එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය එම රටවල නිෂ්පාදිත අවි භාවිතා කරමින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට අවසර දීමත් සමග, යුක්‍රේන යුද්ධය, ගෝලීය ගැටුමක්
තෙක් වර්ධනය වෙමින් ඇතැයි, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
ඉදිරි රුසියානු ප්‍රහාර, බටහිර රටවල් ඉලක්ක කර සිදු විය හැකි යැයි ද ඔහු අනතුරු අඟවා සිටී.
රුසියාව ඉකුත් බ්‍රහස්පතින්දා (21), යුක්‍රේනය වෙත අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

සැතපුම් දහස් ගණනක් දුර පිහිටි ඉලක්කයක් හඹා යා හැකි, න්‍යෂ්ටික ප්‍රහාරයකට වුව සුදුසුකම් කියන, එවැනි අතිශය දරුණු සහ බරපතල අවියක්, රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව භාවිතා කළ පළමු අවස්ථාව එයයි.
යුක්‍රේන හමුදා මර්මස්ථානයක් ඉලක්ක කර එල්ල කෙරෙනු එම නවතම හයිපර්සොනික් 'මැද-දුර' බැලස්ටික් මිසයිල ප්‍රහාරය, විශේෂයෙන්ම, ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට පිළිතුරු වශයෙන් සිදු කරන ලද්දක් බව පුටින් කියා සිටී. එවැනි තවත් ප්‍රහාර ඉදිරියේදී අපේක්ෂාවෙන් සිටින ලෙස දැන්, රුසියාව විසින් අනතුරු අඟවා තිබේ.
ළඟ එන, එම ප්‍රහාර පිලිබඳ සිවිල් වැසියන් වෙත පූර්ව දැනුම් දීම් සිදු කෙරෙනු ඇතැයි ද, රුසියානු ජනපති පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා (21) ද, ඇමෙරිකාවේ නිෂ්පාදිත HIMARS මිසයිල භාවිතා කරමින් යුක්‍රේනය, රුසියාවට ප්‍රහාරයක් එල්ල කළ බව ජනපති පුටින් කියයි.
ඇමෙරිකාවේ, බයිඩන් පරිපාලනයේ අවසරය මත, පසුගිය අඟහරුවාදා (19) යුක්‍රේනය, ඇමෙරිකාවේ නිෂ්පාදිත ATACMS මිසයිල හයක් සහ බ්‍රිතාන්‍ය ස්ටෝර්ම් ෂැඩෝ (Storm Shadow) මිසයිල භාවිතා කර රුසියාවට පහර දුන්නේය. පසුගිය බ්‍රහස්පතින්දා (21) ද, ඇමෙරිකාවේ නිෂ්පාදිත HIMARS මිසයිල භාවිතා කරමින් යුක්‍රේනය, රුසියාවට ප්‍රහාරයක් එල්ල කළ බව ජනපති පුටින් කියයි.
යුක්‍රේනය, ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිගු-දුර මිසයිල යොදා ගනිමින් රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කළහොත්, තෙවන ලෝක යුද්ධයක් හට ගැනීම වළකාලිය නොහැකි බවට රුසියාව විසින්, මීට පෙර ද සිදු කළ අනතුරු ඇඟවීම් නොතකා, යුක්‍රේනය එම ප්‍රහාර එල්ල කළේය.

