ඊයේ (31) ගාසා තීරය පුරා සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඉන්, දරුණුම ප්‍රහාර එල්ල වූයේ උතුරු ගාසා තීරයේ, බෙයිට් ලහියා (Beit Lahiya) හි පිහිටි, කමල් අද්වාන් (Kamal Adwan) රෝහල වෙතය. ප්‍රහාරවලින් එහි ඖෂධ ගබඩාව මුළුමනින්ම ගිනිගෙන විනාශ වූ අතර රෝහල් මෙහෙයුම් ද ඇණහිටිණි. රෝහල, හමාස් සංවිධානයේ හමුදා ක්‍රියාන්විත පිණිස භාවිතා වන බවට ඊශ්‍රායල හමුදා චෝදනා කරති.
කමල් අද්වාන් රෝහල, ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට පාරාදීසයක්ව ඇති බව ඊශ්‍රායල හමුදා පවසති. පලස්තීන සෞඛ්‍ය බලධාරීහු එම චෝදනා ප්‍රතික්ෂේප කරති.
ඊයේ සන්ධ්‍යාවේ, මධ්‍යම ගාසාවේ නුසෙරත් (Nuseirat) කඳවුර වෙත එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 16 කි. මියගිය පිරිස අතර පරිපූරක වෛද්‍ය වෘත්තිකයකු සහ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙක් ද වෙති.
වත්මන, ඊශ්‍රායල හමුදා සිය දැඩි අවධානය යළි උතුරු ගාසා තීරය වෙත වෙත යොමු කර තිබේ. එහි, හමාස් බලය බිඳ දැමූ බව ඉකුත් ජනවාරි මස ප්‍රකාශ කළද, ත්‍රස්තවාදීන් නැවත ඒකරාශී වීමේ සම්භාවිතාවක් පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති. ඒ අනුව, උතුරේ, ජබාලියා, බෙයිට් ලහියා සහ බෙයිට් හනෞන් වැනි ප්‍රදේශ නිරන්තර ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලට නතු වෙමින් පවතී.

කමල් අද්වාන් රෝහල වෙත පසුගිය සතියේ සිටම ප්‍රහාර එල්ල වෙමින් තිබේ.
එහි සිදුකළ සෝදිසි වලින්, ත්‍රස්තවාදීන් 100ක් පමණ අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල හමුදා පවසති. රෝහල අවට තවමත්, ඊශ්‍රායල හමුදා යුද ටැංකි රඳවා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ගාසා තීරයේ සියළු රෝහල්, ඊශ්‍රායල කෲර හමුදා ප්‍රහාර සහ හදිසි ආක්‍රමණවලින් බේරා දෙන ලෙස පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
At least 46 Palestinians killed in Israeli strikes, hospital hit, says Gaza ministry






