බොට්ස්වානා වැසියෝ දශක 6කට ආසන්න කාලයක් එරට රාජ්‍ය බලය හිමි පාලක පක්ෂය ඡන්දයෙන් පලවා හරිති.
දියමන්ති ආකර සහිත එරට ආර්ථිකය දිගු කලක් තිස්සේ එක තැන පල්වෙමින් පැවති අතර ඊට එරෙහි ජන විරෝධතා දිගින් දිගටම උත්සන්න විය. එහි ප්‍රතිඵලය වුයේ, ජනතාව දැඩි විරෝධයකින් සහ 'කේන්තියෙන්' මෙවර මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කිරීමය.
පාලක පක්ෂ ජනපති පරදා, ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට කුඩය (Umbrella for Democratic Change) සන්ධානයෙන් තරග කළ 54 හැවිරිදි ඩුමා බෝකෝ (Duma Boko), සිකුරාදා (01) එරට නව ජනපති වශයෙන් තේරී පත්විය. එය, වසර 58කට පසු, බොට්ස්වානාවේ විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයකින් නව ජනපතිවරයකු පත් කරගත් පළමු අවස්ථාවය.
සෙනසුරාදා (02) සිට බල හුවමාරුවට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බව, හිටපු ජනපති මොග්වීට්සි මසිසි (Mokgweetsi Masisi), ඔහු සහ නව ජනපති බෝකෝ අතර පැවති දුරකථන සංවාදයේ හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් පැවසීය.
ඡන්ද ප්‍රතිඵලය පිලිබඳ අතිශයින් සහ අවංක ලෙසම සතුටු වන බව බෝකෝ පවසයි. "මාගේ සෑම රෝම කූපයක් පාසා, කළහැකි උපරිමය කිරීමට මම ප්‍රතිඥා දෙමි. එය, යළි කඩාවැටීම හෝ විරෝධය පෑම පිණිස නොව, ජනරජ ජනතාව විසින් මවෙත පවරන ලද අතිශය සුවිසල් වගකීම් කන්දරාව කෘතඥතා පූර්වකව භාර ගනිමින් නොපිරිහෙලා ඉටු කිරීම පිණිස, මාගේ අභිලාෂයයි, වගවීමයි. මෙය අන් කවරකුගේවත් නොව ඔවුන්ගේ රජයයි," යනුවෙන් ඔහු සිය පළමු මහජන ආමන්ත්‍රණයේදී පැවසීය.

බොට්ස්වානාව,1966 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. එරට වත්මන් ජනගහනය මිලියන 2.5 ක් පමණ වේ. මේවනවිට, රට තුළ තාරුණ්‍යයේ ගැටළු සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. රටේ අස්සක් මුල්ලක් නෑර ඇසෙන්නේ ආර්ථික අවලාද සහ දුක්ගැනවිලි පමණි. අනෙකුත් බොහෝ අප්‍රිකානු රටවල් මෙන්, බොට්ස්වානාවද 'එකම එක' අපනයන ආර්ථිකයක් මත යැපෙන රටකි. එනම් දියමන්තිය.
හිටපු ජනපති මොග්වීට්සි මසිසි
කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ රාජ්‍ය නායකයින් මෙන්, බොට්ස්වානා නායකයෝ, සිය ආර්ථික සම්පත් කුණු කොල්ලයට විකුණා නොදමූහ. ඒ වෙනුවට, දියමන්ති ආකරවලින් ලද ආර්ථික ප්‍රතිලාභ එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය සහ සමාජ සුභ සාධනය වෙනුවෙන් ආයෝජනය කළහ.
පසුගිය වසරේ, එරට ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7,250ක් විය. එය, වෙනත් උප සහරා අප්‍රිකානු රටවල ඇමෙරිකානු ඩොලර් 4,800 ක එම අගයට සාපේක්ෂව වැඩි අගයක් බව ලෝක බැංකු වාර්තා ද පෙන්වා දෙයි.
