අද උදෑසන ලෙබනනයේ බීරුත් අගනුවර දකුණුබද තදාසන්න ප්‍රදේශය වෙත ඊශ්‍රායලය දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය.
නෙවසිකයින්ට වහා ඉවත්වන ලෙස කරන ලද ඉතා කෙටි දැනුම් දීමකින් සුළු වෙලාවකට පසු, එම ප්‍රහාර එල්ල විය. ප්‍රහාරවලට ලක් වූ ප්‍රදේශය, අධික ජන ඝනත්වයකින් හෙබි, තදාසන්න ජනාවාසයක් බව රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් සිදුවූ පුද්ගල මරණ හෝ අනතුරු කිසිත්, මෙතෙක් වාර්තා වී නැත.
'සුපුරුදු පරිදි', හිස්බුල්ලා ත්‍රස්තයින්ට අයත් මධ්‍යස්ථාන සහ දේපොළ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
වසරක් පුරා දිග්ගැසුණු ගාසා තීරයේ ඊශ්‍රායල - පලස්තීන ගැටුමට මෙන්ම, ලෙබනනයේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලා සිදු කෙරෙන ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ සියලු රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න, මෙම නවතම ප්‍රහාර හමුවේ බොඳ වනු පෙනේ.
ඊශ්‍රායලය සහ ලෙබනනය විසින් දීර්ඝ කාලයක සිට උල්ලංඝනය කෙරෙන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 1701 වන වගන්තිය පිලිබඳ යම් වගවීමක් දෙරට තුළ, මේවනවිට, විද්‍යමානව පැවතීම සතුටට කරුණක් බවත්, ඒ ඔස්සේ එලැඹෙන සටන් විරාමයක් මගින් ගැටුම් නතර කිරීමේ සාකච්ඡා පිණිස සුදුසු මාවත විවර වනු ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊයේ (31) පැවසීය.
එහෙත්, තවදුරටත් සිදු කෙරෙන දරුණු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පෙනී යන්නේ, ඊශ්‍රායලය ඒ කිසිවකටත් අවනත නොවන බවකි.
එළැඹෙන අඟහරුවාදා (05) පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයට පෙර, යම් සාධනීය විසඳුමකට පිවිසීමට තිබූ අවසන් අවස්ථා ද ගිලිහෙන බව දැන් පැහැදිලිය. එක්සත් ජනපද දූත මණ්ඩල ප්‍රධානී අමොස් හොච්ස්ටීන් (Amos Hochstein) සිය වත්මන් ඊශ්‍රායල සංචාරයෙන් අනතුරුව, බීරුත් බලා ගමන අවලංගු කළ බව වාර්තා වේ.
ඉකුත් සති පහ තුළ, ලෙබනනය වෙත සිදු කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න විය. යුද්ධයට වසරක් ගතවන තැන, ලෙබනනයෙන් වාර්තා වූ පුද්ගල මරණ 2,800න් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ ද, පසු ගිය සති පහ තුළය.
ලෙබනනයේ භාරකාර අගමැති නජිබ් මිකාටි ඉකුත් බදාදා (30) සටන් විරාමයක් පිලිබඳ සුබවාදී පසුබිමක් පවතින බවට විශ්වාසය පළ කළේය. තව දින 'දෙක තුනක්' ඇතුළත එය නිවේදනය කිරීමට හැකිවෙතැයි ද ඔහු පැවසීය. එහෙත්, ඊශ්‍රායලය ඒ සියල්ල 'නෑසුන ගාණට' ගාසා තීරයේ සහ ලෙබනනයේ දිගින් දිගටම සිය දණ්ඩ නීතියම ක්‍රියාත්මක කරමින් සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel pounds Beirut's southern suburbs after US truce push






