අද උදෑසන රුසියාව, යුක්‍රේනයේ කිව් (Kyiv) අගනුවරට දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
අද ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිලිබඳ මෙතෙක් නිශ්චිත තක්සේරුවක් සිදු කර නැතත්, ඉන් පුද්ගලයින් සත් දෙනකු ජීවිතක්ෂයට පත්ව, රට පුරා බලශක්ති නිෂ්පාදනාගාර රැසක්ද විනාශව ඇතැයි වාර්තා වේ.
මිසයිල ප්‍රහාරය, රුසියානු යුද ගුවන් යානා සහභාගිත්වයෙන් සහ බැලස්ටික් මිසයිල යොදා ගනිමින් සිදු කර ඇත. මීට පෙර, ඒ වෙත අවසන් මිසයිල ප්‍රහාරයක් එල්ල කෙරුනේ පසුගිය අගෝස්තු මසය.
" මේ මොහොතේ පුටින්, යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සිටී," යනුවෙන් එරට ජනපති කාර්යාල ප්‍රධානී ඇන්ඩ්‍රි යර්මැක් (Andriy Yermak) ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. එය ඩ්‍රෝන ප්‍රහාරයක් බව එම කාර්යාලය මුලින් නිවේදනය කර සිටියේය.

ඉකුත් සති කිහිපය පුරාම කිව් අගනුවර, රුසියානු රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වෙමින් පැවතියේය. අද උදෑසන මුළුල්ලෙහි ද එහි ඩ්‍රෝන යානයක් පියාසර කරමින් පැවති බව නගරාධිපති විතාලි ක්ලිට්ස්ච්කෝ (Vitali Klitschko) ප්‍රකාශ කළේය.
එරට බලශක්ති පද්ධතිය වෙත කොයි මොහොතේ හෝ රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කෙරෙතැයි පසුගිය කාලය පුරාම යුක්‍රේනය බියෙන් පසු විය. අද ප්‍රහාරයත් සමග, අධික විදුලි පරිභෝජනයක් සහිත රටක් වශයෙන්, ඉදිරි ශීත සෘතුවේදී ගැටළු රැසකට මුහුණ පෑමට එරටට සිදුවනු ඇත.

නගරයට නිරන්තරව එල්ලවන රුසියානු රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාර හමුවේ, බොහෝ දින, නිදිවර්ජිතව ගත කිරීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති. ඩ්‍රෝන ප්‍රහාර පිලිබඳ පූර්ව අනතුරු නලා හඬ නගරයේ රාත්‍රී අහස පුරා දෝංකාර දෙමින් ඇදී යන බවත්, ඉන් පසු, ඒ පිලිබඳ දිගින් දිගටම දුරකථන කෙටි පණිවුඩ ගලා එන බවත් ඔවුහු පවසති.
නගරයේ මිසයිල පිපුරුම් සිදුවෙමින් ඇති බවත්, ගුවන් ආරක්ෂක බලකා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසත් නාගරික පරිපාලනය විසින් මහජනතාව වෙත දැනුම් දී තිබේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Blasts in Kyiv as Russia stages first missile attack since August, Ukraine says