එතැන් සිට, බටහිර රටවල් විසින් අවුළුවන ලද රුසියා-යුක්‍රේන ගැටුම, ගෝලීය තත්ත්වයක් තෙක් වර්ධනය වීම නොවැලැක්විය හැකි හැකි යැයි, බ්‍රහස්පතින්දා (21) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ, ජාතිය ඇමැතූ රුසියානු ජනපතිවරයා පැවසීය. එක්සත් ජනපදය, සමස්ත ජාත්‍යන්තරයම, ගෝලීය අවි ගැටුමක් තෙක් 'තල්ලු කරමින්' ඇතැයි, ඔහු එහිදී ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATACMS මිසයිල භාවිතයෙන් යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරයෙන්, සැලකිය යුතු හානි සිදු නොවූවද, බ්‍රිතාන්‍ය 'ස්ටෝර්ම් ෂැඩෝ' මිසයිල භාවිතා කරමින් රුසියාවේ හමුදා අණ මධ්‍යස්ථානයක් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් ජීවිත හානි සහ වෙනත් අනතුරු සිදු වූ බව ජනපති පුටින් පැවසීය.
කුමන අරමුණකින් එම ප්‍රහාර එල්ල කෙරුණද, එමගින්, විශේෂිත හමුදා මෙහෙයුම් කලාපය තුළ සිදු කෙරෙන රුසියානු හමුදා ක්‍රියාන්විත වෙනතකට යොමු නොකෙරෙන බව ජනපතිවරයා අවධාරණය කර සිටී. එම සෑම ප්‍රහාරයකටම ප්‍රති ප්‍රහාර 'අත දුරින්' වන බව ඔහු පවසයි.
ක්‍රිමියාව ඇතුළු සමස්ත යුක්‍රේනයේ 18% ක භූමිය මේ වන විට රුසියානු හමුදා අත පවතී. ක්‍රිමියාව, 2014 දී යුක්‍රේනයට ඈඳා ගත් භූමි ප්‍රදේශයකි. 2022 දී යුක්‍රේනය වෙත සිදු කළ රුසියානු ආක්‍රමණය, අධිරාජ්‍යවාදී ආකාරයේ එකක් බව යුක්‍රේනයේ සේම, බටහිර රටවල ද අදහසයි. ඉන් යුක්‍රේනයේ ස්වෛරී භාවය, රුසියාව විසින් 'එහෙම පිටින්ම' උල්ලංඝනය කළ බව ඔවුහු පවසති.
බ්‍රහස්පතින්දා (21) යුක්‍රේනය වෙත එල්ල කරන ලද්දේ ඔරෙෂ්නික් (Oreshnik) නම්, මැද-දුර කාණ්ඩයේ හයිපර් සොනික් මිසයිලයක් බව ජනපති පුටින් පවසයි. එය න්‍යෂ්ටික ශීර්ෂ රහිතව එල්ල කිරීමට රුසියාව වග බලා ගත්තේය.
ප්‍රහාරය, යුක්‍රේනයේ දිනිප්‍රෝ (Dnipro) නගරයේ පිහිටි එරට මිසයිල සහ ආරක්ෂක සමාගමක් ඉලක්ක කර එල්ල කළ බව ද ජනපති පුටින් කියා සිටී. ප්‍රහාරය අති සාර්ථක බව ඔහු පවසයි.

රුසියාව, කෙටි-දුර සහ මධ්‍ය-දුර මිසයිල නිෂ්පාදනය මේ වන විටත්, ඉහළ නංවා තිබේ. 1987, කෙටි-දුර සහ අතරමැදි-දුර මිසයිල ගෝලීය වශයෙන් තුරන් කිරීමේ, 'අතරමැදි-දුර න්‍යෂ්ටික බලකා සාමූහික ගිවිසුම' ට (INF) එක්සත් ජනපදය ද, අත්සන් තැබීය. එහෙත්, රුසියාව එම ගිවිසුම 'කඩාකප්පල්' කරමින් ඇතැයි පවසා, එක්සත් ජනපදය, 2019 දී රුසියාව සමග එම ගිවිසුමෙන් ඉවත් විය.
රුසියාව එම ගිවිසුමට පටහැනිව ක්‍රියා කළ බවට නැගෙන එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනපති පුටින්, ඇමෙරිකාව එය ඒක පාර්ශ්විකව උල්ලංඝනය කිරීම බරපතල වරදක් බව පැවසීය.
රුසියානු ජනපතිවරයා, එම ගිවිසුම මගින් මීට නිෂ්පාදනය නතර කිරීමට ඉල්ලා සිටි මිසයිල නිෂ්පාදනයට එරෙහි තාවකාලික ඒකපාර්ශ්වීය තහනමක් ද පැනවීය. එහෙත්, ඒ සම්බන්ධ රුසියාවේ ඉදිරි ක්‍රියාකාරකම්, බටහිර රටවල වැඩ පිළිවෙළ, විශේෂයෙන්, රුසියාවට ඔවුන් විසින් එල්ල කෙරෙන තර්ජන සහ බලපෑම් මත රඳා පවතින බව ඔහු කියා සිටියේය.
රුසියාවට පහර දීම පිණිස ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය, දැන්, එම රටවල අවි භාවිතා කිරීමට යුක්‍රේනයට අවසර දී ඇති පසුබිමෙක, එම අවි නිෂ්පාදනයේ සහ භාවිතයේ තහනම රුසියාවට තව දුරටත් වලංගු නැතැයි ඔහු අවධාරණය කර සිටී.
ඔරෙෂ්නික් මිසයිලය යනු කුමක්ද?
ඔරෙෂ්නික් යනු රුසියාවේ නිෂ්පාදිත හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකි.

