leader s

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම පිලිබඳ නවතම යෝජනාවක් හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


එම සංවිධානයේ නිලධාරීන් සමග කටාර් රාජ්‍යයේ පැවති සාකච්ඡාවලදී එම යෝජනාව ඉදිරිපත් විය.  

හමාස් සංවිධානය එම යෝජනා ප්‍රතික්ෂේප කිරීමත් සමග, ඔවුන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරින් වහා පිටවිය යුතු බවට එක්සත් ජනපදය  විසින් දන්වා ඇත. හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාලයක් කටාර් රාජ්‍යය තුළ  පිහිටා තිබේ.  

එක්සත් ජනපදය සහ ඊජිප්තුව අතර පිහිටි කුඩා කටාර් රාජ්‍යය, ඊශ්‍රායල-හමාස් ගැටුම විසඳීම පිණිස පසුගිය කාලය මුළුල්ලේම අසාර්ථක ප්‍රයත්න රැසකට මැදි  විය.  හමාස් සංවිධානය, කෙටි කාලීන සටන් විරාමයක් පිලිබඳ යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා, පසුගිය ඔක්තෝබර් මස මැද භාගයේ පැවති නවතම සාකච්ඡා ද බිඳ වැටිණි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිණිස අඛණ්ඩව සහ දිගින් දිගටම කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, හමාස්  ත්‍රස්ත නායකයින් කිසිදු  එක්සත් ජනපද පාර්ශ්ව රාජ්‍යයක අගනුවර තව දුරටත් රැඳී සිටිය යුතු නැතැයි, මීට සති කිහිපයකට  පෙර  කටාර් රාජ්‍යයට ද දන්වා යැවූ බව  එක්සත් ජනපදය පවසයි.

ඉන් පසු,  මීට දස දිනකට පෙර කටාර් රාජ්‍යය විසින් හමාස් සංවිධානයට සටන් විරාම ගිවිසුමක් පිලිබඳ තව දුරටත් සලකා බලන ලෙස ඉල්ලීම් සිදු කර තිබේ. ඒ පිලිබඳ මෙතෙක් සාධනීය පිළිතුරක් නොමැති බැවින්, කටාර් රාජ්‍යයේ පවත්වාගෙන යන ඔවුන්ගේ දේශපාලන කාර්යාලය 'දැන් දැන්ම' වසා දමන ලෙස එක්සත් ජනපදය තරයේ කියා සිටී. එහෙත්, කටාර් බලධාරීන් විසින්, හමාස් නායකයින්ට එරටින් පිටවීමට අවසන් නිවේදන නිකුත් කර ඇති බවක් මෙතෙක් සඳහන් වී නැත.

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්,  ඊශ්‍රායල-හමාස් ගැටුම් නතර කිරීම පිණිස සිය අවසාන ධුර කාලය තුළ කෙතරම් බලපෑම් කළ ද,  නොබෝදා  ජනපතිවරණයෙන් රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග, ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ.

යුද්ධයෙන් පසු, ගාසා තීරයේ ආරක්ෂාව ඊශ්‍රායලය සතුව පවත්වාගැනීම පිණිස වූ යෝජනාවක් හේතුවෙන් මීට පෙර සටන් විරාම සාකච්ඡා අසාර්ථක විය.

ඉකුත් වසරේ නොවැම්බර් මස, දෝහා රජයේ මැදිහත්වීමෙන් ප්‍රථම වරට ක්‍රියාත්මක කළ, දින හතක සටන් විරාමයේදී, හමාස් භාරයේ  පසු වූ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සහ ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසුවූ පලස්තීනුවන් රැසක් හුවමාරුකර ගැනීමට මග පෑදිණි. එම යුද මුක්ත කාලය තුළ ගාසා තීරය වෙත විශාල වශයෙන් මානුෂීය  ආධාර ගලා එම ආරම්භ වූ නමුත්,  සටන් විරාම ගිවිසුම අවසන යළි ගැටුම් ඇවිළිණි.

නැටෝ සංවිධානයට අයත්නොවන විශේෂ සාමාජිකයකු ලෙස වොෂින්ටනය විසින් නම් කරන ලද කටාර් රාජ්‍යය තුළ, එක්සත් ජනපද ගිවිසුම්    ප්‍රකාරව, 2012 සිට හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාලයක් පවත්වා ගැනීමට අවසර ලබා දී තිබේ.

එහෙත්, පසු ගිය වසරේ ඔක්තෝබර 7 දින, ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන්, නිරායුධ ඊශ්‍රායල වැසියන් 1200කට අධික පිරිසක් මරුමුවට පත්වී, තවත් 250ක පිරිසක් ප්‍රාණ ඇපයට පත්වීමත් සමග, හමාස් සංවිධානය හා සියළු සාමාන්‍ය ගනුදෙනු 'ඈවර' බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කටාර් රාජ්‍යයේ සහ වෙනත් පාර්ශ්ව  රටවල නායකයින් වෙත දන්වා යැවීය.

කටාර් රාජ්‍යයේ වෙසෙන සියලු හමාස් නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කරන ලෙස ඉල්ලා,  ඇමෙරිකානු සෙනෙට් සභිකයින් 14 දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ (8), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

කටාර් හි සිටින ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරීන් සියලු දෙනා වහා පිටුවහල් කරන ලෙසත්, හමස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය වෙත දක්වන සියලු ආගන්තුක සත්කාර වහා නවතා දමන ලෙසත් එමගින් දන්වා ඇත.

කටාර් හි දෝහා අගනුවර හමාස් කාර්යාලයක් පිහිටුවා ඇත්තේ, එම සංවිධානය සමග තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස යැයි,  එරට  අග්‍රාමාත්‍ය ෂෙයික් මෝහමෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තහෙනි (Sheikh Mohammed bin Abdulrahman Al Thani) විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සඳහා,  මාවත තවදුරටත් විවෘතව පවතින තෙක්, එරට හමාස් කාර්යාලය විවෘතව තැබෙන බව එහි සඳහන් ය.

දෝහා පිහිටි කාර්යාලයේ කෙතරම් හමාස් නායකයින් පිරිසක් රැඳී සිටී දැයි  නිශ්චිතව හඳුනා  නැතිමුත්, ඉකුත් මස ගාසා තීරයේදී, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ  ඝාතනය වූ,  එහි හිටපු නායක යහියා සින්වාර්ගෙන් පසු, එම සංවිධානයේ නායකත්වයට සුදුසුකම් කියන නායකයින් රැසක්  එහි වෙසෙන බවට අනුමාන කෙරේ.  

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට ගාසා තීරයේ පුද්ගලයින් 43,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත. සමස්ත ගාසා කලාපයම ප්‍රහාරවලින් 'සුන්නද්ධූලි' බවට පත්ව තිබේ. එහි දැන් පවත්නේ මිහිපිට  මිනිස් සංහතියේම විනාශය පිලිබඳ පෙර දසුනක්   පමණි.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

After Hamas rejection of hostage deal, US asked Qatar to expel the group

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්