එහෙත්, හිටි හැටියේ ලෝක වෙළඳපොළ දියමන්ති වෙළඳාම කඩා වැටිණි. එකවරම එහි මිල පහත බැස්සේය. ඒ අනුව, මේ වසරේ එරට ආර්ථික වර්ධන වේගය 1% ක තෙක් අඩු විය. විරැකියාව 28%කින් ඉහළ ගියේය.

අගය මත දියමන්ති නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛයා බොට්ස්වානාවය. ඇන්ග්ලෝ ඇමෙරිකානු සමාගමක් වන ඩි බියර්ස් (De Beers) සතු එරට විශාලතම දියමන්ති ආකරයේ, රාජ්‍ය හිමිකාරිත්වය 15%කි. හිටපු ජනපති, ඉකුත් වසරේ, රජය සතු එහි කොටස් ප්‍රමාණය තව 'කීයකින් හෝ' වැඩි කරගැන්ම පිණිස සමාගම හා සාකච්චා ද සිදු කළේය. බොට්ස්වානාව දියමන්ති මත යැපෙන ආර්ථිකයක් සහිත රටක් බවත්, රන් බිජු දමන පාත්තයා, කෙටිකාලීන හෝ මාධ්‍යකාලීන ආර්ථික ප්‍රතිලාභ තකා, එකවර මරා නොදැමිය යුතු බවත්, බියර්ස් දියමන්ති සමාගම සමග ඉක්මනින් යළි සාකච්චා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් නව ජනපති බෝකෝ පවසයි.
"මට පේන විදිහට මේ ගැන සමාගම එච්චර උනන්දු නෑ. අපේ කොටස් වැඩි කරනවා වෙනුවට, ඔවුන් හදන්නේ සේරම අපට දීල මෙහෙන් යන්න. එහෙම උනොත් අපි ඉතාම, ඉතාම, ඉතාම අසීරු අඩියකට වැටෙනවා," ඔහු කියයි.
මෙවර මැතිවරණයෙන්, මැතිවරණ කොට්ඨාශ 58ත් 61ත් අතරින් පාර්ලිමේන්තු ආසන 35ක් දිනාගැනීමට නව ජනපතිගේ සන්ධානය සමත් විය. ඒ, බහුතරය ඉදි කිරීමට අතිරික්ත ආසන 4ක් ද ජයග්‍රහණය කරමිනි. ජනපති තේරී පත්වන්නේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයෙනි. ඒ අනුව සන්ධාන ගත පක්ෂයකින් තරග කළ බෝකෝ, බොට්ස්වානාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
මෙවන් සුවිසල් ජයග්‍රහණයක් තමා කිසිදින දැක නැතැයි එරට 23 හැවිරිදි ශිෂ්‍යයකු වන එම්ෆෝ මොගොරෝසි (Mpho Mogorosi) පවසයි. "බොට්ස්වානා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයේ හිටිය වැඩියි. ඔවුන් බලයෙන් නෙරපා හැරීමට සමත් වූ ජනබලයේ කොටසක් වීමට ලැබීම සතුටට කරුණක්," ඔහු පවසයි.
ආර්ථික වර්ධනයක් රහිතව, විරැකියාවෙන් ජනතාව පෙළමින් දිගු කාලීන රාජ්‍ය බලයක් භුක්ති විඳිමින් සිටින අනෙකුත් දකුණු අප්‍රිකානු රාජ්‍යයන්ට ද, බොට්ස්වානාවේ නව වෙනස 'හොඳ' පාඩමක් බව දේශපාලන විචාරකයෝ පවසති.
"දේශපාලන ආධිපත්‍යය එකෙණෙහි බිඳවැටිය හැක. එමන්ම, නව රජය හමුවේ ඇති අභියෝග සුළුපටු නොවේ. ජනතාව ඒ දෙස විමසිල්ලෙන් බලා සිටී," අප්‍රිකානු දේශපාලන ආර්ථික උපදේශකයකු වන සෙනබ් හූසේන් (Zaynab Hoosen) පවසයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






