ඉරාන හමුදා මර්මස්ථානවලට පහරදුන් ඊශ්‍රායලය වෙත මරණීය ප්‍රහාර එල්ල කරන බව එරට උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි (Ayatollah Ali Khamenei) පවසයි.
ඊයේ (02) ටෙහෙරාන් නුවර ශිෂ්‍ය ප්‍රජාවක් ආමන්ත්‍රණය කරමින් ඔහු ඒ බව පැවසීය.
ඊශ්‍රායලය, ඉකුත් මස 26 වැනි දා අළුයම ඉරානයට සහ සිරියාවට ගුවනින් පහර දුන්නේය. එය, ඔක්තෝබර් 01 වන දා, ඉරානය විසින්, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලට, කල් යල් බලා දුන් පිළිතුරක් බව ඊශ්‍රායලය කියා සිටියේය. එදින, ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 200 ක ට ආසන්න සංඛ්‍යාවකින් වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල දේශ සීමා සහ එරටට ඉහළ අහසේදී විනාශ කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
ඒ අනුව, ඉරානයේ සතුරන් වන ඊශ්‍රායලය හා ඇමෙරිකාවද ළඟ එන, 'බිමට සමතලා වන' ප්‍රති ප්‍රහාරයක් අපේක්ෂාවෙන් සිටින ලෙස ඛමෙනි, ඊයේ සිදු කළ අනතුරු ඇඟවීමෙන් දන්වා සිටී. එහෙත්, ඒ පිලිබඳ සැලසුම් හා දින වකවානු කිසිත් ඔහු විසින් අනාවරණය කර නැත.
තවත් නොබෝ දිනෙකින්, ඊශ්‍රායලය වෙත, ඉරාන ප්‍රති ප්‍රහාර එල්ල වනු ඇතැයි, ඇමෙරිකානු මාධ්‍ය විසින් ද වාර්තා කර තිබේ.
ඊශ්‍රයලය සිදුකළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම පිලිබඳ තීන්දුව හමුදා නිලධාරීන් සතු බව ඛමේනි විසින් පසුගිය දිනෙක ද ප්‍රකාශ කර තිබිණි. එය ඔක්තෝබර 26, ඊශ්‍රායල ප්‍රහාරයට සාපේක්ෂව, අවම හා අතිශයෝක්ති නොවන අයුරින් තීරණය කළ යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.
යම් හෙයකින්, ඉරාන ප්‍රතිප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ත මැද පෙරදිග කලාපය තුළ, පාලනයෙන් ගිලිහුණු, බිහිසුණු යුද තත්ත්වයක් තෙක් සැණින් වර්ධනය වනු ඇතැයි යන්න, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක අදහසයි.
(NHK ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






