එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වූ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයකුගේ මළ සිරුර අද හමු වූ බව
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
එය අතිශය බියගුළු ත්‍රස්තවාදී ඝාතනයක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.
සිවි කොගන් (Zvi Kogan) නම් එම පුද්ගලයා ඉකුත් බ්‍රහස්පතින්දා (21) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වී ඇතැයි, මීට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
ඝාතනය වූ පුද්ගලයා, චබාද් (Chabad) නම්, ලොව පුරා ක්‍රියාත්මක යුදෙව් ආගමික නිකායක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශාඛාවක සාමාජිකයකි. ලොව පුරා, එම ආගමික නිකාය මගින්, විවිධ යුදෙව් ආගමික කණ්ඩායම් අතර සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කෙරේ.

චබාද් නිකායේ මූලස්ථානය එක්සත් ජනපදයේ පිහිටා ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශය එම පුද්ගල ඝාතනය පිලිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
එරට පිහිටි චබාද් ආගමික නිකාය ශාඛාව, එහි සහ අනෙකුත් ගල්ෆ් රටවල වෙසෙන සහ ඒ වෙත පැමිණෙන යුදෙව්වන්ගේ ආගමික, සාමාජික අවශ්‍යතා සහ සේවා සම්පාදනයේ මෙන්ම, සම්බන්ධීකරණයේ නිරතව සිටී.
2020 වසරේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් අත්සන් තැබුණු ඒබ්‍රහම් ගිවිසුම (Abraham Accords) මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික හා ද්වීපාර්ශ්වීය සබඳතා තර කෙරිණි.
කොගන් ගේ ඝාතකයින්, නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ඊශ්‍රායලය සිය උපරිම ශක්තියෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරයන් ගෙන් හැකි තාක් වැළකී කටයුතු කරන ලෙසත්, දැනටමත් එරටට ගොස් සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂාකාරීව, විමසිල්ලෙන් පසුවන ලෙසත් නව උපදෙස් නිකුත් කර තිබේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






