ෆිලිපීනය, ළඟ එන යින්ක්සිඞ් (Yinxing) සුළි කුණාටුවට පෙර සූදානම් අරඹයි.
අවශ්‍ය තරම් ආහාර පාන තොග රැස් කරගන්නා ලෙසත්, කුණාටු ගමන් මග ජනාවාසවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් නිවේදන නිකුත් කර තිබේ.
සහන මෙහෙයුම් පිණිස එරට හමුදාව සීරුවෙන් තබා ඇතැයි, රජය පවසයි. මෙම සතිය තුළ, සුළි කුණාටුව ඊශානදිග ෆිලිපීනයට පතිත වීමට නියමිතය.
පැයට සැතපුම් 75 ක වේගයකින්, සුළං අක්ෂය, එරට අවුරෝරා (Aurora) ප්‍රාන්තයේ නැගෙනහිර බලෙර් (Baler) නගරයට සැතපුම් 367ක් දුරින් පවතින බව වාර්තාවේ. සුළං මාවත පිහිටි හුදෙකලා ජනාවාස වෙතින් වහා ඉවත්වන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ. පූර්ව දැනුම්දීම් නොතකා හැරියහොත්, කුණාටුව පවතින අවස්ථාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් අසීරු වනු ඇතැයි, අමාත්‍යංශ නිලධාරීහු පවසති.
අමාත්‍යංශය යටතේ ඇති රේඛීය ආයතන රැසක් පූර්ව සහ පසු විපත් කළමනාකරණය පිණිස මෙන්ම, අදාළ සියලු සේවා සැපයුම් පිණිස පෙර සූදානමින් පසුවේ.
කුණාටුවත් සමග ඇද වැටෙන ධාරාණිපාත වර්ෂාවෙන් සිදුවිය හැකි ගංවතුර විපත් අවම කිරීම උදෙසා, විශාල ජල වේලි කිහිපයක ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේ. කුණාටුව බ්‍රහස්පතින්දා (07) සන්ධ්‍යාවේ හෝ සිකුරාදා (08) උදෑසන, උතුරු ෆිලිපීනයේ කගැයන් (Cagayan) ප්‍රාන්තයට දරුණු වැසි සමගින් පතිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එරට මිලියන 24කට අධික ජනතාවක් කුණාටුවේ සෘජු බලපෑමට නතු වෙතැයි ගණන් බලා තිබේ.
පසුගියදා එරටට බලපෑ තවත් එවැනි සුළි කුණාටු දෙකකින් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙක් අතුරුදන්වූහ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






