ඊශ්‍රායලය විසින් ඊයේ (12) ලෙබනනයට යළිත් වරක් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය. ලෙබනනයේ බීරුත් අගනුවර දකුණු තදාසන්න පෙදෙස් වෙත එම ප්‍රහාර එල්ල කර තිබේ.
මෑතකදී ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ඉලක්ක කොට එල්ල කරන ලද දරුණුතම මධ්‍යාහ්න ප්‍රහාරය මෙය වේ. හිස්බුල්ලා පාලන ප්‍රදේශයකට එල්ල කළ එම ප්‍රහාරවලින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊයේ මධ්‍යාහ්නය එළැඹෙත්ම, දකුණු බීරුත් වෙත, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 'දුසිම් ගණනින්' එල්ල වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිවිල් ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව එල්ල කළ එම ප්‍රහාර වලින්, දහියේ ප්‍රදේශයේ හිස්බුල්ලා අවි සහ මිසයිල ගබඩා විනාශ කළ බව, ඊශ්‍රායල හමුදා පවසති. ප්‍රහාර සිදු කිරීමේදී සිවිල් වැසියන්ට වන හානි අවම කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.
හිස්බුල්ලා ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම හේතුවෙන් එම කාර්යය අති දුෂ්කර වී ඇතැයි එම හමුදා කියා සිටිති. හිස්බුල්ලා සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, ඊශ්‍රායලයේ නහරියා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සාමාන්‍ය ජනතාව පදිංචි ගොඩනැගිල්ලක් වෙත එම ප්‍රහාර එල්ල වී තිබේ. නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පසුව ප්‍රකාශ කළේය.

ලෙබනන දේශය මධ්‍යයේ පිහිටි මවුන්ට් ලෙබනන් ප්‍රාන්තය වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහි ජෝවුන් ජනාවාසයට එල්ල වූ තවත් තවත් එවැනි ප්‍රහාරයකින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
එරට දකුණුදිග ටෆහ්ටා වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පස් දෙනෙක් මරුමුවට පත් වූ අතර නබාතියේ සිදු කළ භූමි ප්‍රහාර වලින් දෙදෙනකු මරණයට පත් විය. වෙරළබද ටයර් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් තවත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israeli strikes pound Lebanon, Hezbollah strikes back






