ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සතු සන්නිවේදන පේජර තොගයක් පසුගිය සැප්තැම්බර් මස දුරස්ථව පුපුරා යාමට සැලැස්වීමේ ලොව නවතම සයිබර් ප්‍රහාරය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනුමත කළේ යැයි, එම කාර්යාලයේ නිල ප්‍රකාශක ඔමේර් දෝස්ත්‍රී (Omer Dostri) විසින් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල හමුදා, මීට පෙර ඒ පිලිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.
පසුගිය සැප්තැම්බර් 17 දා, ලෙබනනයේ බීරුත් අගනුවරදී, හිස්බුල්ලා සංවිධානය සන්තකයේ තිබූ සන්නිවේදන පේජර දහස් ගණනක් හදිසියේ පුපුරා ගියේය. ලැබෙන ඇමතුමක් පිලිබඳ 'බීප්' නාදය නිකුත්වීමත් සමග එම පේජර සියල්ල පිපිරීමට ලක් විය. එම සංවිධානය සිය ඉතිහාසයේ ලද ප්‍රබලම ආරක්ෂක පරිහානිය එයයි.
ප්‍රහාරයට පසු දින ඔවුන් සතු ගමන් කථන උපකරණ තොගයක් ද ක්‍රියාත්මක වීමේදී පුපුරා ගියේය. එම ප්‍රහාර දෙකින් ම හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 39 දෙනකු මරුමුවට පත්ව, 3,400 ක් බරපතල තුවාළ ලැබූහ. ඒ සියළු දෙනාගේ ඇස්, අතැඟිලි සහ උදරය අශ්‍රිතව බරපතල තුවාළ සිදු වී තිබිණි.
ප්‍රහාරයේ වගකීම තමා පිළිගන්නා බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා කැබිනට් රැස්වීමකදී පැවසී යැයි එරට මාධ්‍ය විසින් දැන්, ප්‍රකාශ කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන් සහ ඇතැම් දේශපාලකයින් සිය සැලැස්මට විරෝධය පෑ මුත්, එම විරෝධතා නොසලකා, ඔහු එම මෙහෙයුම දියත් කිරීම අනුමත කළේ යැයි නෙතන්යාහු එහිදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Netanyahu approved pager attacks against Hezbollah, spokesman says






