ලොවක් බලා සිටින ඇමෙරිකානු ජනපතිවරණය අදයි. එය ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී අද උදෑසන, උතුරු කොරියාව, එරට නැගෙනහිර වෙරළේ සිට කෙටි දුර මිසයිල හතක් අහසට මුදා හළ බව ජපානය පවසයි.
එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව මේවන විට පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ප්යොන්ග්යැන්ග් රජයේ දැඩි විවේචනයට ලක් වී තිබේ. ඒ පිලිබඳ සිය අප්‍රසාදය පළ කිරීම පිණිස මෙම මිසයිල මුදා හැරීම සිදු කර ඇතැයි ජපානය කියයි.
අද මුදා හළ උතුරු කොරියානු කෙටි දුර මිසයිල, කිලෝ මීටර 400ක් ආවරණය කෙරෙන පරිදි, කිලෝ මීටර 100ක් පමණ ඉහළ අහසට ඇදී ගොස්, සාගරයේ, ජපාන විශේෂිත ආර්ථික කලාපයෙන් ඔබ්බට ඇද වැටුණු බව, ජපන් ආරක්ෂක අමාත්‍ය ගෙන් නකතානි (Gen Nakatani) පැවසීය.
උතුරු කොරියාවේ, උතුරු හ්වඞ්හී ( Hwanghae) ප්‍රාන්තයේ සරිවොන් (Sariwon) සිට එරට වේලාවෙන් අද උදෑසන 7.30 ට පමණ (2230 GMT), එම මිසයිල දියත් කෙරුණු බව දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පවසයි.
උතුරු කොරියාව පසුගිය සතියේ ඝන ඉන්ධන අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ද අත්හදා බැලීය. එය, ඇමෙරිකාවට බවත්, අද කෙටි දුර මිසයිල දකුණු කොරියාවට බවත්, සියොල් නුවර, උතුරු කොරියානු අධ්‍යයන පිලිබඳ විශ්වවිද්‍යාලයේ සභාපති යැන්ග් මූජින් (Yang Moo-jin) ප්‍රකාශ කරයි.

උතුරු කොරියාවේ මෙම ක්‍රියාකාරකම්, සෘජුවම, දකුණු කොරියා, ඇමෙරිකානු සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස වලට එරෙහිව, ඇමෙරිකානු ජනපතිවරණයට පෙර සිදු කරන ලද්දක් බව ඔහු කියා සිටී. තවද, එය, උතුරු කොරියානු හමුදා, රුසියානු යුද පෙරමුණට පිටත් කර හැරීම පිලිබඳ ගෝලීය අවධානය වෙනතක හැරවීමේ උපක්‍රමයක් වියහැකි යැයි ද, ඔහු පවසයි.
රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් (Vladimir Putin) සහ උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සෝන් හුයි (Choe Son Hui) අතර ඊයේ සිදු කෙරුණු හදිසි හමුවෙන් පසු, අද මෙම කෙටි දුර මිසයිල දියත් කිරීමද විශේෂ සිදුවීමකි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