රුසියානු බසින්, ඔරෙෂ්නික් යන්න, පැරණි ඉංග්‍රීසි බස් වහරෙන් බිඳී එන හේසල් (hazel) නම් අර්ථ දෙන ස්ත්‍රී වාචක නාම විශේෂණයකි. හරිත වන් දුඹුරු පැහැයෙන් යුත් හෝ කහවන් දුඹුරු පැහැයෙන් යුත් ඇස් හැඳින්වීමට එම විශේෂණය භාවිතා කෙරේ.
හේසල් (hazel) නමින් පළතුරු විශේෂයක් ද ඇත්තේය. එය hazel nuts හෙවත්, හේසල් ගෙඩි ලෙස හැඳින්වේ.
ඔරෙෂ්නික් මිසයිලයට ශබ්ධයේ වේගය මෙන් දස ගුණයක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇතැයි, රුසියානු ජනපති පුටින් පවසයි. මිසයිලයට ඉලක්කය සොයා ගුවනේ කිලෝ මීටර 5000 (සැතපුම් 3,100) ක දුරක්, පියාසර කළ හැක.
යුරෝපයේ රටවල් රැසකට සහ ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ඉලක්ක වෙත පහර දීමට එම දුර 'හොඳටම' ප්‍රමාණවත් වේ.

එහි අනෙක් සුවිශේෂීත්වය නම්, එක් ඉලක්කයක් වෙත පමණක් නොව, එම එක මිසයිල ප්‍රහාරයකින් ඉලක්ක කිහිපයක් වෙත එක වර පහර දීමේ එය සතු හැකියාවය. එහි යුද ශීර්ෂ, පෙර හඳුනාගත් බහුවිධ ඉලක්ක වෙත ගුවනේ ස්වාධීනව බෙදී, නිදහස් වේ. එසැණින්, එම යුද ශීර්ෂ, ඊට සවි කොට ඇති, ප්‍රධාන වාහකයෙන් වෙන් වන උප වාහක මගින්, අදාළ ඉලක්ක වෙත වේගයෙන් ධාවනය කෙරේ. එවැනි න්‍යෂ්ටික යුද ශීර්ෂ හයත්, අටත් අතර සංඛ්‍යාවක් එකවර රැගෙන ගුවනට පැන නැගීමේ හැකියාවක් ඔරෙෂ්නික් මිසයිලය සතු බව රුසියානු යුද විශේෂඥයෝ පෙන්වා දෙති.
ඉකුත් බ්‍රහස්පතින්දා (21) රුසියාව විසින් යුක්‍රේනයට, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රහිතව එල්ල කරන ලද එම වර්ගයේ මිසයිලය, RS-26 රුබෙස් (Rubezh) කාණ්ඩයට අයත් එකක් යැයි පෙන්ටගනය විසින් ප්‍රකාශ කර තිබේ.
එය ඝන ඉන්ධන මගින් බලගැන්වෙන, භූමිය මතින් අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කළ හැකි, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයකි. 2008 දී රුසියාව එය මුලින්ම නිෂ්පාදනය කළේය.
(Reuters සහ BBC ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






