ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි.
ඒ වෙනුවෙන් නව නීති සම්පාදනය කෙරෙන බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් (Anthony Albanese) අද පැවසීය.
නව නීති සම්පාදනය පිණිස, අදාළ වයස නිර්ණය කිරීමේ ජංගම යෙදුම් සම්බන්ධව මේ දිනවල පර්යේෂණ සිදු කෙරේ.
අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස්
නව පාලන සීමා මගින්, ලොව කිසිදු රටක් මෙතෙක්, සමාජ මාධ්‍ය මත නොපැනවූ තරමේ තද බල නීති පැනවීමට ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වේ.
සමාජ මාධ්‍ය, කුඩා දරුවන් කෙරෙහි සිදු කරන අනිසි බලපෑම සැලකිල්ලට ගෙන මෙම කාලීන පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම, කුඩා දරුවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලාපාන බව ඔහු අවධාරණය කළේය.

කුඩා ළමුන් උදෙසා සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ සීමා පැනවීම සම්බන්ධයෙන් ලොව තවත් රටවල් මේ වන විට සිය අවධානය යොමු කර තිබුණද, ඒ පිලිබඳ ඉතා දැඩි නීති ප්‍රසම්පාදනයට කටයුතු කරමින් සිටින එකම රට ඔස්ට්‍රේලියාව ය.
එමගින්, සමාජ මාධ්‍ය භාවිතා කරන්නාගේ වයස නිර්ණය කිරීම පිණිස, ජීව දත්ත ලබා දීමේ සහ රාජ්‍ය හැඳුනුම්පත් කේතය භාවිතා කිරීමේ නව නීති හඳුන්වා දීමට පියවර ගැනේ. එමෙන්ම, සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ නියමිත වයස් මට්ටම තීරණය කිරීම සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියාව අන් රටවලට වඩා ඉදිරියෙන් සිටී.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නාගේ වයස නිර්ණය කිරීම පිණිස, ජීව දත්ත ලබා දීමේ සහ රාජ්‍ය හැඳුනුම්පත් කේතය භාවිතා කිරීමේ නව නීති හඳුන්වා දීම
නව නීති මෙම වසරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර තවත් මාස 12ක් තුළ අදාළ නෛතික කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. එරට විපක්ෂය ද අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට පූර්ණ සහාය පල කර තිබේ.
නව නීති ක්‍රියාත්මක කිරීම මගින්, සමාජ මාධ්‍ය පාලනය පිලිබඳ ලොව පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වන බව එරට සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් (Michelle Rowland) පවසයි.
(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






