ඉන්දුනීසියාවේ ලෙවටොබි ලැකි-ලැකී (Lewotobi Laki-laki) ගිනිකන්ද ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ පුපුරා ගියේය.
ඉන් පුද්ගලයින් 10 දෙනකු මිය ගිය බව බලධාරීහු පවසති. ගිනි කන්ද පුපුරා යාමත් සමග අවට ජනාවාස රැසක පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට යුහුසුළුව පියවර ගැනිණි.
ගිනි කඳු විදාරණයත් සමග, රක්ත වර්ණ ලාවා සහ පාෂාණ කැබලි සහිත යමහල් දුම් රොටු දසත විසිව ගිය බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ප්‍රදේශය පුරා, රත් පැහැ ලාවා ධාරා ගලා යමින් පවතී.
ලෙවටොබි ලැකි-ලැකී යමහල, ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් (Flores) දිවයිනේ පිහිටා තිබේ. එය පුපුරා ගියේ ඊයේ එරට වේලාවෙන් හරියටම මධ්‍යම රාත්‍රී ආසන්නයේ ප.ව. 11.57 ට හෙවත් ග්‍රිනිච් වේලාවෙන් 1557ටය.
ගිනිකන්ද පුපුරායාමත් සමග ප්‍රදේශය පුරා විදුලිය විසන්ධි වූ අතර අකුණු සහිත ධාරානිපාත වැසි ඇදවැටිණි. ඒ වන විටත්, ගිනිකන්ද පුපුරායාමේ දැඩි අවදානමක් පවතින බවට බලධාරීන් විසින් නිවේදන නිකුත් කර තිබූ බව ද වාර්තා වේ.
යමහල් ආවාටයේ සිට කිලෝ මීටර හතක අරයක් වටා පාරිසරික ඉවත් කිරීම් සිදු කළ යුතුව ඇතැයි සඳහන්ය. ඉන් විසිරුණු ලාවා සහ පාෂාණ කැබලි, කිලෝ මීටර 4 ක් ඔබ්බෙන් පිහිටි ආසන්නතම ජනාවාසය වෙත පතිත වූ බව රොයිටර්ස් පවසයි. ඒ සමග ඇතැම් නිවාස ගිනෙන් දැවී ගිය බවද වාර්තා වේ.

ඊයේ උදෑසන සිටම, ගිනි කන්දේ සිට කිලෝ මීටර 20ක් එපිටින් පිහිටි වෙනත් ජනාවාසයකට ප්‍රදේශවාසීන් ඉවත් කිරීම් ආරම්භ කළ බව බලධාරීහු පවසති.
ගිනි කන්ද පුපුරා යාමත් සමග අවට ජනාවාස හතක පදිංචිකරුවෝ අවතැන් වී සිටිති.
ගිනි කඳු විදාරණයෙන් ඊයේ සන්ධ්‍යාව වන විට අවට අහස රත් පැහැ ගැන්ව පැවතිණි. ඇතැම් ජනාවාසයක මහා මාර්ග සහ ගොඩනැගිලි, අළු පැහැ යමහල් දුඹුටෙන් සම්පූර්ණයෙන් වැසී ගොස් ඇති බව ද සඳහන්ය.
ඉදිරි දින කිහිපය තුළ, හදිසි ජල ගැලීම් සහ ඒ හා ගලා එන ලාවා ධාරා පිලිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රදේශවාසීන් වෙත වැඩි දුරටත් දැනුම් දී තිබේ.
එමෙන්ම, ඉදිරි දින 58 ක කාලය දිවයිනේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
ගිනි කඳු පිපිරීමෙන් අවතැන් වූ 10,000 ක ට අධික පදිංචිකරුවන් වෙත ඉන්දුනීසියානු රජය මගින් අවශ්‍ය සහනාධාර කඩිනමින් සැපයීමට සියලු පියවර ගෙන තිබේ. දිවයිනේ, මෞමියර් (Maumere) නගරයේ පිහිටි ආසන්නතම ගුවන්තොටුපොළ ද තාවකාලිකව වසා දමා ඇත.
ඉන්දුනීසියාව පැසිෆික් ගිනි වළල්ලේ පිහිටි රටෙකි. එරට භූගෝලීය පිහිටීම අනුව බහු භූ තල මත, නිරන්තර භූ කම්පන සහ ගිනි කඳු විදාරණ සිදුවීමේ ප්‍රවණතා පවතී.
මෙවර විදාරණයට පෙර සිටම, තවත් ගිනි කඳු පිපිරීම් මාලාවක් පසු ගිය මැයි මස තුළ, එරටින් වාර්තා විය.
හල්මහෙරා (Halmahera) දිවයිනේ පිහිටි ඉබු (Ibu) ගිනිකන්ද පුපුරා යාමෙන් අවට ජනාවාස හතක පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට සිදු විය.
එරට උතුරු සුලවෙසි (North Sulawesi) හි, රුවැන්ග් (Ruang) ගිනි කන්ද පිපිරීමෙන් 12,000 ක ජනතාවක් මුල් ජනාවාස වලින් ඉවත් කළ අතර
බටහිර සුමාත්‍රාවේ පිහිටි මරාපි (Marapi) ගිනි කන්ද පුපුරා යාමෙන් හටගත් හදිසි ජල ගැල්මට සහ ඒ හා ගලා ආ ලාවා ධාරාවලට හසු වී පුද්ගලයින් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






