ලේකම්, අබ්බාස් අල්-මුසාවි (Abbas al-Musawi) විසින්, ඛසෙම් එහි, නියෝජ්‍ය ප්‍රධානී ධුරයට පත් කෙරිණි. ඊට පසු වසරේ, ඊශ්‍රායල හෙලිකොප්ටර ප්‍රහාරයකින් අල්-මුසාවි මරුමුවට පත්විය.
පසුගිය කාලය පුරා, ඛසෙම්, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස ද කටයුතු කළේය.

හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායක නස්රල්ලා, ඉකුත් සැප්තැම්බර 27 දා, බීරුත් අගනුවර දී, ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි. ඊට සතියකට පමණ පසු, මීළඟ හිස්බුල්ලා නායකයා බවට පත්වෙතැයි අනුමාන කළ, එහි ජ්‍යෙෂ්ඨ සාමාජික හෂෙම් ෂෆියදීන් (Hashem Safieddine) ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරු තුරුළට පිවිසියේය.
නස්රල්ලා ඝාතනයෙන් පසු, නව නායක, ඛසෙම්, ජාත්‍යන්තර රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා තුනකට සහභාගී විය. හිස්බුල්ලා සංවිධානය, ලෙබනනයේ සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇති බව ඔහු එහිදී, සඳහන් කළේය. ඔහු, හිටපු නායක නස්රල්ලා මෙන්, පොළඹවනසුළු, දැඩි මතධාරී නායකයකු නොවන බව ලෙබනන වාසීන්ගේ මතයයි.
නස්රල්ලා සහ ෂෆියදීන් ගත් මග ගියහොත්, හිස්බුල්ලා ත්‍රස්තවාදී ඉතිහාසයේ, කෙටිම ධුර කාලය හිමි නායකයා නයිම් ඛසෙම් බවට ඉතිහාස ගතවනු ඇතැයි, එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සිය ආරාබි ගිණුම මත සඳහනක් තබමින් ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.
ලෙබනනය තුළ හිස්බුල්ලා සංවිධානය සන්නද්ධ වශයෙන් විනාශ කිරීම හැර, වෙනත් විකල්පයක් නැතැයි ඊශ්‍රායලය කියා සිටී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






